මැදිරිගිරිය වෙඩිකච්චිය ගම සමඟ පිළිසඳර වැඩසටහන: දෙවැනි ප්‍රගති සමාලෝචන රැස්වීම සාර්ථකව | දිනමිණ

මැදිරිගිරිය වෙඩිකච්චිය ගම සමඟ පිළිසඳර වැඩසටහන: දෙවැනි ප්‍රගති සමාලෝචන රැස්වීම සාර්ථකව

ගම සමඟ පිළිසඳරක් වැඩසටහනට සමගාමීව පසුගිය ජනවාරි 16 වැනි දින ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් මැදිරිගිරිය වෙඩිකච්චිය ප්‍රදේශයේදී පැවති පිළිසඳරේදී මතු වූ ප්‍රශ්නවලට මෙතෙක් දී ඇති විසඳුම්වල ප්‍රගතිය විමසා බැලීමේ ප්‍රගති සමාලෝචන දෙවැනි රැස්වීම උතුරු මැද පළාත් ආණ්ඩුකාර මහීපාල හේරත් මහතාගේ ප්‍රධානත්වයෙන් ඉකුත්දා මැදිරිගිරිය වෙඩිකච්චිය මහවැලි අධිකාරි කාර්යාලයීය ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.

මෙහිදී මැදිරිගිරිය පිළිසඳරේදී ඉදිරිපත්වූ සෞඛ්‍ය, වාරිමාර්ග, වනජීවී, විදුලිය, මහාමාර්ග, බුද්ධශාසන, අධ්‍යාපන, නිවාස, සෞඛ්‍ය සහ පානීය ජල ගැටලු ඇතුළු ප්‍රශ්න හැත්තෑනවයක් විසඳීමට ගෙන ඇති පියවර පිළිබඳ වෙන් වෙන් වශයෙන් සාකච්ඡා කිරීම සිදු විය.

එම සාකච්ඡාව අවසානයේ පොලොන්නරුව දිස්ත්‍රික් ලේකම් ඩබ්ලිව්. ඒ. ධර්මසිරි මහතා කියා සිටියේ කොරෝනා වසංගත තත්ත්වය හමුවේ එම ගැටලු විසඳීමට යෑමේදී යම් යම් ගැටලුකාරී තත්ත්වයන් මතු වූ නමුත් සමස්තය වශයෙන් ගත් කල එම ප්‍රශ්න විසඳීමේ ප්‍රගතිය 50%ක් පමණ වන බවය. මේ අවස්ථාවට එක්ව සිටි ගම සමඟ පිළිසඳරක් වැඩසටහනේ පොලොන්නරුව දිස්ත්‍රික් සම්බන්ධීකාරක ලෙස ජනාධිපතිවරයා පත්කර සිටිනා ත්‍රිකුණාමල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී කපිල අතුකෝරල මහතා මෙහිදී කියා සිටියේ මෙතෙක් නොවිසඳුණු ගැටලු පිළිබඳ ඒ ඒ ගැටලුවට අදාළ නිලධාරීන් හා දේශපාලන අධිකාරිය සමඟ අදාළ අමාත්‍යාංශ භාර ඇමැතිවරුන් සහ එම නිලධාරීන් හමු වී සාකච්ඡා කළයුතු බවටයි. උතුරු මැද පළාත් සභා මට්ටමින් පවතින ගැටලු විසඳා දීම සඳහා තමාගේ ප්‍රධානත්වයෙන් යුත් කමිටුවක් පත් කරනා බව ද ආණ්ඩුකාර මහීපාල හේරත් මහතා වැඩිදුරටත් පවසා සිටියේය.

ලංකාපුර සමූහ සහ පියතිලක - මැදිරිගිරිය සමූහ

 

නව අදහස දක්වන්න