ධර්මිෂ්ඨ සමාජයක් හදන්න බලයට ආ ජේ.ආර් කළු ජූලිය ඇති කර උතුර දකුණ වියරු කළා | දිනමිණ

ධර්මිෂ්ඨ සමාජයක් හදන්න බලයට ආ ජේ.ආර් කළු ජූලිය ඇති කර උතුර දකුණ වියරු කළා

සමාජවාදී තරුණ සංගමයේ ජාතික සංවිධායක එරංග ගුණසේකර

ධර්මිෂ්ඨ සමාජයක් බිහි කරන්න බලයට පැමිණි ජේ. ආර්. ජයවර්ධන කළු ජූලිය ඇති කරමින් ඉතිහාසයට කළු පැල්ලමක් එක් කළ බව සමාජවාදී තරුණ සංගමයේ ජාතික සංවිධායක එරංග ගුණසේකර මහතා පවසයි.

ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේ ඊයේ (23) පවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ගුණ­‍ෙස්කර මහතා මෙම අදහස් පළ කෙළේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ එරංග ගුණසේකර මහතා මෙසේ ද පැවසීය.

අද ජූලි මාසේ 23 වැනි දා. කළු ජූලියට වසර 38ක් පිරෙනවා. ජාතිකවත්, අන්තර්ජාතිකවත් අඳුරු පැල්ලමක් නිර්මාණය කළ මේ සිදුවීම් ඉවත් කර ගන්න තවමත් බැරි වෙලා තිබෙනවා. ජාතිවාදය ඉවත් කරගෙන රටක් ලෙස ඉදිරියට එන්න බැරිවෙලා. මේ නිසා මෙතැනින් එහාට අඳුරු දිනය සහෝදරත්වයේ දිනයක් දක්වා ගෙන යායුතුව තිබෙනවා. 83 කළු ජූලිය මතක් කරලා කඳුළු සලන්න අපට අවශ්‍යතාවයක් නැහැ. මිනිසුන් විදිහට, රටක් විදිහට තරුණ තරුණියන් විදිහට මේ ප්‍රශ්නයෙන් එළියට එන්නේ කොහොමද කියන සාකච්ඡාවක් ගෙන යන්න, අදාළ ක්‍රියාමර්ග ගන්න අපි සූදානම.

මේ කළු ජූලිය හු‍ෙදකලා දෙමළ, මුස්ලිම්, සිංහල මිනිහෙකුගේ සිතිවිලිවලින් මතුවුණු දෙයක් නොවෙයි. 1977 ජේ.ආර්. ජයවර්ධන බලයට පත් වෙන්නේ ධර්මිෂ්ඨ සමාජයක් බිහි කරන්න. ඒ වෙනුවෙන් 5/6ක බලයක් ලබා ගෙන ජේ.ආර්. ජයවර්ධන මහත්තයා විධායක ජනාධිපති බවට පත් වුණා. ඒකේ යම් සමානකමක් ගෝඨාභය මහත්තයාට තියෙනවා. හරියටම ගත්තොත් ගෝඨාභය මහත්තයාට වෙනවා වගේම ජේ.ආර්. මහත්තයාත් ඔහුගේ පාලනයේ අවුරුදු දෙක-තුන යද්දී ඔහුගේ ධර්මිෂ්ඨ රාජ්‍යයේ තරම පැහැදිලි වෙන්න පටන් ගත්තා. ජාතිවාදය, ආගම්වාදය, ඉස්මතු කරමින් වංච-දූෂණ යට ගැහුවා. 1981 සංවර්ධන සභා ඡන්දය යාපනයේදී කෘෘර ලෙස කොල්ලකෑමට කටයුතු කළා. යාපනයේ ජනතාවට දැවැන්ත භීෂණයක් ඇති කරලා දෙමළ ජනතාවගේ ඡන්ද අයිතිය නැති කරන්න කටයුතු කළා. එහිදී යාපනයේ පුස්තකාලය ගිනි තිබ්බා. කවියෝ එය දැක්කේ බුදුන් ඝාතනය කිරීම කියලා. දකුණු ආසියාවට තිබුණු දැවැන්ත දැනුම් පද්ධතියක් සහිත පුස්තකාලයක් ගිනි තබනු ලැබුවා. සංවර්ධන සභා ඡන්දයේදී ඡන්ද මංකොල්ලයක් කළා. දෙමළ ජනතාවට “අපේ බලය වෙනුවෙන් අපි ඕනෑම දෙයක් කරනවා” කියන පණිවුඩය ජේ.ආර්. විසින් ලබා දුන්නා. ඒ වේලාවේ සිරිල් මැතිව්, ගාමිණී ලොකුගේ, ගාමිණී ජයවික්‍රම වගේ ඇමැතිවරුන් මැදිහත් වෙලා කෝච්චිවලින් සෙනඟ යාපනයට ගෙන ගිහින් ඡන්දය මංකොල්ල කෑවා.

ඉන් පස්සේ 83 ජූලි මාසේ 15වැනි දා හමුදාව අතින් චාල්ස් ඇන්තනී සහ සීලන් රාමනාදන් කියන තරුණයන් දෙන්නා මිය යනවා. මේ තරුණයන්ගේ ඝාතනයට පළිගැනීමක් හැටියට එල්.ටී.ටී.ඊ. සංවිධානය ජූලි මාසේ 23 වැනිදා හමුදාවේ වාහන දෙකකට බිම් බෝම්බ ප්‍රහාරයක් එල්ල කර හමුදා සෙබළුන් 13 දෙනෙක් මරා දමනවා. ආණ්ඩුව කරන්න තිබුණේ ඒ ප්‍රශ්නය වර්ධනය වීමට ඉඩ නොදී කළමනාකරණය කරන එකයි. හැබැයි ජේ.ආර්. කළේ ඔවුන්ගේ සැලසුම්වලට අනුව දේහයන් 13 බොරැල්ල කනත්තේ මිහිදන් කරන්න සූදානම් කිරීමයි. ඒ නිසා ඒ මොහොතේ ජාතිවාදී කෝලාහල මතුවෙන්න උඩ ගෙඩි දුන්න. 24වැනිදා මැතිවරණ කාර්යාලයෙන් ඡන්ද නාමලේඛන අරගෙන දෙමළ මිනිස්සුන් හොය හොයා ඝාතනය කරන්න පටන් ගත්තා. දේපොළ ගිනි තිබ්බා. ආණ්ඩුවේ අනුදැනුම සහිතව සිදුකළ මේ කාර්යය හමුදාව සහ පොලීසිය නිහඬව බලාගෙන හිටියා. 25වැනිදා වෙද්දී නුවරඑළිය, මාතලේ, මහනුවර, බදුල්ල ප්‍රදේශවලටත් පැතිරෙන්න පටන් ගත්තා. ඒ අතර 25වැනිදා වැලකඩ බන්ධනාගාරයට පැන දෙමළ රැඳවියන්ට පොලුවලින් ගහලා 37 දෙනෙක් ඝාතනය කළා. ඊට පස්සේ 28වැනිදා නැවත පැනලා තවත් 15 දෙනෙක් ඝාතනය කරනවා. මේ ඛේදවාචකය නිර්මාණය කළ ඉතිහාසය අමතක කරලා කතා කරන්න බැහැ. සිංහල නායකයෝ, දෙමළ නායකයෝ ඒ මොහොතට අදාළව තමන්ගේ දේශපාලන න්‍යාය පත්‍රය වෙනුවෙන් ජාතිවාදය මෙහෙයවූවා.

දින කිහිපයකදී මුළු රටම ඇවිළී අවුරුදු 30ක දැවැන්ත යුද්ධයකට සිංහල, දෙමළ මුස්ලිම් සියලු දෙනාට මුහුණ දෙන්න සිදු වුණා. 2009දී යුද්ධය නිමා කළාට පස්සේ අද වෙන තුරු අපි රටක් විදිහට ලබාගෙන තිබෙන්නේ මොනවාද? සිංහල, දෙමළ, බර්ගර්, මුස්ලිම් විශාල පිරිසක් අපි අහිමි කර ගත්තා. දේපොළ විශාල ප්‍රමාණයක් අහිමි කර ගත්තා. සිංහල, දෙමළ මුස්ලිම් පවුල්වල මවූපියන් නැති දරුවන් ඉතිරි වෙලා ඉන්නවා. ස්වාමිපුරුෂයන් නැති බිරින්දෑවරුන් ඉතිරි වී ඉන්නවා. පාලකයන් ඔවුන්ගේ දේශපාලන අරමුණු ඉටුකර ගත්තා. මෑත කාලයේ පාර්ලිමේන්තුව නියෝජනය කළ සිංහල, දෙමළ මුස්ලිම් නායකයන් කිසිවකුගේ දරුවකු යුද්ධයෙන් අහිමි වී නැහැ. යුද්ධය ඉවර වී අද වෙන විටත් ලාංකේය මිනිසුන් විදිහට සිංහල, දෙමළ, මුස්ලිම් සහෝදරත්වයෙන් ජීවත් වෙන රටක් බිහිකර ගන්න අපට බැරි වුණා. සාමාන්‍ය ජනතාව හිතනවා පාලකයෝ ජාතිවාදී කියලා. පාලකයෝ ආගම්වාදී කියලා. නැහැ එහෙම නැහැ. ජේ.ආර්.ගේ ඉඳන් ගෝඨාභය දක්වා ඔවුන් ජාතිවාදීත් නැහැ. ආගම්වාදීත් නැහැ. ජාතික සමගියට පක්‍ෂපාතීත් නැහැ. ඔවුන්ට තිබුණේ බලකාමීත්වය විතරයි. බලය වෙනුවෙන් ඒ ඒ අවස්ථාවේදී ජාතිවාදය, ආගම්වාදය විතරක් නොවෙයි ජාතික සමගියේ රෙද්දත් පෙරවා ගන්නවා.

නදී මාණික්කගේ

නව අදහස දක්වන්න