ආණ්ඩුව තුළ විවිධ මතවාද තිබූණත් මතභේද කිසිවක් නැහැ - සංචාරක ඇමැති | දිනමිණ

ආණ්ඩුව තුළ විවිධ මතවාද තිබූණත් මතභේද කිසිවක් නැහැ - සංචාරක ඇමැති

මහින්ද අලුත්ගෙදර

ආණ්ඩුව තුළ විවිධ මතවාද තිබූණත් මතභේද නැති බව උදය ගම්මන්පිල ඇමැතිවරයාට එරෙහි විශ්වාසභංග යෝජනාව පරාජය වීමෙන් තහවුරු වන බව සංචාරක ඇමැති ප්‍රසන්න රණතුංග මහතා ‍අවධාරණය කරයි.

මිනුවන්ගොඩ ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරුන් සමඟ පෙරේදා (22) උදෑසන උඩුගම්පොළ පැවැති සාකච්ඡාවක දී ඇමතිවරයා මේ බව සඳහන් කෙළේය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඇමැතිවරයා මෙසේද පැවසීය.

එම විශ්වාසභංගයෙන් ආණ්ඩුවේ ස්ථාවරභාය හා ශක්තිමත්භාවය යළි රටට සනාථ වූණා.

විශ්වාසභංගය පරාජය වීමත් සමඟ විපක්ෂය සිත නිවන කථා කීමට පටන් ගෙන තිබෙන බව පෙනෙන්නට තිබෙනවා.ඉදිරියේදී විපක්ෂය ආණ්ඩුවට එරෙහිව ගන්නා ඕනෑම ක්‍රියාමාර්ගයක් පරාජය කිිරීමට සූදානම්.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති ධූරයට නැවත තරඟ කරන බවට කළ ඉගිය සමඟ විපක්ෂයේ සියලු සිහින බොඳ වූණා. මේ හේතුවෙන් විපක්ෂය නන්නත්තාර වී තිබෙනවා.

ඇමති උදයගම්මන්පිල මහතාට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ගෙන එමින් විපක්ෂය උත්සහ කලේ ආණ්ඩුව තුළ බෙදීම් ඇති කරන්නයි. ඉන්ධන මිල වැඩි වූ විට ඒ සම්බන්ධයෙන් අපේ පක්ෂයේ මහ ලේකම්වරයා කරපු ප්‍රකාශයක් පදනම් කර ගනිමින් විපක්ෂය මේ විශ්වාසභංගය ඉදිරිපත් ක‍ෙළ් ඒකටයි. ඔවුන් කීවේ ආණ්ඩුවේ නිරුවත පෙන්වනවා කියලා. නමුත් මෙම විශ්වාසභංගයෙන් රටට හෙළිදරව් වුණේ විපක්ෂයේ නිරුවතයි. අඩුම තරමේ පාර්ලිමේන්තු සම්ප්‍රදායවත් නොදන්න බංකොළොත් විපක්ෂයක් තමයි රටේ තියෙන්නේ. මේ අය දන්නේ ආණ්ඩුවට විරුද්ධව බොරු වපුරවන්නයි, කේලම් කියන්නයි විතරයි.

වත්මන් ආණ්ඩුවට එරෙහිව රට පුරා වර්ජන රැල්ලක් ඇති කරලා ජනතාව අතර ආණ්ඩුව අප්‍රසාදයට පත්කිරීමේ කුමන්ත්‍රණයක විපක්ෂය නිරත වෙලා ඉන්නවා. මේ සඳහා ආණ්ඩුවට එරෙහි ඇතැම් රාජ්‍ය නොවන සංවිධානවල සහය ලැබිලා. මේ ආණ්ඩුව ඔවුන්ට හිසරදයක් පත්වෙලා. ඒ නිසා ඔවුන්ට වුවමනා වෙලා තියෙන්නේ කෙක්කෙන් හරි කොක්කෙන් හරි මේ ආණ්ඩුව පෙරලවන්නයි. ඒත් අපි ඒකට ඉඩ තියන්නේ නෑ. ශක්තිමත් ආණ්ඩුවක් ලෙස අපි ජනතාවට ලබාදුන් සියලු පොරොන්දු ඉටුකිරීමට අවශ්‍ය සියලු පියවර ගන්නවා. ඉන්ධන මිල වැඩි කිරීම සිදු කෙරුණේ නොවැලැක්විය හැකි හේතුන් මත බව අප වටහාගත යුතුයි. ඉන්ධන මිල වැඩි නොවුණා නම් හොඳයි කියන ස්ථ‍ාවරයේ අපි තවමත් ඉන්නවා.

වර්තමානයේ රට මුහුණ පා ඇති අභියෝගය වන්නේ කොවිඩ් වසංගතයෙන් බැට කෑ ආර්ථිකය යළි ගොඩනැඟිමයි. ඒ නිසා ගතහැකි ගතයුතු සියලු ක්‍රියාමාර්ග ගෙන තිබෙනවා. විශේෂයෙන්ම වර්තමාන මුදල් ඇමැතිතුමා ඒ සඳහා ක්‍රියාත්මක වෙමින් තිබෙනවා. මේ වසර අවසානයට පෙර රටේ සංචාරක ව්‍යාපාරය යළි යථා තත්ත්වයට පත් වෙයි කියා අපි අපේක්ෂා කරනවා. සංචාරකයන් දිවයිනට ගෙන්වා ගැනීම සඳහා මේ වනවිට අවශ්‍ය පියවර ගෙන අවසන්.

කොවිඩ් නිසා රට තවදුරටත් වසා තැබිය නොහැකියි. කොවිඩ් සමඟ ප්‍රවේශමෙන් ජීවත් වීමට අප කටයුතු කළ යුතුයි. වසංගත තත්ත්වයන් යටතේ වුවද අපි රටේ සංවර්ධනය නතර කළේ නැහැ. ඒ වගේම වෘත්තිය අයිතිවාසිකම් කප්පාදු කළේත් නැහැ. ඇතැම් වෘත්තීය සමිති ගෙනයන මේ සටන් ක්‍රියාමාර්ග පිටුපස තියෙන්නේ දේශපාලන වුවමනාවන් මිසක් අන් කිසිවක් නොවේ. ඇතැමුන්ගේ ක්‍රියාකලාපවලින් එය හොඳින් තහවුරු වෙනවා. විපක්ෂය උත්සහ කරන්නේ වසංගතයෙන් පවා දේශපාලන වාසි ගන්නයි. නමුත් ආණ්ඩුවට එවැනි අවශ්‍යතාවයක් නැහැ .

නව අදහස දක්වන්න