මංගල උත්සවවල සෞඛ්‍ය නීති කඩන බවට අපට තොරතුරු දිගින් දිගටම එනවා | දිනමිණ

මංගල උත්සවවල සෞඛ්‍ය නීති කඩන බවට අපට තොරතුරු දිගින් දිගටම එනවා

සුභාෂිණී සේනානායක

සියලු මංගල උත්සව අප ඉදිරියේදී පරීක්ෂා කරනවා

සියලු මංගල උත්සව ඉදිරියේදී පරීක්ෂාවට ලක්කිරීමට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් තීරණය කර තිබේ. කොවිඩ් -19 සෞඛ්‍ය මාර්ගෝපදේශ කඩකරමින් පවත්වන මංගල උත්සව පිළිබඳ තොරතුරු දිගින් දිගටම වාර්තා වන බැවින් මේ තීරණය ගත් බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා කියා සිටියේය.

විශාල වශයෙන් පැමිණිලි ලෙස ඡායාරූප විශාල ප්‍රමාණයක් සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය වෙත මේ වනවිට ලැබී තිබෙන බව කියා සිටි ඒ මහතා සෞඛ්‍ය උපදෙස් කඩ කරමින් විවාහ මංගල උත්සව පවත්වන ආකාරය සම්බන්ධයෙන් නිරන්තර අවධානයෙන් පසුවන බවද කියා සිටියේය.

කොවිඩ් ව්‍යාප්තිය පාලනය කිරීමට ජනතා සහාය අවශ්‍ය අවස්ථාවක දුන් සහනය අවභාවිත කරන බවට තොරතුරු ලැබී තිබෙනවා.මේ සම්බන්ධයෙන් අපි ඊයේ සහ අද දිනයේ දී විශේෂ අවධානය යොමු කර විවාහ මංගල උත්සව රාශියක් මහජන පරීක්ෂකවරු විසින් පෞද්ගලිකව පරීක්ෂාවට ලක් කළා. මේ විවාහ මංගල උත්සවවල තත්ත්වය ඉතාම කනගාටුදායකයි. සෞඛ්‍ය උපදෙස් පිළිපඳින්නේ නැතිව අවදානම් විදියට හැසිරෙනවා. හෙට දිනයේ ඉදලා අපි විවාහ උත්සව සියල්ල පරීක්ෂා කරනවා.මේ පරීක්ෂා කිරීම්වලදී යම් සෞඛ්‍ය කඩ කිරීමක් කර ඇතැයි අනාවරණය වුවහොත් විවාහ මංගල උත්සවය සංවිධාන කරපු පුද්ගලයන්ට සහ ඒ ආයතනයේ හිමිකරුවන්ට එරෙහිව නිරෝධායන පනත අනුව නඩු පවරන්න කටයුතු කරනවා. දැනට පවතින තත්ත්වයෙන් නම් දිගටම විවාහ මංගල උත්සව පවත්වන්නේ ඉදිරියේ දී විවාහ මංගල උත්සව ආශ්‍රිතව කොවිඩ් පොකුරු ඇති විය හැකි යැයි හෙතෙම පෙන්වා දුන්නේය.

නව අදහස දක්වන්න