මඩකලපුව ජනතාවගේ යටිතල පහසුකම් නැංවීමට ආධාර දෙන්න ඉන්දීය රජය සූදානම් | දිනමිණ

මඩකලපුව ජනතාවගේ යටිතල පහසුකම් නැංවීමට ආධාර දෙන්න ඉන්දීය රජය සූදානම්

උපාලි කරුණාරත්න

- රාජ්‍ය ඇමැති සදාසිවම් වියාලේන්ද්‍රන්

මඩකලපුව දිස්ත්‍රික්කයේ ජනතාවගේ යටිතල පහසුකම් වැඩි දියුණු කිරීම සඳහා ඉන්දියාණු මහකොමසාරිස් කාර්යාලය හරහා තමා කළ ඉල්ලීමක ප්‍රතිඵලයක් ලෙස ඉන්දියානු රජයේ ආධාර ලබාදීමට පොරොන්දු වූ බව පසුගාමී ග්‍රාමීය ප්‍රදේශ සංවර්ධන සහ ගෘහාශ්‍රිත සත්ත්ව පාලන හා සුළු ආර්ථික බෝග වගා ප්‍රවර්ධන රාජ්‍ය ඇමැති සදාසිවම් වියාලේන්ද්‍රන් මහතා පැවසීය.

මේ සම්බන්ධයෙන් ඉන්දීය නියෝජ්‍ය මහ කොමසාරිස් විනෝද් කේ. ජාකෝබ් මහතාගේ නිල නිවෙසේදී හමුවක් පසුගියදා (21) පැවත්විණි.

අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ උපදෙස් හා මඟපෙන්වීම යටතේ නැඟෙනහිර පළාතේ ආර්ථික, අධ්‍යාපන හා සෞඛ්‍යය මෙන්ම යටිතල පහසුකම් ව්‍යාපෘති ආරම්භ කරන බවද ඒ සඳහා ශ්‍රී ලංකා රජයේ සහාය උපරිමයෙන් ලැබෙන බවත් රාජ්‍ය ඇමැතිවරයා මේ හමුවේදී පැවසීය.

මේ ව්‍යාපෘතිවලින් මඩකලපුව දිස්ත්‍රික්කයේ දුප්පත් ජනතාවට විශාල පිටිවහලක් වන බවත් මහත් අත්වැසිල්ලක් ලැබෙන බවත් රාජ්‍ය ඇමැතිවරයා මේ සාකච්ඡාවේදී වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

පසුගාමී ග්‍රාමීය ප්‍රදේශ සංවර්ධන සහ ගෘහාශ්‍රිත සත්ත්ව පාලන හා සුළු ආර්ථික බෝග වගා ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යංශයේ ලේකම් වෛද්‍ය අමල් හර්ෂ ද සිල්වා ,අගමැතිවරයාගේ සම්බන්ධිකරණ ලේකම් සෙන්දිල් තොණ්ඩමන්, ඉන්දියානු තානාපති කාර්යාලයේ පළමු ලේකම්වරයකු වන ඊ.එම්.පුන්නෝසේ මහත්වරුන් මේ සාකච්ඡාවට එක්ව සිටියහ.

 

නව අදහස දක්වන්න