ශ්‍රී ලංකාවේ 3ක් අද ඔලිම්පික් සටන් බිමේ | දිනමිණ

ශ්‍රී ලංකාවේ 3ක් අද ඔලිම්පික් සටන් බිමේ

ප්‍රින්ස් ගුණසේකර

ටෝකියෝ ඔලිම්පික් උලෙළේ තරග ආරම්භ වන පළමු දිනය ලෙස සැලකෙන අද දිනයේ ශ්‍රී ලංකාවේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් තිදෙනෙක් තරග බිමට පිවිසෙති. අනීකා ගෆූර් මීටර් 100 සමනල ආර තරගයට පිවිසෙන අතර, මීටර් 10 වායු රයිෆල් ඉසව්වෙන් ටෙහානී එගොඩවෙල ටෝකියෝ වෙඩි පිටියට පිවිසේ. එමෙන්ම බැඩ්මින්ටන් ක්‍රීඩක නිලූක කරුණාරත්න ඒකල මූලික වටයේ තරගයකදී චීන තායිපේ ක්‍රීඩකයා සමඟ සටනට පිවිසේ.

තායිලන්තයේ පූකට් දිවයිනේ පුහුණුවීම් සිදු කරන 17 හැවිරිදි අනිකා ගපූර් මෙවර ඔලිම්පික් ක්‍රීඩා උලෙළට සහභාගි වන ශ්‍රී ලංකා කණ්ඩායමේ ළාබාලතම ක්‍රීඩිකාව වේ. කුඩා කල සිටම පිහිනුම් තටාකය තුළ සුවිශේෂ දක්ෂතා ප්‍රදර්ශනය කරන මේ යෞවනිය 2019 වසරේ කොරියාවේ පැවැති ලෝක පිහිනුම් ශූරතාවලිය වෙනුවෙන් ශ්‍රී ලංකාව නියෝජනය කළාය. ඇයගේ හොඳම ඉසව්ව වූ මීටර් 100 සමනල ආර ඉසව්වෙන් දකුණු ආසියා ලෝකඩ පදක්කමක් හා මීටර් 100 මෙඩ්ලී සහාය ඉසව්වෙන් රිදී පදක්කමක් දිනා ගත්තාය. ඇය මේ වන විට මීටර් 50 හා මීටර් 100 සමනළ ආර ඉසව්වේ ජාතික වාර්තාවට හිමිකම් කියන්නීය.

ශ්‍රී ලාංකේය වෙඩි පිටියේ ශූරිය ලෙස කිරුළ දරා සිටින ටෙහානී එගොඩවෙල මෙවර ඔලිම්පික් ක්‍රීඩා උලෙළේ කාන්තා මීටර් 10 වායු රයිෆල් ඉසව්ව නියෝජනය කරන අතර, ඇය එම ඉසව්වේ ශ්‍රී ලංකා වාර්තාලාභිනිය ද වේ. මේ ඉසව්වේ ආසියානු ශ්‍රේණිගත කිරීමේ 77 වැනි ස්ථානයේ සිටින ඇය ලෝක ශ්‍රේණිගත කිරීම් අනුව 223වැ නි ස්ථානයේ පසු වේ.

36 හැවිරිදි නිලූක කරුණාරත්න 2012 ලන්ඩන් හා 2016 රියෝ ඔලිම්පික් උලෙළ වෙනුවෙන් ශ්‍රී ලංකාව නියෝජනය කළ අතර, පිට පිට තෙවරක්ම ඔලිම්පික් ක්‍රීඩා උලෙළකට සහභාගි වන ශ්‍රී ලංකාවේ සිව්වැනි ක්‍රීඩකයා බවට පත්ව සිටී. ඔහුගේ පරිණතභාවය අද දිනයේ චීන තායිපේ ක්‍රීඩකයා පරාජය කොට පළමු කඩඉම පසු කිරීමට බොහෝ සෙයින් උපකාරී වනු ඇත. මෙවර ඔලිම්පික් උලෙළට තරග වදින ශ්‍රී ලංකාවේ සියලු ක්‍රීඩක ක්‍රීඩිකාවන් තම පෞද්ගලික දක්ෂතා අබිබවා යමින් පෙරැළිකාරී අවසානයක් සටහන් කරනු ඇතැයි අපේක්ෂාව වී තිබේ.

නව අදහස දක්වන්න