ඩෙල්ටා ආසාදිත ගණන 61ට නඟී | දිනමිණ

ඩෙල්ටා ආසාදිත ගණන 61ට නඟී

වේගවත් ව්‍යාප්තියක් සහිත ඩෙල්ටා කොවිඩ් ප්‍රභේදය ආසාදනය වූ පුද්ගලයන් මේ වන විට 61ක් සොයා ගෙන ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් ප්‍රකාශ කළේය.

මෙරට ව්‍යාප්ත කොවිඩ් ප්‍රභේද සම්බන්ධයෙන් තොරතුරු වාර්තා කරනු ලබන nextstrain.org වෙබ් අඩවියට අනුව කොළඹ දිස්ත්‍රික්කයේ කොලොන්නාව, කෝට්ටේ, රත්මලාන, අංගොඩ, නවගමුව, ගල්කිස්ස, කැස්බෑව යන ප්‍රදේශවලින්ද, ගම්පහ දිස්ත්‍රික්කයේ රාගම සහ මීගමුව ප්‍රදේශවලින් ආසාදිතයන් වාර්තා වී ඇත.

ඊට අමතරව කළුතර, බේරුවල, යාපනය, කිලිනොච්චිය, මුලතිව්, දඹුල්ල, ගාල්ල සහ මාතර යන දිස්ත්‍රික්කවලින් ඉකුත් සතියේදී ඩෙල්ටා ආසාදිතයන් වාර්තා වී ඇත.

"දැනට වාර්තා වෙලා තිබෙන ඩෙල්ටා ආසාදිතයන් ගණන 61ක් වුණාට මීට‍ වඩා ආසාදිතයන් ඉන්න හැකියාව තිබේ. දැනට කළ පරීක්ෂණවලින් තමයි මේ පිරිස හමු වෙලා තිබෙන්නේ. තත්ත්වය මීට වඩා වෙනස්. ඒ නිසා සියලු දෙනාම යහපත් සෞඛ්‍ය පුරුදු අනුගමනය කරන්න. වයිරසයට නිරාවරණය නොවී ඉන්න"

මෙරට ඩෙල්ටා කොවිඩ් ප්‍රභේදයේ ව්‍යාප්තිය සම්බන්ධයෙන් අදහස් දක්වමින් සෞඛ්‍ය අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා කීය.

නව අදහස දක්වන්න