ආගමික ස්ථානවල පොලිතීන් හා ප්ලාස්ටික් භාවිතය අවම කිරීමට දිරාපත් වන බෑගයක් හඳුන්වා දෙයි | දිනමිණ

ආගමික ස්ථානවල පොලිතීන් හා ප්ලාස්ටික් භාවිතය අවම කිරීමට දිරාපත් වන බෑගයක් හඳුන්වා දෙයි

බුද්ධිකා ඉඹුලාන

ආගමික ස්ථානවල පොලිතීන් හා ප්ලාස්ටික් භාවිතය අවම කිරීමට අරමුණු කරගෙන එම කටයුතු සඳහා යොදා ගත හැකි නව පරිසර හිතකාමී දිරාපත් වන බෑගයක් හඳුන්වාදීමට පරිසර අමාත්‍යාංශය පියවර ගෙන ඇත.

පරිසර අමාත්‍යාංශය විසින් පොලිතීන් හා ප්ලාස්ටික් භාවිතය අවම කරලීමට ක්‍රිායත්මක කර තිබෙන වැඩ පිළිවෙළ යටතේ මේ නව පරිසර හිතකාමි දිරාපත් වන බෑගය හඳුන්වාදීම ඊයේ (22) පිල්ලෑව පුරාණ විහාරස්ථානයේ දී පරිසර ඇමැති මහින්ද අමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි. මේ සඳහා සමපෝෂ නිෂ්පාදන සමාගම අනුග්‍රහය දක්වා තිබේ.

එම විහාරස්ථානය ආශ්‍රිත වෙළෙඳසල්වලින් බැතිමතුන්ට දෙන භාණ්ඩ මේ බෑගයට ඇතුළත් කිරීමට හැකි වන අතර එම බැතිමතුන් වන්දනාමාන කටයුතු අවසන් කර යන විට මේ බෑගය ආපසු එම වෙළෙඳසලට ලබා දිය යුතු වෙයි.මේ වැඩපිළිවෙළ සියලුම ප්‍රධාන ආගමික ස්ථාන ආශ්‍රිතව ක්‍රියාත්මක කිරීමට පරිසර අමාත්‍යංශය බලාපොරොත්තු වේ.

මෙහිදී අදහස් පළ කළ අමාත්‍යවරයා පෙන්වා දුන්නේ පොලිතීන් හා ප්ලාස්ටික් මේ වනවිට අපේ රටේ පරිසර හානියට බලපෑමක් එල්ල කරන ප්‍රධාන කාරණයක් බවට පත්ව තිබෙන බවයි.

"පොලිතීන් හා ප්ලාස්ටික් අපේ පරිසරයට කරන හානිය වළක්වන්න මම 2021 මාර්තු 31වැනි දින සිට සැෂේ පැකට් ඇතුළු පොලිතින් හා ප්ලාස්ටික්වලින් සිදු කෙරෙන නිෂ්පාදන 05ක් තහනම් කළා. පසුගිය සතියේ තවත් නිෂ්පාදන 08ක් තහනම් කිරීමට අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවක් ඉදිරිපත් කළා.

ආගමික ස්ථානවල පොලිතීන් හා ප්ලාස්ටික් භාවිතය අවම කිරීමට අපි වැඩපිළිවෙළක් ආරම්භ කළා. ඒ අනුව කතරගම පුදබිමේ පොලිතීන්වලින් නිෂ්පාදිත මල්මාලා භාවිතය අපි තහනම් කළා. ඒ වෙනුවට ස්වාභාවික මල්වලින් හා තෙල් කඩදාසිවලින් සකස් කරන ලද මල්මාලා අපි හඳුන්වා දුන්නා.කතරගම පුද බිමේ පමණක් වසරකට පොලිතීන් හා ප්ලාස්ටික් ටොන් 50කට වඩා එක්රැස් වන බව වාර්තා වී තිබෙනවා. ඒ වගේම පුජනීය ස්ථාන ආශ්‍රිතව පවත්වාගෙන යන වෙළෙඳසල්වල බහුල වශයෙන් ෂොපින් බෑග් නිකුත් කරන බව වාර්තා වුණා.

අපි ලබන වසරේ ජනවාරි මාසයේ සිට ෂොපින් බෑග් විශේෂයෙන් 10X05X 16 ප්‍රමාණය හා ඉන් පහළ ප්‍රමාණයේ කාදුව සහිත හා රහිත සියලුම ෂොපින් බෑග් තහනම් කරනවා. මේ පරිසර හිතකාමී බෑගය අද දින හඳුන්වා දෙන්නේ ඒ නිසයි. එම වෙළෙඳසල්වලින් ලබාදෙන භාණ්ඩ පාරිභොගිකයන්ට මේ බෑගයට ඇතුළත් කර දෙන්න පුළුවන්. ඒ වගේම පාරිභෝගිකයන් වන්දනාමාන කටයුතු අවසන් කර යන විට මේ බෑගය ආපසු එම වෙළෙඳසලට ලබා දිය යුතුයි. මේ වැඩපිළිවෙළ අපි සියලුම ප්‍රධාන ආගමික ස්ථාන ආශ්‍රිතව ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වෙනවා. මේ වැඩපිළිවෙළට සහාය දීම සම්න්ධයෙන් අපි පිල්ලෑව විහාරස්ථානයේ නායක ස්වාමින් වහන්සේ ඇතුළු මහා සංඝරත්නයටත්, CBL හා සමපෝෂ සමාගම්වල නිලධාරින්ටත් ස්තුතිය පළ කරනවායැයි ද ඇමැතිවරයා මෙහිදී කීය.

පිල්ලෑව විහාරස්ථානයේ විහාරාධිපති පොළොන්නරුවේ පී. සීලානන්ද හිමි හා විහාරවාසී ගෝනාපීනුවල චන්දරතන ස්වාමින් වහන්සේ ද ,ලංකා බිස්කට් සමාගමේ විධායක අධ්‍යක්ෂ නිශ්කා වික්‍රමසිංහ, ප්‍රධාන විධායක නිලංග ද සොයිසා, අලෙවි සාමාන්‍යාධිකාරි ජයංග පෙරේරා මහත්ම මහත්මීහු ද මේ අවස්ථාවට සහභාගි වූහ.

නව අදහස දක්වන්න