ගුරු මූලික වැටුප වැඩි විය යුතු වුවත් මෙය ඊට නිසි වේලාව නොවේ - වෙළෙඳ ඇමැති | දිනමිණ

ගුරු මූලික වැටුප වැඩි විය යුතු වුවත් මෙය ඊට නිසි වේලාව නොවේ - වෙළෙඳ ඇමැති

අනුර ප්‍රේමලාල්

ගුරුවරුන්ගේ මූලික වැටුප සියයට සියයකින් වැඩි විය යුතු බවට මා එකඟ වන නමුත් මෙය ඊට නිසි වේලාව නොවේ යැයි වෙළෙඳ අැමැති ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා ප්‍රකාශ කෙළේය.

ඒ මහතා මේ බව ප්‍රකාශ කෙළේ ඊයේ (23) වෙළෙඳ අමාත්‍යාංශයේ පැවති විශේෂ මාධ්‍ය හමුවකට එක්වෙමිනි.

එහිදි වැඩිදුරටත් අදහස් දැක්වු ඇමැතිවරයා මෙසේද පැවසීය.

සමස්ත ලෝකයටම බලපා ඇති උග්‍ර ආර්ථික අර්බුදය හමුවේ මෙරට පවත්නා සුබසාධනවාදී රාජ්‍ය ප්‍රතිපත්තිය දිගින් දිගටම පවත්වා ගැනීම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීම සම්බන්ධයෙන් කටයුතු කර තිබෙනවා. රුපියල් බිලියන 1216ක් වූ 2020 වර්ෂයේ රටේ සමස්ත ආදායමෙන් 86%ක ප්‍රමාණයක් වැටුප් හා වේතන වෙනුවෙන් වැය කර තිබෙනවා. ඒ හේතුවෙන් රටේ අනෙකුත් වියදම් දැරීම සඳහා ප්‍රමාණවත් ආදායමක් ලබා ගැනීමට නම් මහජනතාව වෙත අධික බදු බර යෙදීම හෝ වියදම් කපා හැරීම හෝ රටේ සම්පත් විකිණීමට සිදුවීම,ඕනෑම ආණ්ඩුවකට මුහුණ දීමට සිදු වන තත්වයක්.

එහෙත් පසුගිය ආණ්ඩුව කිසිදු ලෝක ව්‍යසනයක් හෝ වෙනත් උවදුරක් හෝ නොමැතිව අධික ණය ලබා ගැනීම, දේශීය සම්පත් කිසිදු වග විභාගයකින් තොරව විකුණා දැමීම මෙන්ම ජනතාව මත අධික බදු බර පැටවීම සිදු කරමින් වසර 05ක් තුළ සම්පූර්ණයෙන්ම විනාශ කරන ලද ආර්ථිකයක් සමඟ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා රට භාර ගත්තා. රටේ පැවැති ගැටලු විසඳමින් රට පවත්වා ගැනීම සඳහා කටයුතු කරමින් සිටියදී ඇති වූ ලෝක ආර්ථික අර්බුදයට මුහුණ දෙමින් සමස්ත ලෝකයේම නොවූ විරූ පරිදි මහජනතාවට බදු සහන ලබා දෙමින් රට පවත්වා ගෙන යනු ලබන ආකාරය අපි කාගෙත් අවධානයට ලක් විය යුතුයි.

පසුගිය දින වල මා සඳහන් කළ කරුණක් සාවද්‍ය මතයක් ඇති වන ලෙස සමාජගත කිරීමට යම් මාධ්‍ය ආයතන කටයුතු කිරීම හේතුවෙන් ගුරු වැටුප් සම්බන්ධයෙන් ද අදහස් දක්වන්න කැමැතියි.

අගමැති මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපති ධූරය දරණ කාල සීමාව තුළ අධ්‍යාපන ඇමැතිවරයා වශයෙන් මෙරට ගුරුවරුන්ගේ හා සිසු දරුවන්ගේ පැත්තේ සිට ගත් අපි කිසිදු අවස්ථාවක දී ඔවුන්ට අසාධාරණයක් වීමට ඉඩ තැබුවේ නෑ. එමෙන්ම වැටුප් සම්බන්ධ ගැටලුව නිරාකරණය සඳහා අනෙකුත් රාජ්‍ය සේවයේ අංශ වෙත බල නොපාන පරිදි ක්‍රියාත්මක වීමට අවශ්‍ය නෛතික තත්ත්වය ඇති කිරීමට කටයුතු කරමින් සිටියදී සිදු වූ ආණ්ඩු මාරුවත් සමඟ සම්පූර්ණයෙන්ම එම ක්‍රියාවලිය නතර වුණා. එමෙන්ම ගුරුවරුන්ගේ මූලික වැටුප සියයට සියයකටත් වඩා වැඩි විය යුතුය යන මතයට මා සම්පූර්ණයෙන්ම එකඟයි. මෙරට අනාගත පරපුර වෙනුවෙන් අවශ්‍ය සේවය වැඩි වශයෙන් ලබා ගැනීමටත් වැඩි කාලයක් සිසු දරුවන් වෙනුවෙන් වෙන් කිරීමටත් ඒ තුළින් ශ්‍රී ලංකාවේ නිදහස් අධ්‍යාපනය සුරක්ෂිත කර පෝෂණය කිරීමටත් හැකියාව ලැබෙනවා. නමුත් දේශපාලන අරමුණු හා සටන් පාඨ සඳහා අපේ ජාතියේ දරුවන්ගේ අනාගතය බිල්ලට දීමට කටයුතු නොකොට ජනාධිපති සහ අධ්‍යාපන ඇමැති සමඟ සාකච්ඡා කොට සිය ගැටලු නිරාකරණය කර ගැනීම මේ අවස්ථාවේදී ඉතාම වටිනවා.

ඒ අනුව අපි නිතරම කටයුතු කළේ මේ රටේ උතුම් ගුරු වෘත්තියට සහ ඔවුන්ගේ මත ජීවිතය ලබා ගැනීමට වෙර දරණ සුවහසක් දූ දරුවන්ගේ යහපත වෙනුවෙන් අපි කටයුතු කළ යුතුයි යන උදාර තේමාව සමඟයි. එමෙන්ම රටේ දරුවන්ගේ අනාගතය වෙනුවෙන් සූදානම් කළ යුතුයි. ඒ අනුව සාකච්ඡාව සම්මන්ත්‍රණය හා සම්මුතිය මඟින් ගැටලු විසඳීම සඳහා සූදානම් බවට පැහැදිලි ප්‍රතිපත්තියක සිටින ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ආණ්ඩුව හා අධ්‍යාපන ඇමැති සමඟ සාකච්ඡා කොට විසඳීම් ලබා ගනු හැර මෙවැනි අර්බුදකාරී වාතාවරණයක වර්ජනය කිරීම අනුමත කළ නොහැකියි.

නව අදහස දක්වන්න