රිෂාඩ්ගේ නිවසේදී තවත් දැරියක් දූෂණය වෙලා | දිනමිණ

රිෂාඩ්ගේ නිවසේදී තවත් දැරියක් දූෂණය වෙලා

සුභාෂිණී සේනානායක
රක්ෂණ ශ්‍රියන්ත

- රිෂාඩ්ගේ මස්සිනා අත්අඩංගුවට 
- බදියුදීන් ඇමැති සමයේ සිට අතවර කළා 
- තරුණියක් පොලිසියට ප්‍රකාශ කරයි

යහපාලන ආණ්ඩුවේ කර්මාන්ත ඇමැතිවරයා ලෙස රිෂාඩ් බදියුදීන් මහතා කටයුතු කළ කාලයේ ඒ මහතාගේ නිවෙසේදී දැරියක දූෂණය වූ බවට වූ අනාවරණයකට අනුව රිෂාඩ් බදියුදීන් මහතාගේ මස්සිනා වන ෂියාබ්දීන් ඉස්මදීන් පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ.

මන්ත්‍රීවරයාගේ නිවෙසේ 2015 වසරේ සිට 2019 වසර දක්වා කාලය තුළ මෙහෙකාර සේවය නිරතව සිටි තරුණියක් දූෂණය කිරීමේ සිද්ධියක් අනාවරණය වී ඇති බැවින් සැකකාර පුද්ගලයා අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ මහතා පැවසීය.

මැදවච්චිය ප්‍රදේශයේ පදිංචි සැකකරු 44 වියේ පසුවන අතර, දෙදරු පියකු බවත් ඔහු රිෂාඩ් බදියුදීන් මහතාගේ බිරියගේ සහෝදරයා බවටද අනාවරණය වී තිබේ.

වසර 2015 සිට 2019 දක්වා අදාළ නිවෙසේ සේවය කළ බව කියන ඒ වන විට 22 හැවිරිදි වියේ පසුවූ එම තරුණියගෙන් ප්‍රශ්න කිරීමේදී මේ බව අනාවරණය වී ඇත්තේ රිෂාඩ් බදියුදීන් මහතාගේ නිවෙසේ මෙහෙකාර සේවයේ සිටි බාලවයස්කාර දැරියක් ශරීරයට ගිනි තබාගෙන සිය දිවි නසා ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් කර ඇති ප්‍රශ්න කිරීම්වලදීය.

ඇය එම නිවෙසේ මෙහෙකාර සේවයට පැමිණ ඇත්තේද බාල වයස්කාර දැරියක් ලෙසින් බව අනාවරණය වී ඇති අතර, එම මෙහෙකාරියට බදියුදීන් මහතාගේ මස්සිනා අතවර කළ බවට එම තරුණිය පොලිසිය හමුවේ පාපොච්චාරණය කර ඇත.

රිෂාඩ් බදියුදීන් මහතාගේ මස්සිනා ඇමැති නිල නිවෙසේ සේවය කරමින් සිට ඇති අතර, එහිදී බදියුදීන් මහතාගේ නිවෙසේ පුද්ගලික රාජකාරි සඳහා සහාය වී ඇති බවත් ඔහුගේ දරුවන් පාසල් සඳහා ගෙන ගොස් ඇත්තේ ඔහු බවත් සිද්ධිය සම්බන්ධයෙන් කළ විමර්ශනවලින් අනාවරණය වී ඇත.

මෙලෙස අත්අඩංගුවට ගත් බදියුදීන්ගේ බිරියගේ සහෝදරයා 44 හැවිරිදි වියේ පසුවන මැදවච්චිය ප්‍රදේශයේ පදිංචිකරුවකු වන අතර, සිද්ධිය සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශන කරන බවත් ඔහුගෙන් ප්‍රකාශ ලබා ගැනීමෙන් අනතුරුව අධිකරණයට ඉදිරිපත් කරන බවත් පොලිසිය සඳහන් කළේය.

භක්ති ධර්මප්‍රිය මෙන්ඩිස්

නව අදහස දක්වන්න