ජේ.ආර්.ගේ උදහසට ලක් වූ ඇම්.ඩී.එච්. | දිනමිණ

ජේ.ආර්.ගේ උදහසට ලක් වූ ඇම්.ඩී.එච්.

20 වන සියවසේ ලාංකීය ‍දේශපාලන කරළියේ හිනිපෙත්තටම පැමිණි දේශපාලනඥයෝ බොහෝමයක්ම ප්‍රභූ පැලැන්තියෙන් පැවත ආ චරිත වූහ. ඔවුහු උපතින්ම ධන කුවේරයෝ වූහ. දේශපාලනයෙන් දෙයක් හරිහම්බ කරගන්නට උවමනාවක් නොතිබූ ඔවුහු තමන් උපතින්ම ගෙනා උරුමය පවා මිනිසුන්ගේ හිත සුව පිණිස කැප කළහ. ප්‍රභූ පවුලක ඉපිද බැරිස්ටර් උපාධිය තෙක් හොඳින් උගෙන අනතුරුව මහජන සේවය පිණිස පාර්ලිමේන්තුවට තේරී පත් වූ ඇම්. ඩී. එච්. ජයවර්ධන මහතා ද එවන් දේශපාලනඥයෙකි.

ඇම්. ඩී. එච්. ජයවර්ධන මහතා ඡන්මලාභය ලබන්නේ පාදුක්ක ප්‍රදේශයේ ප්‍රභූ පවුලක දරුවකු ලෙසය. 1915 මාර්තු 29 වන දින උපන් එම්. ඩී. එච්. ජයවර්ධන මහතා‍ගේ පියා එම්. ඩී. එස්. ජයවර්ධන නම් විය. එම්. ඩී. එච්. ජයවර්ධන මහතාගේ සම්පූර්ණ නම මහබාලගේ දොන් හෙන්රි ජයවර්ධනයි. මහනුවර ත්‍රිත්ව විද්‍යාලයෙන් මූලික අධ්‍යාපනය ලද හෙතෙම උසස් අධ්‍යාපන කටයුතු සඳහා ලංකා විශ්වවිද්‍යාලයට ඇතුළත් විය. එහිදී වාණිජවේදී උපාධියක් ලබා ගත් ජයවර්ධන සිසුවා නීතිය හැදෑරීම උදෙසා ලංකා නීති විද්‍යාලයට ඇතුළත් විය. එහිදී නීතිඥවරයකු ලෙස වෘත්තිය ජීවිතයට පිවිසි ජයවර්ධන මහතා තවදුරටත් නීතිය උගෙනීම සඳහා විදෙස්ගත විය. එංගලන්තයෙන් වැඩිදුරටත් නීතිය උගත් එම්. ඩී. එච්. ජයවර්ධන මහතා එහිදී බැරිස්ටර්වරයෙක් ලෙස උසස් වීම් ලැබුවේය. ලංකාවට පැමිණීමෙන් පසුව ශ්‍රී ලංකා මහ බැංකුවේ ආර්ථික විශේෂඥයෙක් ලෙස සේවයට බැඳුණු මෙතුමා ව්‍යාපාරිකයෙක් ලෙස ද ප්‍රසිද්ධියට පත් විය.

එම්. ඩී. එච්. ජයවර්ධනයන්ගේ දේශපාලන ජීවිතය ඇරඹෙන්නේ මේ අතරතුරය. 1947 වසරේ එක්සත් ජාතික පක්ෂයෙන් දේශපාලන බිමට පිවිසි එම්. ඩී. එච්. ජයවර්ධන මහතා 1952 දී හොරණ ආසනය නියෝජනය කරමින් පාර්ලිමේන්තු මහා මැතිවරණයට ඉදිරිපත් විය. ඉදිරිපත් වූ පළමු මැතිවරණයෙන්ම ජයගත් එම්. ඩී. එච්. ජයවර්ධන මහතා ‍හොරණ ආසනය නියෝජනය කරමින් පාර්ලි‍මේන්තුවට ප්‍රවේශ විය. ආර්ථික විශේෂඥයකු වූ එතුමාට මුදල් නියෝජ්‍ය අමාත්‍ය ධුරයෙහි කටයුතු කරන්නට අවස්ථාව උදා විය. පසුව කැබිනට් මුදල් අමාත්‍යවරයා ලෙස ද එතුමා උසස් වීම් ලද්දේය. 1956 වසරේදී එක්සත් ජාතික පක්ෂයට පාර්ලිමේන්තුවේ හිමිවූයේ ආසන 8ක් පමණි. එහිදී ද හොරණ ආසනය නියෝජනය කරමින් පාර්ලිමේන්තුවට තරග වැදුණු එම්.ඩී. එච්. ජයවර්ධනයෝ ප්‍රතිවාදී අපේක්ෂක සාගර පලන්සූරිය ඉදිරියේ පරාජයට පත් වූහ. 1960 වසරේදී එම්.ඩී.එච්. ජයවර්ධන මහතා පාර්ලි‍මේන්තු මැතිවරණයට ඉදිරිපත් වූයේ කොට්ටාව (වර්තමාන මහරගම ආසනය) ආසනය නියෝජනය කරමිනි. එහිදී ද පරාජය ලත් ජයවර්ධන මහතා එයින්ද දුර්වල නොවී 1965 පාර්ලිමේන්තු මැතිවරණයට ද කොට්ටාව ආසනයෙන් තරග වැදුණි. 1965දී නැවත සාර්ථක වූ ජයවර්ධන මහතා නැවතත් පාර්ලිමේන්තුවට තේරී පත් විය. 1965 වසරේ සිට 1968 වසර දක්වා කාලය තුළ සෞඛ්‍ය අමාත්‍ය ධුරය ද 1968-1970 කාලය තුළ නිවාස සහ විද්‍යාත්මක පර්යේෂණ අමාත්‍ය ධුරය ද ජයවර්ධන මහතා විසින් හොබවනු ලැබීය. 1970 වසරේ මහ මැතිවරණයෙන් නැවත වරක් ඇම්. ඩී. එච්. ජයවර්ධන මහතාට පාර්ලිමේන්තු අසුන අහිමි විය. නමුත් 1977 වසරේ පාර්ලිමේන්තු මැතිවරණයට ද ඉදිරිපත් වූ ජයවර්ධන මහතා නැවතත් පාර්ලිමේන්තුවට පිවිසීමට වරම් හිමි කරගත්තේය. එහිදී එතුමා වැවිලි කර්මාන්ත අමාත්‍ය ධුරයේ වසර 2ක් කටයුතු කළේය.

කෙළින් කතා කිරීමටත්, අසාධාරණය ඉදිරියේ නොබියව පෙනී සිටීමටත් එම්. ඩී. ජයවර්ධන මහතා සූරයෙක් විය. 1977 වසරේ ජේ. ආර්. ජයවර්ධන රජයේ පළමු අයවැය විවාදයේදී එම්. ඩී. එච්. ජයවර්ධන මහතා විසින් අයවැයේ අඩුපාඩු විවේචනය කරන්නට විය. ඒ අනුව ආණ්ඩුවේ ඇමැතිවරයෙක් ලෙස හිඳිමින් ආණ්ඩුවෙහි වැරදි අඩුපාඩු විවේචනය කිරීමට පවා ඔහු මැලී නොවීය. එම ඍජු කතාබහ හේතුවෙන් ජයවර්ධන මහතා, අමාත්‍ය ධුරයෙන් ‍නෙරපන්නට ආණ්ඩුව තීරණය කෙරූ නමුත් සිය වරදාන, තනතුරු අහිමි වේ යැයි බියෙන් ඇත්ත කතා කිරීමට හෝ අසාධාරණ තැන්වලදී නිහඬව සිටින්නට එතුමා කටයුතු කළේ නැත.

එම්. ඩී. එච්. ජයවර්ධන මහතා නිතරම මහජනතාව සමඟ සිටි නායකයෙක් ලෙස ප්‍රකටය. දු‍කේදී මෙන්ම සැපේදී ද මිනිසුන් අත් ‍නොහළ අතර, කිසිදු තරාතිරමක්, බේදයක් නොතකා මිනිසුන්ට උපකාර කළ උත්තුංග දේශපාලන චරිතයක් ලෙස ද එතුමා ප්‍රකටය. අමාත්‍යවරයෙක්ව සිටි කාලයේදී පවා ආරක්ෂකයන් නොමැතිව සාමාන්‍ය පුද්ගලයෙක් පරිද්දෙන් උදෑසන ශාරිරික ව්‍යායාම් සඳහා එතුමා මහමාර්ගයේ ඇවිද ගිය බවට පාදුක්ක ප්‍රදේශයේ පැරණි මිනිස්සු අදටත් සාක්ෂි දරති.

වර්තමානයේ එම්. ඩී. එච්. ජයවර්ධන වැනි දේශපාලනඥයන් සිටින්නේ අතේ ඇඟිලි ගණනටත් වඩා අඩුවෙනි. නිහතමානී ගති පැවතුම්, ඍජු කතාබහ, අව්‍යාජ පැවතුම් ආදී ලෙස විිශිෂ්ට ගුණාංග රැසකින් එතුමා ආඪ්‍ය විය. හොරණ, කොට්ටාව, කඩුවෙල මැතිවරණ කොට්ඨාස නියෝජනය කරමින් එහි ජනතාවට පමණක් නොව අමාත්‍යවරයෙක් ලෙස සමස්ත දේශයටම එතුමා නොපැකිළව සේවය කළේය. එම්.ඩී.එච්. ජයවර්ධනයන් 1986 සැප්තැම්බර් 29 වනදා දැයෙන් සමුගත්තත් එතුමා රටට දැයට කළ සේවය මෙන්ම එතුමාගේ ගුණ සුවඳ ද කිසි කලෙක මිය නොයනු ඇත. එය සදා අනුස්මරණීය වෙයි.

 

 ආර්. මහීෂ්වර

 

නව අදහස දක්වන්න