විවිධ බාධක මැද අගමැති සහ ආර්යාව ‘අමාදම් සිසිලස’ ධර්ම දේශනා මාලාව පැවැත්වීම අගය කළ යුතුයි | දිනමිණ

විවිධ බාධක මැද අගමැති සහ ආර්යාව ‘අමාදම් සිසිලස’ ධර්ම දේශනා මාලාව පැවැත්වීම අගය කළ යුතුයි

නුවන් කොඩිකාර

විවිධ බාධක, කම්කටොලු සහ ජීවිත තර්ජන මැද අගමැතිවරයා සහ අගමැති ආර්යාව විසින් මේ ධර්ම දේශන මාලාව අඛණ්ඩව පැවැත්වීම පිළිබඳ අගය කළ යුතු බව අනුරාධපුර ශ්‍රී සම්බුද්ධ ජයන්ති විහාරයේ විහාරාධිපති, සමස්ත ලංකා ශාසනාරක්ෂක බලමණ්ඩලයේ උප සභාපති , අනුරාධපුර දිස්ත්‍රික් ශාසනාරක්ෂක මණ්ඩලයේ සභාපති, උතුරු හා උතුරු මධ්‍යම දෙපළාතේ ප්‍රධාන සංඝ නායක පණ්ඩිත නුගේතැන්නේ පඤ්ඤානන්ද නාහිමියෝ පැවසූහ.

සෑම පුන් පොහෝ දිනකම අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ සංකල්පයකට අනුව පවත්වන “අමාදම් සිසිලස” ධර්ම දේශනා මාලාවේ 212 වැන්න ඇසළ පුන් පොහොය යෙදුණු ඊයේ (23) නුවරඑළිය අගමැති මැඳුරේදී පැවැත්විණි.

පළමුව අගමැතිවරයා මල්, පහන්, සුවඳ දුම් පූජා කර අනතුරුව ධර්ම දේශනාවට වැඩම කළ අනුරාධපුර ශ්‍රී සම්බුද්ධ ජයන්ති විහාරයේ විහාරාධිපති, සමස්ත ලංකා ශාසනාරක්ෂක බල මණ්ඩලයේ උප සභාපති, අනුරාධපුර දිස්ත්‍රික් ශාසනාරක්ෂක මණ්ඩලයේ සභාපති, උතුරු හා උතුරු මධ්‍යම දෙපළාතේ ප්‍රධාන සංඝ නායක පණ්ඩිත නුගේතැන්නේ පඤ්ඤානන්ද නාහිමියන්ට දැහැත් වට්ටියක් පූජා කරමින් ධර්ම දේශනාවට ආරාධනා කළේය.

“රාජ්‍ය පාලකයා වශයෙන් ඔබතුමා අසරණ දුක්විඳින අප්‍රමාණ මිනිසුන්ගේ සියලු දුක්ඛ දෝමනස්සයන් දරාගෙන මේ රටේ කාටවත් හිතන්න බැරි තරම් මහා විශාල පරිවර්තන යුගයක් ආරම්භ කර අදත් ඒ යුගයේ අරුණාලෝකය විඳින වකවානුවක ලෝකයම වසංගත තත්ත්වයකින් වෙළාගෙන තිබියදී ජනතාවගේ ජීවිත බේරා ගැනීමට දිවා රාත්‍රී දෙකේම ජනාධිපතිවරයාත් සමඟ අත්වැල් බැඳගෙන කරන උදාර සේවය මේ ඉතිහාසයේ කිසිදිනෙක නොමැකෙන සේවාවක් බව නාහිමියෝ කියා සිටියහ.

ඒ වගේම තමයි අපි දන්නවා විපත් ඇතිවන සෑම කාලයකදීම ඔබතුමා තමයි ඒ හැමදේකටම මුහුණ දුන්නේ. තිස් අවුරුද්දක් කාටවත් අවසන් කරන්න බැරිවුණු යුද්ධය සාර්ථකව අවුරුදු තුනයි මාස ගණනකින් නිමා කළා. ඒ වගේම තමයි කාටවත් හිතාගන්න බැරි තරම් සංවර්ධන යුගයක්, අපට හීනයක්ව තිබුණ ඔය අධිවේගී මාර්ග ඒ වගේම ගුවන්තොටුපොළ, වරාය වගේම මේ රටේ දුප්පත් අසරණ මිනිස්සුන් වෙනුවෙන් කරපු මහා උතුම් සේවය සදා අනුස්මරණීය මහා උත්තුංග සේවාවක්” යැයි නුගේතැන්නේ පඤ්ඤානන්ද නාහිමියෝ සිහිපත් කළහ.

ප්‍රඥාවන්ත දැහැමි ජන සමාජයක් උදෙසා බුදු දහමේ සිසිලස බෙදා දීමේ අරමුණ පෙරදැරිව සෑම පුන් පොහෝ දිනකම “අමාදම් සිසිලස” ධර්ම දේශනා මාලාව පැවැත්වේ.

සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට අනුව පැවති “අමාදම් සිසිලස” 212 ධර්ම දේශනාව ශ්‍රවණය කිරීමට අගමැති ආර්යා ශිරන්ති රාජපක්ෂ, ඇමැති සී.බී. රත්නායක, රාජ්‍ය ඇමැති සිරිපාල ගම්ලත්, නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් නන්දන ගලබඩ මහත්ම මහත්මීන් ඇතුළු සීමිත පිරිසක් එක්ව සිටියහ.

නව අදහස දක්වන්න