කේරළ ගංජා ඇද්ද කැබ් රිය ලොරියක ගැටි දෙදෙනකුට බරපතළයි | දිනමිණ

කේරළ ගංජා ඇද්ද කැබ් රිය ලොරියක ගැටි දෙදෙනකුට බරපතළයි

මාර්ගය පුරා විසිරුණු කේරළ ගංජා අහුලා ගන්න පිරිසක් පොරකති

යාපනය පලෙයි ප්‍රදේශයේ සිට කේරළ ගංජා ප්‍රවාහනය කරමින් තිබු කැබ් රථයක් අනුරාධපුරය පුත්තලම මාර්ගයේ කරුවලගස්වැව ප්‍රදේශයේදී ලොරි රථයක මුහුණට මුහුණ ගැටීමෙන් දෙදෙනෙකු බරපතළ තුවාල ලබා පුත්තලම මුලික රෝහලට ඇතුළත් කර තිබේ.

අද දහවල් මේ අනතුර සිදුව තිබේ. ලොරි රථ දෙකේ රියැදුරන් මෙසේ බරපතළ තුවාල ලබා තිබේ.

සංචරණ නීති උල්ලංඝනය කරමින් යාපනයේ සිට කරුවලගස්වැව දක්වා මේ කේරළ ගංජා ජාවාරම්කරුවන් පැමිණ තිබේ.

කේරළ ගංජා ප්‍රවාහනය කළ ‍කැබ් රථය අධික වේගයෙන් පැමිණ ඇති අතර එය කරුවලගස්වැව 11 කණුව ප්‍රදේශයේ ‍අලෙවියට නෙළුම් මල් කැඩීමට ගමන් කරමින් තිබු ලොරි රථයේ ගැටී ඇත.

අනතුරට ලක් වූ කේරළ ගංජා ප්‍රවාහනය කළ කැබ් රථය අනතුරට ලක් වන අවස්ථාවේදි කේරළ ගංජා කිලෝ තුනකට ආසන්න ප්‍රමාණයක් සොයා ගත් බවත් අනතුරත් සමඟ එක් පාර්සලයක් කැඩී ගොස් මාර්ගය පුරා විසිරී තිබු බවත් පොලිසිය පවසයි.

මාර්ගය පුරා තැනින් තැන විසිරී ගිය කේරළ ගංජා අහුලා ගැනීමට ප්‍රදේශයේ පිරිස් පොරකමින් සිටි අයුරුද දැක ගත හැකි විය.

අනතුරත් සමඟ කේරළ ගංජා ප්‍රවාහනය කළ ලොරි රථයේ සිටි සහායකයා පැන ගොස් සිටියදී පොලිස් නිලධාරින් විසින් අත්අඩංගුවට ‍ගෙන ඇත.

අනතුරට පත් කැබ් රථය හා ලොරි රථයට දැඩි අලාභ හානි සිදු වී ඇත.

අනතුරින් පසු පලා යමින් සිටි කේරළ ගංජා ප්‍රවාහනය කළ කැබ් රථයේ සහයකයා ප්‍රශ්න කිරීමට අත්අඩංගුවට ගෙන ඇත.

කරුවලගස්වැව පොලිස්ථානාධිපති පොලිස් පරීක්ෂක සුජීව අලවත්ත මහතා ඇතුළු නිලධාරීහු විමර්ශන සිදු කරයි.

මිහිර විජේසේකර-මාරවිල සමූහ

නව අදහස දක්වන්න