ඉන්දීය ඉනිම ලකුණු 225කින් නවතී | දිනමිණ

ඉන්දීය ඉනිම ලකුණු 225කින් නවතී

නවක ක්‍රීඩකයන් 5 දෙනකු සමඟින් ඊයේ කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී තෙවැනි සහ අවසන් එක්දින තරගයට එක් වූ සංචාරක ඉන්දීය ක්‍රිකට් පිල ඕවර 43.1කදී ඉනිම ලකුණු 225කට සීමා කිරීමට ශ්‍රී ලංකා පන්දු යවන්නෝ සමත් වූහ.

ඉන්දීය ඉනිම මැද දී තරගයට වර්ෂාවෙන් බාධා වීම හේතුවෙන් ඉනිමක් ඕවර 47කට සීමා වූ අතර, ශ්‍රී ලංකා පිලට ලකුණු 227ක ඉලක්කයක් හිමි විය.

එම ඉලක්කය හඹා යන ශ්‍රී ලංකා පිල ඕවර 10කදී කඩුල්ලක් දැවී ලකුණු 55ක් රැස් කර තිබිණි.

අවිශ්ක ප්‍රනාන්දු ලකුණු 32ක් සහ භානුක රාජපක්ෂ ලකුණු 9ක් රැස් කරමින් නොදැවී කඩුල්ලේ රැඳී සිටියහ.

ප්‍රිත්වි ෂෝ සමඟ ඉනිම ආරම්භ කළ නායක ශිකර් ධවාන්ට වැඩි වේලාවක් කඩුල්ලේ රැඳී සිටීමට අවස්ථාක් නොලැබුණේ දුෂ්මන්ත චමීරගේ පන්දුවක් හමුවේ මිනෝද් භානුක උඩ පන්දුවක් රැක ගැනීමෙනි. ලකුණු 13කට ඔහු දැවී යෑමෙන් පසු පිටියට පිවිසි නවක ක්‍රීඩක සංජු සැම්සන් ප්‍රිත්වි සමඟ එක්ව දෙවැනි කඩුල්ලට පන්දු 80කින් ලකුණු 74ක් එක් කළේය.

මුළු ලකුණු 102දී සංජුගේ මංගල එක්දින ඉනිම ලකුණු 46කට සීමා කිරීමට ප්‍රවීන් ජයවික්‍රම සමත් වූ අතර, තවත් ලකුණු 16කට පසු ප්‍රිත්වි පිටියෙන් ඉවත් වූයේ නායක දසුන් ශානකගේ පන්දුවක් හමුවේ කඩුල්ල මුවා කිරීමේ වරදට හසු වීම හේතුවෙනි. සංජු හතරේ පහර 5ක් සහ හයේ පහරක් සමඟ ප්දු 46කට මුහුණ දුන් අතර, ප්‍රිත්වි පන්දු 49කින් ලකුණු 49ක් රැස් කළේ හතරේ පහර 8ක් සමඟිනි.

ඉනිමේ 23 වැනි ඕවරයේ පළමු පන්දුවෙන් ජයවික්‍රම හමුවේ සූර්යකුමාර් යාදව් කඩුල්ල මුවා කිරීමේ වරදට හසු වූ බවට පිටියේ විනිසුරු තීරණය කළ අතර, යාදව් එම තීරණය තෙවැනි විනිසුරු වෙත යොමු කළේය. දිගු වේලාවකින් පසු ඔහු දැවී නොගිය බවට තෙවැනි විනිසුරු තීරණය කරන විට යාදව් ක්‍රීඩාගාරය වෙත යමින් සිටි අතර, හර්දික් පාණ්ඩ්‍යා නවක පිතිකරු ලෙස පිටියට එමින් සිටියේය. එහෙත් තෙවැනි විනිසුරු තීරණයත් සමඟ යාදව් යළි පිටියට පිවිසි අතර, හර්දික් ක්‍රීඩාගාරය වෙත හැරී ගියේය. එම ඕවරයේ නිමාවත් සමඟ පස්වරු 4.50ට පමණ වාර්ෂාව හේතුවෙන් තරගය අත්හිටුවීමට සිදු විය. යළි තරගය ආරම්භ වූයේ ඉනිමක් ඕවර 47කට සීමා කරමිනි.

වර්ෂාවෙන් අනතුරුව ලකුණු 10ක් එක් වෙද්දී මනීෂ් පාණ්ඩේ (11) දවාගත් ජයවික්‍රම, හර්දික් පාණ්ඩ්‍යා (19) ද කඩුල්ල මුවා කිරීමේ වරදට හසු කර ගත්තේ සිය දෙවැනි එක්දින තරගයේදී කඩුලු 3ක් බිඳ දමමිනි. අනතුරුව ක්‍රියාත්මක වූ අකිල ධනංජය, යාදව් (40) සහ ක්‍රිෂ්ණප්පා ගෞතම් (2) කඩුල්ල මුවා කිරීමේ වරදට හසු කර ගත් අතර, මිනෝද් භානුකගේ උඩ පන්දු රැකීම හේතුවෙන් නිතිෂ් රානා (7) දැවී ගිය පිතිකරුවන් අතරට එක් වූයේය.

නව්දීප් සයිනි සහ රාහුල් චාහර් 9 වැනි කඩුල්ලට ලකුණු 29ක් එක් කළ අතර, චාමික කරුණාරත්න සහ දුෂ්මන්ත චමීර ලකුණක් තුළ අවසන් කඩුලු 2 බිඳ දැමීමත් සමඟ ඉන්දීය ඉනිම ලකුණු 225කින් නතර විය. ශ්‍රී ලංකා කණ්ඩායම මේ තරගයේදී වෙනස්කම් 3ක් කරමින් රමේෂ් මෙන්ඩිස්, අකිල ධනංජය සහ ප්‍රවීන් ජයවික්‍රම කැඳවා තිබුණේ වනිඳු හසරංග, කසුන් රාජිත සහ ලක්ෂාන් සඳකැන් වෙනුවටය. හසරංග සහ රාජිත ආබාධවලට ගොදුරු වීමෙන් මේ තරගය අහිමි වූහ.

ඉන්දීය පිල මේ තරගයේදී වෙනස්කම් 6ක් සිදු කර තිබුණේ ඉන් ක්‍රීඩකයන් 5 දෙනකුට අන්තර්ජාතික එක්දින තරග වරම් හිමි කර දෙමිනි. ඒ සංජු සැම්සන්, නිතිෂ් රානා, ක්‍රිෂ්ණප්පා ගෞතම්, රාහුල් චාහර් සහ චේතන් සකාරියාටයි. නව්දීප් සයිනි ද ඊයේ තරගයට එක් වූ අතර, ඒ වෙනුවට ඉෂාන් කිෂාන්, කෘනාල් පාණ්ඩ්‍යා, දීපක් චාහර්, බුවනේශ්වර් කුමාර්, යුස්වේන්ද්‍ර චාහල් සහ කුල්දීප් යාදව් ඉවත් කර තිබිණි.

මෙය ඉන්දීය පිල එක­්වර ක්‍රීඩකයන් 5 දෙනකුට අන්තර්ජාතික තරග වරම් දුන් දෙවැනි අවස්ථාව ලෙස ඉතිහාසයට එක් විය. මින් පෙර 1980 වසරේ දෙසැම්බරයේදී ඔවුන් ඔස්ට්‍රේලියාවට එරෙහිව ක්‍රීඩකයන් 5 දෙනකුට එක්වර ජගත් තරග වරම් හිමි කර දී තිබිණි.

නව අදහස දක්වන්න