මල් කියන්නේ කාට කාට | දිනමිණ

මල් කියන්නේ කාට කාට

මිනිසාගේ මනුෂ්‍යත්වය පිරිහෙමින් පවතින ලෝකයක ළමයා සුරක්ෂිත යැයි කිසිසේත්ම පැවසිය නොහැකිය. වත්මන් සමාජය තුළ අසන්නට, දකින්නට ලැබෙන දේවල් නිසා ඒ බැව් තව තවත් තහවුරු වේ. අතීත සමාජය දෙස බැලූ කල, වත්මන් සමාජය සහ එහි ජීවත්වන මිනිසුන්ගේ පිරිහීමක මහත සිතාගත හැකිය. තරගකාරී අධ්‍යාපන රටාව හා කාර්යබහුලත්වය හමුවේ මිනිසුන්ගේ ගුණදහම් වර්ධනය වීම කෙසේ වෙතත් ඒවා කෙමෙන් කෙමෙන් පිරිහී යන ස්වභාවයක් නම් දැකගත හැකිය. අනෙකාට ගෞරව කිරීමටවත් නොදන්නා මිනිසුන් වෙසෙන සමාජයක ළමයාට ආරක්ෂාවක් ලැබේ යැයි සිතිය හැකිද? එය සිනහ උපදවනසුලුය. රටක අනාගතයවන් ළමා පරපුර මෙලෙස සමාජය තුළ අනාරක්ෂිත වීම ශිෂ්ටසම්පන්න සමාජයක පිරිහීමට නිදසුන් සපයයි.

විශාරද නන්දා මාලනිය විසින් ගායනා කරන ලද හරි අපූරු ගීතයක මෙසේ ළමයා ගැන සඳහන් වේ.

"මල් කියන්නේ කාට කාට

ළමයින්ටයි පාට පාට

පෙළක් ළමුන් සුවඳ ගොඩයි

පෙළක් ළමුන් හරිම හැඩයි"

පුංචි මල් කැකුළුවන් ළමුන්ගේ අනාගතය මෙලෙස අඳුරු වනවා අපට, අඳගොළු බිහිරන් සේ තවත් බලා සිටිය හැකිද? අද මාධ්‍ය තුළ නිතර දෙවේලේ අසන්නට ලැබෙන්නේ ළමා අපචාර සම්බන්ධ පුවත්ය. එවැනි සිදුවීම් අප කාගෙ කාගේත් හදවත් කම්පා කරවයි. සිය පියා අතින්ම තම දරුවා අතවරයට ලක්වන සමාජයක දරුවාට සිය පවුලෙන් මෙන්ම, සමාජයේ අන් අයගෙන් පවා ආරක්ෂාවක් පැතිය නොහැකි වාතාවරණයක් මේ නිසා උද්ගත වී ඇත. එය කනගාටුවට කරුණකි. දරුවකුගේ ආරක්ෂකයා වන්නේ සිය පියාය. නමුත් අද අසන, දකින දේ නිසාම එය එසේ නොවන බැව් පසක් වෙයි. අනාරක්ෂිත සමාජයක කවරකුගෙන් කියා ළමයාට ආරක්ෂාවක් පතන්නද? එය ඉතාමත් ඛේදනීය තත්ත්වයකි.

මෙවැනි වාතාවරණයකදී නීතිය ක්‍රියාත්මක කරන්නන්ගේ පිහිට පැතීමට ළමයාට සිදු වේ. නමුත් අවාසනාවක මහත, නීතිය ක්‍රියාත්මක කරන්නන් සිටිනුයේ නීතිය ක්‍රියාත්මක කිරීමට විනා නීතිය කැඩීමට නොවනමුත් අද සිදුවන්නේ එහි අනෙක් පසය. ළමයින් නීතියේ පිළිසරණ සොයා ගිය විට, එහිදී ද ඔවුන් විවිධ අපහසුතාවන්ට, හිරිහැරයන්ට මුහුණදුන් අවස්ථාද වත්මන් මාධ්‍ය‍ තුළින් අපට අසන්නට දකින්නට ලැබිණි. මාධ්‍ය මෙවැනි දේ හෙළිදරව් කිරීමට මූලිකත්වය ගෙන කටයුතු කිරීම මත සමාජයේ සිදුවන අවැඩ, දූෂිත ක්‍රියාවන් පිළිබඳව නොදැනුවත් මිනිසුන් දැනුවත් වී සිය දරුවන් පෙරටත් වඩා ආරක්ෂා කිරීමට යොමුවනවා නිසැකය.

එනිසා ‍රටෙහි අනාගත දරු පරපුර ආරක්ෂා කිරීම අප කාගෙ කාගේත් වගකීමක් සේ සලකා සමාජය තුළ සිදුවන මෙවැනි දේ සිදු කරන්නන්ට එරෙහිව නැඟී සිටීමට, නීතිය ඉදිරියට ඔවුන් ගෙන ඒමට අප සියල්ලන්ම එකාමෙන් පෙළ ගැසිය යුතු යුගයක අවශ්‍යතාවකි මේ.

 

 හිමාෂා කාවින්දි

නව අදහස දක්වන්න