ශ්‍රී දළදා තේවා කටයුතු අස්ගිරියෙන් මල්වතු පාර්ශ්වයට මාරු වෙයි | දිනමිණ

ශ්‍රී දළදා තේවා කටයුතු අස්ගිරියෙන් මල්වතු පාර්ශ්වයට මාරු වෙයි

අසේල කුරුළුවංශ

ශ්‍රී දළදා වහන්සේගේ උදෙසා කෙරෙන තේවා කටයුතු අස්ගිරි මහා විහාර පාර්ශ්ව‍යෙන් මල්වතු මහා විහාර පාර්ශ්වයට පැවරීම මල්වතු අස්ගිරි උභය මහා විහාරීය මහානායක ස්වාමින්ද්‍රයන් වහන්සේ දෙනමගේ සහ දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතාගේ ප්‍රධානත්වයෙන් අද (24) පස්වරුවේ දළදා මැඳුරේදී සිදු කෙරෙයි.

ඉංග්‍රීසි පාලන සමයේ දළදා වහන්සේගේ පැවිදි භාරකාරත්වය මහා විහාර දෙකේ මහනායක ස්වාමින්ද්‍රයන් වහන්සේ දෙනම වෙත පවරා දීමෙන් පසු ඇති කර ගත් එකඟතාවන් අනුව තේවා කටයුතු වර්ෂයක් පාසා හුවමාරු කර ගනිමින් උභය මහා විහාරීය භික්ෂූන් වහන්සේ විසින් ඉටු කරනු ලබති.

වාර්ෂික වස් එළඹීම කෙරෙන ඇසළ පුන් පොහෝ දිනට පසුදින මේ තේවා මාරුව සිදු කිරීම පුරාතනයේ සිට පැවත එන චාරිත්‍රය වන අතර, මෙවර දළදා තේවා මුරය අස්ගිරි පාර්ශ්වයෙන් මල්වතු පාර්ශ්වයට පවරා දීම ඇසළ පුන් පොහෝ දිනට පසුදින එනම් 24 දා සිදු කෙරෙනු ඇත.

තේවා කටයුතු පැවරෙන පාර්ශ්වය නියෝජනය කරමින් ඒ සඳහා සුදුසු භික්ෂූන් වහන්සේ පත් කිරීම සිදු කරනු ලබන්නේ අදාළ පාර්ශ්වයේ මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ අනුමැතිය යටතේය. ඒ සඳහා වර්තමානයේ භික්ෂූන් වහන්සේ පස්නමක් පත් කරනු ලබන අතර, උඩු මහලේ දන්ත ධාතුන් වහන්සේ අබියස තේවා කටයුතු සඳහා තෙනමක් පත් කෙරෙයි. අදාළ පාර්ශ්වයේ කාරක සංඝ සභාව නියෝජනය කරන්නා වූ ජ්‍යෙෂ්ඨ හිමිවරු තෙනමක් මේ සඳහා පත් කෙරෙන අතර, ඉන් එක් නමක් දළදා තේවා භාර නායක හිමි ලෙස කටයුතු කරති. උන්වහන්සේ තේවා කටයුතුවල ප්‍රධානත්වය ගනී.

පල්ලේ මාලයට එක් නමක් හා පත්තිරුප්පුවට එක් නමක් වශයෙන් සෙසු දෙනම පත් කෙරෙන අතර, උන්වහන්සේලා තේවාව භාර පාර්ශ්වයේ නේවාසික උපසපන් භික්ෂූන් වීම අනිවාර්යය සාධකයකි. ආගමික කටයුතු කෙරෙහි දක්ෂතාව ඇති ශ්‍රද්ධා සම්පන්න ව්‍යක්ත ප්‍රතිබල භික්ෂූන් වහන්සේ සඳහා පමණක් මේ උතුම් අවස්ථාව හිමි වෙයි.

තේවා මාරුව සිදු වන අවස්ථාවේ දළදා මාලිගාවේ ලේකම්තැන වට්ටෝරු පොත රැගෙන ඉහළ මාලයේ ඇති සියලු බඩු භාණ්ඩවල ලේඛනය පරීක්ෂා කිරීමෙන් පසු එම වසර සඳහා තේවාවට පැමිණෙන නාහිමි භාණ්ඩ භාර ගැනීම සිදු කරයි. අනතුරුව තේවා මාරුව සිදු වෙයි. තේවා කටයුතු වෙනුවෙන් මහා සංඝරත්නයට සහාය වීම පිණිස දියවඩන නිලමේ විසින් නිල වශයෙන් ගිහි පිරිසක්ද පත් කිරීම අතීතයේ පටන් එන චාරිත්‍රයකි.

නව අදහස දක්වන්න