රජයක් ලෙස ලෝකයෙන් හුදෙකලා වී රටක් සංවර්ධනය කරන්න බෑ | දිනමිණ

රජයක් ලෙස ලෝකයෙන් හුදෙකලා වී රටක් සංවර්ධනය කරන්න බෑ

රජයක් ලෙස ලෝකයෙන් හුදෙකලා වී රටක් සංවර්ධනය කළ නොහැකි බවත් එහිදී රාජ්‍ය නොවන සංවිධානවල ක්‍රියාකාරී දායකත්වය ඉතා වටිනා බවත් අනුරාධපුර දිස්ත්‍රික් මහ දිසාපති ආර්. එම්. වන්නිනායක මහතා පැවසීය. අනුරාධපුර ක්‍රිෂ්ටන් පාර්ක් හෝටලයේදී පසුගියදා (20) පැවති සංක්‍රමණික ප්‍රජාව පිළිබඳ පැවති වැඩසටහනකදී හෙතම මේ බව පැවසීය. අයි.එම්.ඕ. (IMO) ආයතනය හා ජපන් රජයේ අනුග්‍රහය ඇතිව කොවිඩ් - 19 වසංගතයෙන් පීඩාවට පත්ව මෙරටට පැමිණ සිටින සංක්‍රමණික ප්‍රජාවගෙන් තෝරාගත් පිරිසකට ක්‍රියාත්මක කරන විශේෂ ව්‍යාපෘතියක් සම්බන්ධයෙන් පැහැදිලි කිරීමට මේ රැස්වීම සංවිධාන කර තිබිණි. එහිදී අනුරාධපුර දිසාපතිවරයා වැඩිදුරටත් මෙසේද කීය.

"රජයක් ලෙස ලෝකයෙන් හුදෙකලා වී රටක් සංවර්ධනය කරන්න බෑ. එ් සඳහා රාජ්‍ය නොවන සංවිධානවල ක්‍රියාකාරීත්වය අවශ්‍ය වෙනවා. එහිදී රාජ්‍ය නොවන සංවිධාන සිය කාර්යභාරය ඉටුකිරීමේදී රටේ සංස්කෘතියට හා රාජ්‍ය ආරක්ෂාවට තර්ජනයක් නොවන ලෙස ක්‍රියාත්මක වීම අත්‍යවශ්‍යයි. විවිධ අය විවිධ ප්‍රකාශ සිදු කළත් කුමන අදහසක් දැක්වුවත් වර්තමාන ලෝකයේ ක්‍රියාත්මක වන්නේ ධනවාදී ආර්ථික රාමුවක්. ඒ මඟින් යම් සුළු පිරිසක් දුප්පත් මට්ටමකට පැමිණීම අනිවාර්යයෙන්ම සිදුවනවා. ධනවාදී ආර්ථික රටාව තුළ එලෙස ජීවන අපහසුතාවට පත්වන පිරිස් වෙනුවෙන් රජයේ සුබසාධනය ක්‍රියාත්මක වනවා. එය ලෝකයේ බොහෝ රටවල සාමාන්‍ය තත්ත්වයක්. එලෙස මෙරට ජනතාවගේ සුබසාධනය උදෙසා රජය මඟින් විශාල මෙහෙවරක් ඉටු කරමින් සිටිනවා. මෙවැනි තත්ත්වයක් තුළ රටක රැකියා ක්ෂේත්‍රය ගැන සිතීමේදී රජයේ රැකියා යනු ප්‍රධාන සාධකයක් නෙමේ. පුළුල් රැකියා ක්ෂේත්‍රයක් නිර්මාණය කළ හැක්කේ පෞද්ගලික අංශය තුළයි. දැනට ශ්‍රී ලංකාවේ ඇඟලුම් වැනි ක්ෂේත්‍රයක් ගත්ත ද එම තත්ත්වය කැපී පෙනෙනවා. එම නිසා විශ්වවිද්‍යාල මට්ටම දක්වා ඉගෙන ගන්නා තරුණ ප්‍රජාව රජයේ රැකියා පිළිබඳ කල්පනා කරන්නේ නම් එය රටේ සංවර්ධනාත්මක අංශයෙන් ගත් කල එතරම් සුදුසු තත්ත්වයක් නෙමේ."

අමිල ප්‍රභාත් වනසිංහ - අනුරාධපුර අතිරේක

 

නව අදහස දක්වන්න