මෙරට ශ්‍රම බළකායේ පුහුණු ශ්‍රමිකයන් නිපුණතා ශිල්පීන් 90 % තෙක් වැඩි කිරීමට ජනපති උපදෙස් දුන්නා | දිනමිණ

මෙරට ශ්‍රම බළකායේ පුහුණු ශ්‍රමිකයන් නිපුණතා ශිල්පීන් 90 % තෙක් වැඩි කිරීමට ජනපති උපදෙස් දුන්නා

සුභාෂිණී සේනානායක

- නිපුණතා සංවර්ධන අමාත්‍යාංශයේ තත්ත්ව ආරක්ෂණ කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ

මෙරට ශ්‍රම බළකායේ පුහුණු ශ්‍රමිකයන්, නිපුණතා ශිල්පීන් සියයට 90 දක්වා වැඩි කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා උපදෙස් ලබා දී ඇති බව නිපුණතා සංවර්ධන අමාත්‍යාංශයේ තත්ත්ව ආරක්ෂණ තෘතීයික අධ්‍යාපන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ආචාර්ය අජිත් පොල්වත්ත මහතා දිනමිණට පැවැසීය.

මෙරට සියලුම ශිල්පීන් නිපුණතාවෙන් හෙබි පිරිසක් කරමින් ඔවුන්ට ගමින් ගමට රටින් රටට ගොස් ඉහළ වැටුපක් ලබමින් වෘත්තීය ගෞරවයක් ලබාදීම මෙහි අරමුණ බවද ඒ මහතා පැවැසීය.

මේ වැඩපිළිවෙළට සමගාමීව වැඩ කරන පළපුරුදු ශිල්පීන් කියන්ගේ වැඩ පළපුරුද්ද පරීක්ෂා කිරීමෙන් අනතුරුව විධිමත් ක්‍රමවේදයක් ඔස්සේ NVQ අදියරයන්ට අදාළ සහතික පිරිනැමීමට ක්‍රියා කරන බවත් ඒ අනුව වසරකට සහතික 50000ක් ප්‍රදානය කිරීමට පියවර ගන්නා බවත් ඒ මහතා කීය.

කොවිඩ් හේතුවෙන් මේ වසරේ එම ඇගයීම් සහතික පත් ලබාදීම සිදු කිරීමේ කටයුතුවලට යම් ප්‍රමාද සිදු වූ බව කියා සිටි ඒ මහතා මේ වසරේ එලෙස සහතිකපත් 5000කට වැඩි ප්‍රමාණයක් පිරිනැමීමට කටයුතු කළ බවද කියා සිටියේය.

එමෙන්ම පුහුණු ශ්‍රමිකයන්ගේ ඉපැයීම් වැඩි කරමින් ඔවුන් පිළිගත් සමාජයක් බවට පත් කිරීමත් ඔවුන්ගේ ජීවන තත්ත්වය උසස් කිරීමටත් ජනාධිපතිවරයා උපදෙස් දී ඇති බව කියා සිටි ඒ මහතා එම වැඩසටහනත් සමඟ හිටපු ජනපති වත්මන් අගමැති මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපතිවරයා ලෙස සිටියදී නිපුණතා දශකයක් ප්‍රකාශයට පත් කිරීමේ වැඩසටහනට සමගාමීව විදුලිය, මෝටර්, වායු සමීකරණ, ඇඳුම් මසන්නන් ඇතුළු වෘත්තීන් 300කට ආසන්න ප්‍රමාණයක් සඳහා වෘත්තීය පුහුණුව දෙමින් නිපුණතා සහතික පිරිනැමීමේ වැඩපිළිවෙළද ක්‍රියාත්මක කළ බවද කියා සිටියේය.

ලෝක තරුණ නිපුණතා දිනය නම් කිරීමට වත්මන් අගමැති මහින්ද රාජපක්ෂ මහතා වසර 2014 දී එක්සත් ජාතින්ගේ සංවිධානයට ඉදිරිපත් කරන ලද යෝජනාවලිය හේතු වූ බවත් ආචාර්ය පොල්වත්ත මහතා වැඩිදුරටත් පැවැසීය.

නව අදහස දක්වන්න