මීරිගම සිව් නිවුන් දරුවන් පළමු උපන්දිනය සමරන විටත් පියාට ස්ථිර රැකියාවක් නෑ | දිනමිණ

මීරිගම සිව් නිවුන් දරුවන් පළමු උපන්දිනය සමරන විටත් පියාට ස්ථිර රැකියාවක් නෑ

කොරෝනා වසංගතය මැද්දේ මීරිගම තරුණ යුවළකට දාව කොළඹ ද සොයිසා රෝහලේදී මෙලොව එළිය දුටු සිව් නිවුන් දරුවන් සිය ජීවන ගමනේ පළමු උපන්දිනය සමරන අවස්ථාව වනවිටත් ඔවුන්ගේ පියාට ස්ථිර රැකියාවක් ලැබී නැති බව දැනගත හැකි විය.

මීරිගම ලින්දර ආර්.එම්.පී. තිළිණි සුබසිංහ(28) හා මීරිගම කැප්පිටිවලානේ තරිදු කසුන් ලක්රුවන්(29) යුවළගේ සිව් නිවුන් දරුවන් වන යෙතුල මෙත්මුතු, මෙතුල ලක්මුතු, යෙනුල්යා දම්සුවි, තෙනුල්යා දම්සකි පසුගිය 22 වැනිදා කැප්පිටිවලාන නිවෙසේදී සිය පළමු උපන් දිනය සමරනු ලැබුයේ සංඝගත දක්ෂිණාවකට එක්වෙමිනි.

මහ සංඝරත්නය හමුවේ දන් පිළිගැන්වීමෙන් පසු සෙත් පිරිත් දේශනා කර පිරිත් නූල් බැඳ ආශීර්වාද කර සිඟිත්තන් සිව් දෙනාගේ ජීවන ගමන යහපත් එකක්වේවායි මහ සඟරුවන ප්‍රාර්ථනා කළහ.

දරුවන්ගේ මව ලංකා විදුලි බල මණ්ඩලයේ සේවය කරන අතර පියා පෞද්ගලික ආයතනයක තාවකාලික රැකියාවක නිරතව සිටි. ඔවුන් විවාහ වී දෙවසරකින් දරු සුරතල් බලන වරම් ලැබීය. ඉකුත් වසරේ ජූලි මස විසිදෙවැනිදා කොළඹ ද සොයිසා රෝහලේ දී පුතුන් දෙදෙනකු හා දියණියන් දෙදෙනකු මෙලොවට බිහි කළේ පුරා මාසයක් තිස්සේ රෝහල් ගතව සිටීමෙන් අනතුරුවය. දරුවන් ලැබීමෙන් පසුව ද වෛද්‍ය උපදෙස් මත දරුවන්ගේ මූලික ප්‍රතිකාර සඳහා තවත් මාසයක් ඇයට රෝහලේ ගත කරන්නට සිදුව තිබිණි.

රටට වටිනා දරු පරපුරක් ලබාදෙන්න තමන්ට ලැබුණු අවස්ථාව ඔවුන් අගය කරන අතරම දරුවන් සිව් දෙනකු බලා කියා ගැනීමේ භාරදූර කටයුත්තකට ද ඇය සහ සැමියා මුහුණ දී සිටී. කුමන දුක් කරදර ඇතත් දරුවන් ලොකු මහත් කිරීමේ වගකීම තමන් සහ සැමියා දෙමවුපියන්ගේ සහාය ඇතිව ඉදිරියට ගෙන යන්නට ඔවුහු සූදානම්ය.

තමන්ගේ සැමියාට රජයේ ස්ථිර රැකියාවක අවස්ථාවක් ලැබෙන්නේ නම් ඒ තම දරුවන් වෙනුවෙන් කරනා මහඟු උපකාරයක් වනු ඇති බව වසරක් තිස්සේ ඇය කළ ඉල්ලීම මෙතෙක් බලධාරියකුගේ ඇස නොගැටීම මහත් කනගාටුවට කරුණකි. ඇය සඳහන් කරන්නේ කාගේ හෝ ආධාරයක් ලබා ගන්නවාට වඩා තමන් දෙපළගේ දහඩියෙන් මහන්සියෙන් දරුවන් ලොකු මහත් කරන්න ඔවුන් දැඩි සේ අදහස් කරනා බවයි. දරුවන්ගේ පියාට ස්ථිර රැකියාවක් ලබාදීමට බලධාරීන්ගේ අවධානය යොමු වනු ඇතැයි ඔවුන්ගේ අපේක්ෂාවයි.

කොටදෙණියාව සමූහ -එම්. පී කුමාර

නව අදහස දක්වන්න