සිග්නල් සොයා කජු ගස් නඟින ලබුනෝරුව ගමේ දරුවෝ | දිනමිණ

සිග්නල් සොයා කජු ගස් නඟින ලබුනෝරුව ගමේ දරුවෝ

අනුරාධපුර මධ්‍යම විශේෂ

කොරෝනා හේතුවෙන් පාසල් තාවකාලිකව වසා දැමීමත් සමඟ මාර්ගගත අධ්‍යාපනය ලබන සිය දරුවන්ට දුරකථන සංඥා නොමැතිවීමෙන් කජු ගස් මුදුනේ සිට අධ්‍යාපනය ලැබීමට සිදු වී ඇති බව මරදන්කඩවල ලබුනෝරුව ගම්මානයේ පාසල් සිසුවියන් පිරිසකගේ මවුපියෝ පවසති.

අනුරාධපුර දිස්ත්‍රික්කයේ තිරප්පනය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් ලබුනෝරුව ගම්මානයේ පදිංචි පාසල් දරුවන් දුරකථන සංඥා නොමැතිව මාර්ග ගත අධ්‍යාපනය ලබා ගැනීමට නොහැකිව අන්ත අසරණ භාවයට පත් වී සිටිනා බවට මවුපියන් කළ දැන්වීමකට අනුව අප එහි ගිය අතර පාසල් දරු දැරියන් විශාල පිරිසක් කජු ගස් මුදුනේ නැග සංඥා සොයන අයුරු දැක ගත හැකි විය.

ලබුනෝරුව ගම්මානයේ 555 ග්‍රාම නිලධාරි තුලානේ දරුවන් තිස් දෙනෙකු පමණ සිය නිවෙස්වලට දුරකථන සංඥා දශමයක්වත් නොමැතිවීම නිසා එක් ස්ථානයකට එක් රැස් වී දවස පුරා සිය අධ්‍යාපන කටයුතු ඉතා අපහසුවෙන් හදාරයි.ඇතැම් සිසුන්ට ජංගම දුරකථනයක් හෝ වෙනත් කිසිදු තාක්ෂණික උපංගයක් මාර්ග ගත අධ්‍යාපනය හැදෑරීමට නොමැති අතර ඔවුන් අසල්වැසි මිතුරු මිතුරියන්ගේ දුරකථන වල පිහිටෙන් සිය අධ්‍යාපන කටයුතු සිදුකරයි.

මාර්ග ගත අධ්‍යාපනය හැදෑරීමට අවශ්‍ය දුරකථන සංඥා පහසුකම් නොමැතිවීම පිළිබඳ අදහස් දැක්වූ ලැබුනෝරුව ගම්මානයේ පදිංචි නදීකා සදමාලි පෙරේරා මහත්මිය මෙසේ පැවසුවාය.මේ දවස්වල දරුවන්ට අන්තර්ජාලය හරහා පන්ති නොපැවැත්වෙන නිසා මේ පළාතේ මවුපියන්ට පුදුම සහනයක් දැනෙනවා. මොකද පහුගිය දවස්වල අපි පුදුම දුකක් වින්දේ. දරුවන්ට පාඩම් කර ගන්න විදියක් නැතිව.නමුත් අමතර පන්ති පැවැත්වුණාට ඒවාට දරුවන්ට සහභාගි වෙන්න බෑ.

මේ පළාතට එක දුරකථන සමාගමක සංඥා විතරයි තියෙන්නේ.ඒකටක් හැම තැනම දුවන්න ඕනෑ.දරුවන්ට අවශ්‍ය ලැප්ටොප් වෙනත් උපාංග සියල්ලම පැත්තකට දාලා තියෙන්නේ.ඒවායින් වැඩ කරන්න ගෙවල් ඇතුළට සිග්නල් නෑ.දරුවෝ උදේම යනවා අසල්වැසි ඥාතියකුගේ වත්තට.

එතැනට ගිහිල්ලා කජු ගස් උඩ නැගගෙන තමයි වැඩ කරන්නේ.දරුවන්ට අනතුරක් විමේ අවදානමත් ඉතාම වැඩියි.

මවුපියෝ කීප දෙනෙක් ඒ අතර ඇහැ ගහගෙන ඉන්න ඕනෑ.අපි පදිංචි වෙලා ඉන්න පැත්තට සිග්නල් ඇත්තේම නෑ.නමුත් මහ කැලෑ තියන හරියට හොඳට දුරකතනවලට සිග්නල් තියනවා යනුවෙන් ඈ පැවසුවාය.

මාර්ගගත අධ්‍යාපනය ලබන සිසුන් කියා සිටියේ දුරකථනවලටත් හරි හැටි සිග්නල් නැති නිසා ගුරුවරුන් උගන්වන පාඩම් උගැනීමට නිවෙසින් බැහැර වී එක් ස්ථානයකට රැස්වීමට සිදුව තිබෙන බවයි.අධි තාක්ෂණික මෙවලම් නිවෙසේ තිබුණත් ඒවාට දුරකථන සංඥා නොමැතිවීම නිසා පාඩම් කටයුතුවලට භාවිතා කිරීමට නොහැකි වී ඇති බව ඔවුහු පැවසුහ.

නව අදහස දක්වන්න