ළමා පරපුරේ වගකීම කාගෙද? | දිනමිණ

ළමා පරපුරේ වගකීම කාගෙද?

"ඔන්ලයින් එන්න ෆෝන් එකක් නැතැයි කී දරුවා සිය දිවි නසාගෙන."

ගිය සතියේ සමාජ මාධ්‍ය වෙබ් පිටුවක දුටු ඒ සෝචනීය පුවත පපු කුහර පසාරු කරගෙන යන්නකි.

'ඔන්ලයින්' කෙහෙල් මල් කොරෝනාවක් නිසා යැයි කියා අත පිසදා ගත නොහැක්කි. "අපේ කාලේ වගේ නෙවෙයිනේ මේ දරුවන්ට කිසිම හිත හයියක් නෑනේ." කියා වැඩිහිටියන්ට වහසි බස් දොඩන්නටවත් ඉඩ ප්‍රස්තාව ඇති වකවානුවක් නොවේ මේ.

මන්ද යත් දරුවන්ගේ එවන් සිය දිවි නසා ගැනීමට වැඩිහිටියන්ගේ සෘජු හෝ වක්‍රව හෝ දායකත්වයක් නොලැබෙන්නේ යැයි කීම අපාගත වීමකි. මොවුන් මෙසේ විනාශ වී යන්නේ කිසිදු පොදු ඉල්ලීමක් නිසා නොවන අතර හුදෙක්ම අතිශය පෞද්ගලික කාරණා නිසාය. ආදර සබඳතා, විභාග භීතිකා, සමාජ ජාල අඩවි මෙන්ම දුප්පත්කම අගහිඟකම ද මේ හේතු අතර ප්‍රබල වන්නකි.

''කොළඹට කිරි අපට කැකිරි" වූ සමාජ රාමුවක කොළඹ පන්නයේ උන් මියෙන්නට හේතු සකස් කරගන්නේ අසීමිත නිදහස මෙන්ම අධි සුඛෝපභෝගී දිවි පැවැත්ම, මවුපියන්ට දරුවන් මඟ හැරී යාම වැනි කාරණා හේතු සාධක කර ගනිමිනි. ඇබ්බැහිවීම් ගහණ සමාජයකි. පාසල් දරුවාට එවන් අසීමාන්තික නිදහසේ වග උත්තරකරුවන් වැඩිහිටි ඔබ මිස අන් කිසිවෙක් නොවේ.

ඊට හාත්පසින්ම වෙනස් වූ ඉරණමට ලක් වූ හද්දා පිටිසර පොඩි එකාගේ අප්පාට හේන පාළු වුණොත් කනේරු ඇට කන්නට තරම් ගින්නක් හිතේ නඟිනු ඇත. එවන් පවුල් පසුබිමක දරුවෝ කෙසේ නම් නිසි අධ්‍යාපනයක යෙදෙන්නට ද? අධික ජීවන බර දරාගත නොහැක්කි. මේ විෂමතාවයට වගකිවයුත්තෝ අන් කවුරුත් නොවන බව ඔබ දන්නා කරුණකි.

වැඩිහිටියන්ගෙ අසම්මත හැසිරීම් දරුවන්ට ප්‍රබලවම බලපාන්නකි. මෑත අසන්නට ලැබුණේම දරුවන්ට සිදු වූ විපත්තීන්මය. අවුරුදු 15ක දියණිය විශාල පිරිසකගේ අපයෝජනයට ලක් වීම මාධ්‍ය ජාලා අතර මහා වෙළෙඳ ප්‍රචාරයක්ම විය. එකම පුවත මඩේ දම දමා සෝදා නැවත නැවත පුන පුනා කීම මාධ්‍ය සදාචාරය නම් නොවේ. සිදු විය යුත්තේ එවන් අපරාධයකට හේතු වූ මූලික කාරණාව සොයා එයට පිළියම් කොට එවන් අපරාධයක් මින් පසු සිදු නොවන්නට වඟ බලා ගැනීමත් දරුවන් සුරක්ෂා කිරීමත්ය. ඒ දියණිය එකම අපරාධය නැවත නැවත සිදු කිරීමේදී නිහඬ වූයේ ඇයි? එයට හේතු වු මානසික කාරණාව කුමක්ද? සෙවිය යුත්තේ එයයි.

මෑතක ප්‍රබල මැතිවරයකුගේ නිවසේ අවු 16ක දියණියක් පිලිස්සී මිය ගොස් තිබුණි. ඇය ලිංගික අතවරයට පවා පත්ව තිබූ බව දැනගන්නට ලැබුණකි. අපරාධයේ සුලමුල සෙවිය යුතුය. නමුත් ප්‍රබලම කාරණය නම් එය නොවේ. තවමත් ඉගෙන ගන්නා වයසේ දරුවෙක් වූ ඇය මිය යන විට එම නිවසේ මෙහෙකාරියකි. සමාජ සමානාත්මතාව තිබුණා නම්, ඇති නැති පරතරයක් නොතිබුණා නම් නිසි අධ්‍යාපනය හෝ වෘත්තිය දැනුම කුසලතා හෝ පෝෂණය වී තිබුනා නම් ඇතැම් විට ඇයට එම ඉරණම අත්වීමට සිදු නොවනු ඇත.

දරුවාගේ මානසික වර්ධනය සිදු විය යුත්තේ පූර්ව ප්‍රසව අවදියේ සිටය. නිවස, පාසල, සමාජය තුළින් දරුවා නිර්මාණය වන්නකි. එසේ නම් දරුවාගේ ප්‍රබලම හව්හරණ, ප්‍රබලම අනුකරණය වැඩිහිටියන් බව අමතක කොට ඔවුන් කිරි දරුවන් මෙන් ජීවත්වීම අපූරුම විහිළුවකි. මාධ්‍ය, දේශපාලනය, රජය මේ සියල්ල මෙහෙයවන්නෙ වැඩිහිටියන්ය. වැඩිහිටි මෙහෙයුම්කරුවන් දෙස බලා දරුවෝ ජීවිතය සකස් කරගන්නට වෙහෙසෙති.

යම්කිසි සිය දිවි නසා ගැනීමක්, ඝාතනයක් හරබර නාට්‍ය ස්වරූපයෙන් ප්‍රවෘත්තිවල ප්‍රධානම සිරස්තලය බවට පත්වීමට තරම් අද ඇතැම් නාලිකා පත්ව ඇති තත්ත්වය ගැන ඇත්තේ කනගාටුවකි. දිවි නසා ගැනීම සමාජ ගැටලුවකි. නමුත් එය ප්‍රවෘත්ති සඳහා මුල් තැන දෙන කාරණාවක් නොවිය යුත්තකි. නමුත් ලංකාවේ වසරක් පාසාම විශිෂ්ටතම රන් සම්මානයෙන් පිදුම් ලැබූ, ප්‍රවෘත්තිවලින් අංක එක වූ ,රටේ ප්‍රේක්ෂක සිත් දිනාගත් ජනප්‍රියම නාලිකා බවට පත්වූවත් පලක් නැත. මේ කුමන තත්ත්වයේ උසස්වීම් ලදද එහෙත් එකී අධම, අඥාන, නින්දිත ක්‍රියාවලිය කිසිම විලි සංගයක් නොමැතිව සිදු කරන්නකි . සිය දිවි නසා ගැනීමකට, ඝාතනයකට දරුවා පෙළඹවීමට එම ප්‍රවෘත්තිය ම සාධකයක් නොවන්නේ යැයි කීම උගහටය.

උදෑසනම නාලිකා සියල්ලම පාහේ ග්‍රහ තරු අනුව පලාපලය. තව තැනක රස කෑම තනා ගන්නා අයුරුය. තව තැනක මනාලියන් හැඩ කරගන්නා හැටිය. තරබාරු බව අඩු කර ගන්නා ආකාරය තව නාලිකාවකය. කිසිදු නාලිකාවක මනස තනා ගන්නා හැටි හෝ දරුවන්ගේ පෞරුෂ සංවර්ධනය පිළිබඳ කතා කරන්නේ නැත.

තරගකාරී ලෝකයක තරගකරුවන් ලෙස ඔවුන් ගොඩනඟනවා විනා වැඩිහිටි අප ඔවුන්ගේ මානසිකත්වය පිළිබඳ සැලකුවා ද යන්න දෙවරක් සිතිය යුතු කාරණාවකි. දුම්රියපලක් ළඟ, බස් නැවතුමක් ළඟ, මහ මුහුදක් ළඟ, වැව් බැම්මක් උඩ සිට පුංචි එවුන් සොයන්න ජීවිතය නොවේ. ජීවිතයෙන් මිදීමට මඟයි. වැඩිහිටියනි, නිසි බලධරයෙනි, මේ ඔබේ ඇස් ඇරිය යුතු ම මොහොතයි.

මානසික සංවර්ධනය උදෙසා 'සති පාසල් සංකල්පය' ඉතා වැදගත් සංකල්පයක් ලෙස මේ වන වන විට පාසල් මට්ටමින් ක්‍රියාත්මක කිරීම ප්‍රශංසාවට ලක් වුවද දරුවන් කෙරෙහි මීට වඩා සැලකිලිමත් ලෙස මවුපිය, වැඩිහිටි මෙන්ම ජනමාධ්‍ය, දේශපාලනික කණ්ඩායම් ප්‍රබල ලෙස රජය අවධානය යොමුවිය යුතුය. නිසි වැඩපිළිවෙළක් යටතේ දරුවාගේ මානසික සංවර්ධන‍ය, ඔවුන්ගේ මනා පෞරුෂය ගොඩනැංවිය යුතුමය. විශේෂයෙන් මේ පාසලෙන් බැහැරව නිවසේ රැඳී සිටින කාලයේ ඔවුන් පිළිබඳ අවධානය දැඩි විය යුතුය.

හෙට පිපී සුවඳවත් විය යුතු දරු පරපුරේ සැබෑම නිමැවුම්කරුවෝ වැඩිහිටි ඔබයි. ඔබ ගන්නා තීන්දු තීරණයි. එසේ නම් ඔවුන් සුරැකීම ඔබ මා සතු වගකීමක් නොවන්නේද්?

 නිලුෂා දිල්රුක්ෂි

නව අදහස දක්වන්න