කවියට සාගරයක් වූ සාගර | දිනමිණ

කවියට සාගරයක් වූ සාගර

සාගර පලන්සූරිය

සාගර පහන් ටැඹ හෙළ කවි රජදානේ

ඇදගෙන වැටී සැඟවී මරණයෙ සීනේ

වසරක් ගත වුණා පසුගිය දින ගා‍නේ

සෙවනැලි දුටිමි මම වැළපෙන සඳ පානේ

 

මහා කිවියර ආචාර්ය සාගර පලන්සූරිය සාහිත්‍යවේදියාණන් 1908-03-31 සිට 1961 ජුනි 22 දක්වා රට ජාතිය ආගම ප්‍රධානව අපේ භාෂා සාහිත්‍යයේ ක්ෂේත්‍රයෙහි පුළුල් මෙහෙවර උදෙසා ඇප කැප වී දිවි කතරෙන් එතෙරව වසරක් ගතවෙද්දී සාගරගේ සදාදරණීය හිතවතා පී. බී. අල්විස් පෙරේරා ලියූ කේයස් කාව්‍යයේ පළමු කවියෙන්ම සාහිත්‍ය කලා ලෝකයේ යෝධ පහන් ටැඹක් වූ සාගර මානවහිතවාදියාණන් අළලා කෙටි සටහනකට යොමු වෙමු.

කේයස්, කලල්ඇල්ලේ ආනන්ද සාගර හිමි, ආචාර්ය සාගර පලන්සූරිය, හොරණ පාර්ලිමේන්තු මන්ත්‍රි සාගර පලන්සූරිය අටකලන්කෝරළේ ප්‍රාඥයා, හද්දා පිටිසර ගැමියා, කවියා, ලේඛකයා, පුවත්පත් කලාවේදියා, ගුරුවරයා, කම්කරු නායකයා, දේශපාලනඥයෙකු නොවූ පොදු ජන නායකයා ගැන නොදන්නා කෙනෙකු ඇත්නම් දන්නා කෙනෙකුගෙන් ඉතා ළෙන්ගතුව අසා දැන ගන්නා හෙයින් රයිගම් කෝරළේ ජන්මෙලාභියෙකු නොවූ ‍එහෙත් එතෙක් මෙතෙක් කතරේ සතර මායිම් අතර චිරප්‍රසිද්ධියට ලක් වූ හිතවතා නැණවතා ගැන බොහෝ විස්තර අසා විමසා දැනගන්නට සත්කෝරළේ සොබා සොඳුරු ඉඩකඩක පිහිටි වදාකඩට යමු.

වදාකඩට ගොස් කේයස්ගේ ජීවිත සටහන් පුරා සඳැස් කවියෙන් මහා පොතක්ම ලියූ හිතමිතුරු මහා කවි පුංචි බණ්ඩාර අල්විස් පෙරේරා නැත්නම් ඇතුගල්පුරේ මහා කවි පී. බී. අල්විස් පෙරේරාගෙන්ම දැන ගනිමු. සාගරගේ හිතමිතුරු නාරම්පනාවේ විමලරත්න කුමාරගම මහා ප්‍රාඥයා ලියූ පෙරවදන සටහන් ද කියවමු.

'කේයස් ස්වකීය කෙටි ජීවිත කාලය සම්පූර්ණයෙන්ම ගතකළේ රට උදෙසාය. අනුන් උදෙසාය. උපතත්, මරණයත් අතරදී නැවත නැවතත් උපන් පුද්ගලයෙකි. අන් අය දවසින් දවස මරණය වෙත ළඟාවෙද්දී කේයස් තම ජීවිතයේදී ගෙවී ගිය හැම මොහොතක්ම රටේ යහපත පිණිස යොදවමින් ජීවත් වූයේය.'

'කේයස් මියගියේ 1961 ජුනි 22 වැනිදාය. ඔහුගේ මළසිරුර දහසක් දෙනාගේ හදවත් දැවෙමින් දැවී ගිය ද ඔහු මළ බව විශ්වාස කිරීමට අපහසු වන්නේ සිය ජීවිතය අප අතර රඳවා ගිය නිසාය. කේයස් වැනි විවිධ වාසනා ශක්තීන් ඇති විවිධ කාර්යයන්ට සාර්ථකව අත ගැසිය හැකි පුද්ගලයන් ඕනෑම රටක බිහිවන්නේ කලාතුරකිනි. එවැනි වාසනා ශක්තීන් ඇති පුද්ගලයන් හට එදත් අදත් කවදත් ඉඩකඩ නැති, ඔබ හා මා උපන් රටෙහිම බව හැඟීමෙන් අපට ඇතිවන්නේ බලවත් දුකකි.'

කුමාරගම කේයස් ගැන තවදුරටත් මෙසේ ද සටහන් කරයි.

'කේයස් උපන් රටේ ඔහුගේ අතපය දිගුකිරීමට, ඔහුගේ නියම පෞරුෂත්වය පෙන්වීමට ඉඩකඩ මදවීම පුදුමයක් නොවේ. ඔහු ඉපදිය යුතුව තිබුණේ අවුරුදු දහස් ගණනකට පෙර දඹදිවය. නැතහොත් සොක්‍රටීස්, ඇරිස්ටෝටල් ආදීන්ගේ ජන්ම භූමිය වූ ග්‍රීසියේය. කොන්පියුසියස් උපන් ගුප්ත චීනයේය. පුදුමය නම් අතපය දිගහැරීමට ඉඩකඩ නැති රටක දුප්පත් පවුලක ඉපදුණු මෙවැනි කෙසඟ සිරුරක් සහිත පුද්ගලයෙක් සිය කෙටි ජීවිත කාලය තුළදී ලද සීමිත අවසරයෙන් නිසි සේ ප්‍රයෝජන ගෙන රටට හා සාහිත්‍යයට සදා වටිනාකම් ඇති සේවයක් කිරීමය.'

කේයස් ගැන ලියන විට සුදෝ සුදුවෙන් පටන් ගත යුතු යැයි සිතමි.

'සුදෝ සුදුවෙ' කවි අපේ වැඩිහිටි පරපුරට අදත් කටපාඩම්ය. සඳැස් කවිය අළලා නිබන්ධනයක් විශේෂාංගයක් රටට, ගමට, ජනතාවට බෙහෙවින් සමීප විද්වත් දේශනයක් ආරම්භ කරන කල්හි සුදෝසුදු වේ හරබර, රසබර කවියක්, වැකියක් මුල්කර ගැනීම එදත් අදත් කවදත් අපි දුටුවෙමු. ඇසුවෙමු. වින්දනය ‍කළෙමු.

1956 මහා මැතිවරණයේ හොරණ දේශපාලන අසුන තරග කරන්නට සුදෝ සුදු ලියූ සාගර පලන්සූරිය කවියා මහජන එක්සත් පෙරමුණෙන් පිලිප් ගුණවර්ධනගේ අනුගාමිකයෙක් ඉදිරිපත් වෙනවා යැයි ඇසූ මොහොතේ හොරණ ප්‍රදේශයේ ගම්බද නිවෙස්වල හැන්ඳෑ පාළුව මකන පැයේදී කේයස්ගේ කවි සංකල්පනා රයිගම්පුරය පුරා ගමේ වමේ සුහදයන්ගේ දෙසවන් ඔස්සේ පැතිරී ඉතිරී ගියේය.

එකල ජනකවි ගැමියන්ගේ ගැමි ජීවිත අළලා හරබරව සකස් විණි. හොරණ ප්‍රදේශයේ කිහිප තැනක කවි සන්ධ්‍යා පැවැත්විණි. වෙල් අද්දර පිල්ලෑවෙන් සුළං රොටු බදාගත් මිහිර ගම රට පුරා මහත් සෙනෙහසින් පාවී යමින් පවතිද්දී අපි සාගරගේ කවි මිමුණුවෙමු. එකල හොරණ හැම ගමකම කවියෝ සිටියහ. කවි මඩු පැවැත්විණි. සාගර පලන්සූරිය කවියා පෙරටු කරගෙන අල්විස් පෙරේරා, මුනිදාස වික්‍රමනායකගේ වාහනයෙන් ඡන්ද ප්‍රචාරය කරන්නටත් පෙර සාගරගේ කවි රැස් හොරණ පුරවරය පුරා පැතිරී ඉතිරී ගොස්ය.

ඇත්තෙන්ම ඒ කාලයේ ගොඩ මඩ දෙකම සරු සාරය පලබරය. අද මෙන් හැම තැනම පිරි සුපිරි කඩෙසාප්පු නැත. කඩ මණ්ඩිය පිහිටියේ ගම කෙළවරය. අපි සාගර ගැමි දරුවා සොයා සබරගමුවේ ඈතම ඈත අටකලන් කෝරලේ නිවිතිගල ප්‍රදේශයේ ඈත ඉසවුවට යමු.

 

අහසින් වැටෙන වැහි බිඳු පහළටම වැටේ

අඳුරේ නමුත් සුළඟට අතු රිකිලි නැටේ

(දේදුන්න - විසිවුණු තරු)

 

වහලේ සිදුරු අතරින් වැහි බිඳු බේරේ

ගොම මැටි නොගෑ බිම පොඩි වළවල් හෑරේ

කටු මැටි බිත්තියේ පොළවට බර තීරේ

(පිටිසර සිරියාව)

අපි කණ උන්දෑගේ ගෙපැල පසුකර ගමන් ‍කළෙමු. අතරමඟදී සිමියොන් බාස් උන්නැහැ දුටුවෙමු. යක්ගහලේ දොළත් පසුකළෙමු. නිවසක කම්මැළි වී වැනෙයි පොල්තෙල් පහනෙ සිල. ඒ මල්හාමිගේ නිවස බව යන්තමින් හැඳින ගතිමි. අපි තවමත් අපේ කවියාගේ වත ගොත නොදනිමු.

පැරණි සීතාවක යුගෙහිදී රාජසිහ දෙවි නිරිඳු හාමී

නළල් පට කඩු බැන්ද වැදගත් පරපුරක දිනු ගොරොක හාමී

පියාණන් විය, මවය හේනක ආරච්චිලගෙ යසෝහාමී

අපේ කවියා පලන්සූරිය මොහොට්ටාලගෙ අප්පුහාමී

 

අප්පුහාමිගෙ පියා විසුවේ එදා ගම්බද රජ කෙනෙකු මෙනි

සබරගමුවේ බොහෝ පෙදෙසක ඔහුගෙ බලතල පැතිර පැවතුනි

මහන්තත්වය රකින්නට ගොස් පවුල අයසට වැටෙන විලසිනි

තමන් සතුවූ ඉඩම් අක්කර දහස් ගණනක් නොමිලයේ දුනි

 

සිය ඉඩම්වල මැණික් ලද විට රටේ මහතුන් ළඟට ගෙන්නා

තෑගි බව පෙන්වමින් ඒවා නොමිලයේ උන් අතට දුන්නා

ඔහු මියෙන විට ඉසුරු පිරිහී ගෙයත් ඉඩමත් මිසෙක ඉන්නා

අඹුදරුන්හට කිසිත් නොතිබුණි ඔවුහු තනිවු විපත ගෙන්නා

 

තමන් සැමියා මැරුණු පසු ලද නොයෙක් දුක් කම්කටොලු අස්සේ

ගෙයත් ඉඩමත් අහිමි වී ගොස් සතුරු කරදර විපත ඔස්සේ

දිනක් කඳුළින් දෙනෙත තෙත් වී අකුණු පුපුරා හැළෙන වැස්සේ

කිවිඳුගේ මව කුඩා දරුවන් සමඟ සුසුමින් දොරට බැස්සේ

කේයස් - පී. බී. අල්විස් පෙරේරා - පී: 74-75 පළමුවන මුද්‍රණය, 1961 අගෝස්තු

දරුවෝ මවත් සමඟ මාමා ළඟ නතර වූහ. අයියා - අප්පුහාමි මාදම්පේ පාසලට ගියේය. මල්ලී ඩිංගිරි බොහෝ දිනවල පාසල් ගියේ නැත. වල් වැදුනේය. යහගහලේ දොළ ඔවුනට සොඳුරු තැනක් විය.

දවසක උසස් කවියකු වන මෙම කොලුවා

සෝදා දෙපා සිපගෙන මේ ඇළ ගැලුවා (සාගර පි. 79)‍‍

 

අයියා වරායායේ පන්සලේ රැඳුණේය. ඩිංගිරි ආපසු ගමට යන්නට හැරුණේය. අතරමඟදී හමුවූ ඇත්ඔය පැණතිස්ස හිමි ඩිංගිරි පැවිදිකර ගත්තේය. එතැනින් වැඩිදුර ඉගෙනුම සඳහා කලල්ඇල්ලේ පේමානන්ද පොඩි හාමුදුරුවෝ බලන්ගොඩ ආනන්ද මෛත්‍රය හිමිපාණන්ගේ සෙවණට පිවිසියේය. එතැනින් පේමානන්ද හිමියන්ගේ ඉදිරි ගමන් මඟ සැකසිණි. මෙහිදී ස්වදේශීය මිත්‍රයා පුවත්පතේ කර්තෘ ජී. ඩබ්. වික්‍රමාරච්චි, සිංහල ජාතිය පුවත්පතේ කර්තෘ පියදාස සිරිසේන, ශ්‍රී ධර්ම ශ්‍රී සඟරාවේ කතුවර පී. කේ. ඩබ්ලිව්. සිරිවර්ධන, කවි කිරුළ සඟරාවේ කර්තෘ කේ. වී. ඩී. අදිකාරම් වියතුන්ගේ සබඳකම් ඔස්සේ පේමානන්ද හිමියන්ගේ සහජ දක්ෂතා ඔප්නැංවිණි. ටිබෙට් ජාතික එස්. මහින්ද හිමි, තල්පාවිල ශීලවංස, වල්පොල රාහුල හිමිවරුන් පොඩි හාමුදුරුවන්ගේ කවීත්වය ඔස්සේ සබඳතා ගොඩනැඟුණි. හදිසියේ උපැවිදි වූ පේමානන්ද හිමි නැවත කෙටි කාලයකින් කලල්ඇල්ලේ ආනන්ද සාගර නමින් යළිත් පැවිදි ජීවිතයට පිවිසියේය. එකල ද ගුරු හිමිපාණන් වූයේ බලන්ගොඩ ආනන්ද මෛත්‍රය නාහිමිපාණන්ය.

මෙකල වන විට කලල්ඇල්ලේ ආනන්ද සාගර කේයස් නමින් පුවත්පත් කවි සඟරා රාශියක මුදුන්පෙත්තෙහි රැඳුණු බව සුවිශේෂව සටහන් කරමු. දේදුන්න, මීවදය, අඹවනය, බෙලිවනය කවි සඟරාවන්හි කාව්‍ය නිර්මාණ රාශියක් පළවිය.

මේ අනාගත කවියා, ලේඛකයා, පුවත්පත් කලාවේදියාගේ ජීවිතයේ හැරවුම් ලක්ෂ්‍යක් පහළ වූ වකවානුවයි.

1931 නොවැම්බර් මාසයේ ආනන්ද සාගර හිමි වැඩිදුර අධ්‍යාපනය සඳහා ඉන්දියාවේ ශාන්ති නිකේතනයට ඇතුළත් වූහ. මහා කවි රබීන්ද්‍රනාත් තාගෝර්තුමාගේ සමීප ඇසුර ලද සාගර හිමි ඒ මං පෙත් ඔස්සේ නිර්මාණ ශක්තිය පුළුල් කර ගත්හ. සාගර හිමිපාණන්ගේ දිවි මං තලාවට නව ආලෝකයක හිරු රශ්මි ධාරා පතිත විය.

1937දී සාගර හිමිපාණෝ දිවයිනට ආපසු වැඩම කළහ. කවි නිර්මාණයෙන් පමණක් නොව ධර්ම ඥානයෙන් ද ශාස්ත්‍ර ඥානයෙන් ද පිරිපුන් වියත් යතිවරයෙක් වූහ. අනතුරුව එකල ද උගත් වියත් පඬිවරයෙකුට ලද හැකි ඉහළම ධුරය වූ ගුරු වෘත්තියට පිවිසියහ. එකල ද පෙරදිග පුරා ශිල්ප ශාස්ත්‍ර ලෝකය පැතිර වූ කොළඹ ආනන්ද විදුහලේ ආචාර්යවරයෙකු වශයෙන් අතිශය දුර ගමනකට පියවර තැබූහ.

හතළිහේ දශකය ශ්‍රී ලංකාවේ ජාතික නිදහස් අරගලයේ දීප්තිමත් කාලවකවානුවකි. කැලණියේ විද්‍යාලංකාර පිරිවෙන ලාංකීය නිදහස් අරගලයේ ප්‍රදීපාගාරය විය. විද්‍යාලංකාර පිරිවෙන්හි වැඩ විසූ බඹරැන්දේ සිරිසීවලී, යක්කඩුවේ ප්‍රඥාරාම, කොටහේනේ පඤ්ඤාකිත්ති බඳු ශ්‍රේෂ්ඨ විශිෂ්ට යතිවරුන්ගේ ගමන් මඟට පිවිසි සාගර හිමි ඒ පියමං ලකුණු ඔස්සේ නව මාවතකට පිවිසියහ. ජන හද මැද අදත් ආලෝක ධාරා විහිදුවන නිර්මාණ පෙරහරට දායක වූ සාගර හිමි ඒ හරහා ජාතික නිදහස් අරගලයට ද ප්‍රවිෂ්ට වූහ.

විද්‍යාලංකාර පරිශ්‍රයේ නිදහස් පරිසරය නිදහස් මතධාරීන්ගේ ගිහි පැවිදි උතුමන්ගේ විද්වතුන්ගේ සමාගමය සාගර හිමිපාණන්ට නොඅඩුව ලැබුණි. ජන හද බැඳගත් සුදෝ සුදු කාව්‍ය නිර්මාණය එළිදුටුවේ මෙම පරිසරය තුළිනි. කැලණි විත්ති, ගමේ ඇත්තා, මල්හාමි, ගොවි පෙරමුණ, විසිවුණු තරු කාව්‍ය පොත් ගණනාවක්ම පළවිණි. සාහිත්‍ය ග්‍රන්ථ රාශියක් ද පළ කෙරිණි. සම්භාව්‍ය සාහිත්‍ය ග්‍රන්ථ රාශියක්ම සංස්කරණයෙන් පළ කළහ. සම්භාව්‍ය කෘති රාශියක්ම අනුවාද කළහ.

විද්‍යාලංකාර විශ්වවිද්‍යාලය කේන්ද්‍ර කර ගනිමින් ආරම්භ වූ මේ ජනතා අරගලයට සාගර හිමිපාණන් ද පෙරමුණ ගත්හ. 1946 මහා වැඩවර්ජනයට සහාය දැක්වූ අතර, ගෝල්ෆේස්හි පැවැත්වූ ජයග්‍රාහී ජනරැලියේදී චතුර දේශනයක් ද පැවැත්වූහ. මෙසමයෙහි කුරුණෑගල මලියදේව විදුහලේ ගුරු වෘත්තියෙහි නිරත විය. භික්ෂූන්ට දේශපාලනය අකැප යැයි රටේ පාලක පක්ෂයෙන් එල්ල වූ බරපතළ චෝදනාවත් සමඟ විද්‍යාලංකාර ප්‍රකාශනයක් ද එළිදැක්විණි. භික්ෂුව හා දේශපාලනය හා විනය නමින් යක්කඩුවේ ප්‍රඥාරාම හිමිපාණෝ 'කාලය' පුවත්ප‍ෙත් ලිපි පෙළක්ම පළ කළහ. ගුරු, ගොවි, කම්කරුවන් ප්‍රධාන ප්‍රගතිශීලී බලවේගයට ශක්තියක් වෙමින් සාගර හිමිපාණෝ උපැවිදි වූහ. 'සූරිය' නමින් ලංකාදීප පුවත්පතට ලිපි පෙළක්ම පළ කළහ. පසුව ලංකාදීප කර්තෘ මණ්ඩලයට ද එක්විය.

1948දී සාගර පලන්සූරිය යාපනයේ 'යාපන විද්‍යාලයට' අනුයුක්ත විය. ජැෆ්නා කොලීජියෙහි සේවය කරමින් ඔහු ඉතා කෙටි කලකින් යාපනය සමාජය සමඟ මිත්‍ර සබඳතා ගොඩනඟා ගත්තේ සිය සමාජ දර්ශනයට ශක්තියක් ලබා දෙමිනි. ඒ අතර 1948 නොවැම්බර් 26 වැනිදා ග්ලැඩිස් චන්ද්‍රා මෙනවිය සමඟ විවාහ වූයේය.

යාපන විද්‍යාලයේ විදුහල්පතිව සිටි කේ. එස්. එස්. සෙල්ලයියා මහතා සාගරගෙන් ගෞරවනීය ඉල්ලීමක් කළේය. සිංහල භාෂාව, සිංහල සාහිත්‍යය, පාලි භාෂාව සහ බෞද්ධ දර්ශනය ද්‍රවිඩ ශිෂ්‍යයින්ට ඉගැන්වීම ඉතා සාර්ථක විය. විවේක කාලය තුළ ගිරා සංදේශය සහ ධම්මපදය ඉංග්‍රීසියට පරිවර්තනය කළේය. මෙසමයෙහි සාගර මොරටුවේ වේල්ස් කුමාර විද්‍යාලයෙහි සේවය කළේය.

1956 මහා මැතිවරණ සටන ආරම්භ වූ කාල පරාසයයි. එවකට සාගර පිලිප් ගුණවර්ධනගේ විප්ලවකාරී ලංකා සමසමාජ පක්ෂයට එක්ව සිටියේය. පිලිප් සහ සාගර අතර දැඩි සබඳකමක් තිබුණි. මහජන එක්සත් පෙරමුණෙන් හොරණට ඉතා ගැළපෙන අපේක්ෂකයෙකු සොයන අවධියයි. සාගර පලන්සූරිය ඡන්දයට ඉදිරිපත් වූයේ හිටපු මුදල් ඇමැති ඇම්. ඩී. එච්. ජයවර්ධනයන් සමඟය. මුළු රට පුරා ඇම්. ඩී. එච්. සාගර ඡන්ද සටනට හිමිවූයේ ප්‍රමුඛස්ථානයකි. සාගර වැඩි ඡන්ද 11,750ක් ලබා විජයග්‍රහණය කළේය. මැති සබය තුළ සාහිත්‍ය භාෂාව සංස්කෘතිය සම්බන්ධ සාකච්ඡාවලදී සාගරගේ නියෝජනය සුවිශේෂී විය. උගුරේ ආබාධයක් නිසා සාගර මැතිසබයට නොගියේය. විද්‍යාලංකාර විශ්වවිද්‍යාලයෙහි පර්යේෂණ අංශයේ රැකියාවක් ලැබුණි. මෙහිදී බලවත් ලෙස රෝග පීඩාවට පත් සාගර 1961 ජුනි 22දා සවස් වරුවේ ජීවිතයෙන් සමුගත්තේය. කලාකරුවන් ඇතුළු පොදු ජනතාවගේ උණු කඳුළු මධ්‍යයේ කේයස්ගේ සිරුර දැවී ගිනිදැල් පරිසරය සිප ගනිද්දී සිය ප්‍රාණය වැනි හිතමිතුරු පී. බී. අල්විස් පෙරේරා කවියා උණු කඳුළු මැද කියූ කවිය අපි හැට වසරකට පසු යළිත් මතකයට ගනිමු.

 

රඳවා සිනා මල් මත මුව මිනි කැටිය

නොකිළිටි සිතින් පිළිගන්වා ළඟ සිටිය

කවි සොහොයුරා ළංකර ගත් ගිනි වැටිය

ඇවිලෙයි බුර බුරා සොහොනෙහි පිල පිටිය

 

 බන්ධුල ආර්. ගුලවත්ත

 

ආශ්‍රිත පොත් පුවත්

කේයස් චරිතාපදානය - පී. බී. අල්විස් පෙරේරා

කවි සාගරයක් වූ පලන්සූරිය - සුගතපාල වේරදුව - දිවයින 2014-06-30

කොළඹ යුගයේ කවි කලාවේ - කේයස් නිර්මාණ හා වින්දන සංසදය (අද - 2016-06-27)

කේයස්ගේ සුදෝ සුදු - සරත්චන්ද්‍ර ජයකොඩි - 1998 නොවැම්බර් - ලංකාදීප

 

 

 

 

 

නව අදහස දක්වන්න