අන්තිමේදී කුණු කූඩෙද? | දිනමිණ

අන්තිමේදී කුණු කූඩෙද?

පර්යේෂණයක් (research) යන්නෙහි සරල අර්ථය වන්නේ 'සූක්ෂ්ම සෙවීම' යන්නයි. මේ සෙවීම පවතින දැනුමක් තුළින් නව දැනුමක් උත්පාදනය කර ගැනීම හෝ තම මනෝ පරිකල්පනය තුළ ඇති වන ගැටලුවක් සම්බන්ධයෙන් දත්ත මත පදනම්ව කරනු ලබන සංකීර්ණ අධ්‍යයනයක් වශයෙන් පෙන්වා දිය හැකිය. වර්තමානයේ පර්යේෂණ ක්ෂේත්‍රයේ නව ප්‍රබෝධයක් නිර්මාණය වී ඇත. සමාජ, දේශපාලන, ආර්ථික, තාක්ෂණික යන සියලුම ක්ෂේත්‍රයන් මඟින් පර්යේෂණ සිදු කිරීම දැකගත හැකිය. පර්යේෂණ කිරීමේ පිපාසයක් නූතන සමාජය තුළින් නිර්මාණය වී ඇත. විශ්වවිද්‍යාල මට්ටමින්, පර්යේෂණ ආයතන මඟින් පර්යේෂණයන් සිදු කිරීම දැකගත හැකිය.

තාක්ෂණයේ දියුණුවත් සමඟ නිර්මාණය වන සමාජ සංකීර්ණතාවන් ද ප්‍රබල වේ. එම සංකීර්ණතාවන්ට සංවේදී නොවෙමින්, ඒවායේ සංකූලතාවන් නිසි ලෙස අවබෝධ කර නොගනිමින් සමාජ ක්‍රමය පවත්වාගෙන යා නොහැකිය. එම සංකීර්ණතා අන්තර්ග්‍රහණය කර ගනිමින් සමාජ තුළ ප්‍රතිරෝධීතාවන් ඇති වීම වළක්වාලීමට සමාජීය විද්‍යා පර්යේෂණ ක්ෂේත්‍රය මහඟු අස්වැසිල්ලක් වශයෙන් පෙන්වා දිය හැකිය.

ලංකාව වැනි සංවර්ධනය වෙමින් පවතින තුන්වන ලෝකයේ රාජ්‍යයන් තුළ සංව‍ර්ධිත රාජ්‍ය තුළ දැකිය නොහැකි අතිශය සංකීර්ණ සමාජ අර්බුදයන් දැකගත හැකිය. විශේෂයෙන්ම දේශපාලනය, ආර්ථිකය, සමාජ, සංස්කෘතික මේ සියලු ක්ෂේත්‍රයන් තුළ ඒවාට ආවේණික වූ දැඩි සමාජ වපසරියක් තුළ ව්‍යාප්ත වුණු අර්බුදයන් දැකගත හැකිය. මේ අර්බුද සියුම්ව අධ්‍යයනය කිරීමට සමාජීය විද්‍යා පර්යේෂකයන් කටයුතු කිරීම දැකගත හැකිය.

නමුත් ලංකාවේ සමාජීය විද්‍යා පර්යේෂණ ක්ෂේත්‍රය තුළ සිදුකරනු ලබන පර්යේෂණයන් සත්‍ය වශයෙන්ම සමාජ අර්බුද කළමනාකරණය කිරීම උදෙසා යොදා ගන්නේද යන්න ගැටලුවකි. ලංකාවේ පවතින විශ්වවිද්‍යාල පද්ධතිය හරහා වසරකට සිදු කරන සමාජීය විද්‍යා විෂය පර්යේෂණයන් මෙතෙකැයි කියා තක්සේරු කළ නොහැකි තරම්ය. මේ පර්යේෂණයන් විද්‍යාර්ථීන් විසින් කරනුයේ ඒ සම්බන්ධයෙන් දැනුමක් පවතින විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ මඟපෙන්වීම යටතේය. ඒ තුළ එහි ප්‍රමිතිය සම්බන්ධයෙන් වගකීමක් සහ විශ්වසනීයත්වයක් පවතී. එමෙන්ම සැලකිය යුතු පිරිවැයක් ඔවුන් මේ වෙනුවෙන් දරනු ලබයි. නමුත් මේ පර්යේෂණ සමාජයේ අර්බුද කළමනාකරණය කිරීම උදෙසා යොදා ගන්නවා වෙනුවට කුණු කූඩයේ තනි රකින ආකාරය දැකගත හැකිය. මේ පර්යේෂණයන් සමාජයේ යහපැවැත්ම දීර්ඝකාලීනව පවත්වාගෙන යෑම උදෙසා යොදා ගන්නේ නම් වර්තමාන සමාජයේ තත්ත්වය මීට වඩා හාත්පසින් වෙනස් වීමේ ඉඩකඩ පවතී. කෙසේ නමුත් සමාජීය විද්‍යා විෂයන් සම්බන්ධයෙන් කරන පර්යේෂණයන් සමාජ අර්බුද කළමනාකරණය කිරීම උදෙසා යොදා ගැනීමේ කාලීන අවශ්‍යතාව මේ මොහොත වන විට නිර්මාණය වී ඇත.

 

 

 තිළිණි මධුෂානි

නව අදහස දක්වන්න