වත්තල පෞද්ගලික බැංකුවක ATM යන්ත්‍රයේ අමතකව ගිය ලක්ෂ දෙකක මුදල සොරාගෙන ගිහින් | දිනමිණ

වත්තල පෞද්ගලික බැංකුවක ATM යන්ත්‍රයේ අමතකව ගිය ලක්ෂ දෙකක මුදල සොරාගෙන ගිහින්

වත්තල පිහිටි පෞද්ගලික බැංකු ශාඛාවක ATM යන්ත්‍රයක අමතකව දමා ගිය රුපියල් දෙලක්ෂයක මුදලක් බැංකු නිලධාරීන්ට පවා නොදන්වා රැගෙන ගිය සැකකරුවකු පෙරේදා (22) රාත්‍රි 7.10ට පමණ අත්අඩංගුවට ගැනීමට වත්තල පොලිසිය සමත් වී ඇත. පොලිස් පැමිණිල්ලකට අනූව සිද්ධියවූ 17දා දහවල් අදාළ බැංකු ශාඛාවේ ATM යන්ත්‍රයකින් රුපියල් ලක්ෂ දෙකක් ලබාගැනීමට පැමිණි පුද්ගලයා මුලින්ම යන්ත්‍රයෙන් පිටතට එන ATM කාඩ්පත පමණක් රැගෙන පිටත්ව සුළු මොහොතකින් අදාළ මුදල් අතට ගැනීමට අමතක වූ බව සිහිපත්ව අදාළ ATM යන්ත්‍රය වෙත නැවත පිවිසීමේදි එම මුදල් එහි තිබී නැත.

අදාළ පුද්ගලයා බැංකු ශාඛාවේ නිලධාරීන් වෙත හා වත්තල පොලිසිය වෙත පැමිණිලි කර ඇති අතර පසූව පොලිසිය විසින් වත්තල මහේස්ත්‍රාත් අධිකරණයේ අවසරය ඇතිව අදාළ පෞද්ගලික බැංකු ශාඛාවේ කළමනාකරු දැනුවත් කර අදාළ ATM යන්ත්‍රය පිහිටි පරිශ්‍රයේ CCTV දර්ශන පරීක්ෂාවට ලක් කර ඇත.

එහි දර්ශන අනුව පැමිණිලිකරු හාවිතා කළ ATM යන්ත්‍රය අසල පිහිටි අනෙක් යන්ත්‍රයෙන් මුදල් තැන්පත් කළ පුද්ගලයා මේ රුපියල් ලක්ෂ දෙකක මුදල රැගෙන කිසිවකුටත් නොදන්වා පිටත්ව ගිය බවට අනාවරණය වී ඇත.

එමෙන්ම අනෙක් ATM යන්ත්‍රයේ මුදල් තැන්පත් කිරීමේ දත්ත පරීක්ෂාවෙන් හඳුනාගත් පෑලියගොඩ පොලිස් වසමට අයත් පට්ටිය හන්දිය පදිංචි තිස් හත් හැවිරිදි අදාළ සැකකරු දණ්ඩ නීති සංග්‍රහයේ අංක 386ට අනුව සාපරාධී සාවද්‍ය පරිහරණය වරදට වත්තල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි.

වත්තල පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ලලිත් සිලෝගම මහතාගේ උපදෙස් පරිදි අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති ඩබ්ලිව්. එම්. ඒ. සඳනුවන් මහතාගේ ප්‍රධානත්වයෙන් පොලිස් සැරයන් වසන්ත, පොලිස් කොස්තාපල්වරුන් වන එදිරිසිංහ, හේමන්ත නිලධාරීහු වැඩිදුර විමර්ශන සිදු කරති.

වත්තල විශේෂ -ජෝශප් පයස්

නව අදහස දක්වන්න