ඩිජිටල් වසංගතයක් වූ Online Game | දිනමිණ

ඩිජිටල් වසංගතයක් වූ Online Game

කොවිඩ් - 19 ගෝලීය වසංගතය ලෝකයටම සිදු කර ඇති හානිය සුළුපටු නොවේ. ඒ මහා වසංගතය අතර සැඟවුණු කුඩා වසංගත රැසක් ද මිනිසාට විවිධාකාර බලපෑම් කරමින් ලොව පුරා සැරිසරමින් සිටී. වසංගත අවදානම හේතුවෙන් අන් කවරදාකවත් නොවූ විරූ අයුරින් ඔන්ලයින් අධ්‍යාපනය සඳහා දරුවන්ට අවකාශ සැලසී ඇත. ඔන්ලයින් අධ්‍යාපනයට මුවා වී පරිගණක හා ස්මාට් දුරකතන ක්‍රීඩාවලට ඇබ්බැහි වීමේ ඩිජිටල් වසංගතයක් මේ වන විට ලෝකය පුරා පැතිර යමින් ඇත.

අන්තර්ජාල ක්‍රීඩා යනු අර්ධ වශයෙන් හෝ මූලිකවම, අන්තර්ජාලය භාවිතයෙන් හෝ පරිගණක ජාලයක් භාවිතයෙන් ක්‍රීඩා කරන වීඩියෝ ක්‍රීඩා වේ. අන්තර්ජාල ක්‍රීඩා සිදු කළ හැකි වේදිකාවන් ලෙස පරිගණක, ලැප්ටොප්, පාලන පුවරු (Xbox, PlayStation) වැනි ජංගම උපාංග හැඳින්විය හැකිය. මේවා පුළුල් පරාසයක් පුරා විහිදෙයි. එනම් එක් පුද්ගලයකු පහර දෙන්නකු ලෙස, ක්‍රමෝපායික ක්‍රීඩා හා එකවර බොහෝ දෙනකු සම්බන්ධ වී සිදු කරන ක්‍රීඩා ආදි වශයෙනි. මේ ක්‍රීඩාවන්හි සැලසුම් සරල වචන මත පදනම් වූ පරිසරයන්ගේ සිට සංකීර් ණ රූප හා මනෝමය ලෝකයන් දක්වා වූ පරාසයන් තුළ පවතී. සමාජය තුළ සැබෑ වශයෙන් සිදු කරන ක්‍රීඩාවන්, පුද්ගලයන් සැබෑ ලෙස ජීවත්වන ප්‍රජාවන් ඒකාබද්ධ කරගෙන සිදු කරන අතර, අන්තර්ජාල ක්‍රීඩා සිදු කරන්නේ එම අන්තර්ජාල ප්‍රජාවට සම්බන්ධ සීමිත පිරිස අතර පමණි.

දරුවන්ට අහිතකර මෙවැනි ඩිජිටල් ක්‍රීඩා වරින් වර කරළියට පැමිණෙන අතර මේ දිනවල දරුවන් අතර ජනප්‍රිය වී ඇත්තේ එකිනෙකා මරා ගන්නා සාහසික ක්‍රීඩාවකි. විකිපීඩියා හි සඳහන් වන ආකාරයට 2019 වසරේ ගෝලීය වශයෙන් විශාල වශයෙන් බාගත කර ඇති ජංගම ක්‍රීඩාව වන එය Google play තුළ හොඳම ජංගම ක්‍රීඩාව බවට ද පත්ව ඇත. එසේ නම් මෙවැනි ක්‍රීඩාවක් අහිතකර වන්නේ කෙසේදැයි කෙනකු ප්‍රශ්න කළ හැකිය.

ඩිජිටල් ක්‍රීඩා නිර්මාණකරුවන් තම නිර්මාණ බිහිකිරීමේදී බොහෝවිට ඉලක්ක කරන්නේ තරුණ පරපුර වන අතර කුඩා ළමුන් හා වැඩිහිටියන් ද ඒවා ප්‍රිය කරති. වත්මන් අන්තර්ජාල යුගය තුළ ඒවා සමාජයේ සෑම තැනකටම ළඟා වී ඇති අතර, සෑම වයස් කාණ්ඩයක්ම ඒවා භාවිතයට හුරු වී ඇත. ඇතැම්හු මේ ක්‍රීඩා හානිකර යැයි පවසද්දී ඇතැම්හු ඒවා විනෝදය සපයන බවත් තාර්කික බුද්ධිය වඩවන බවත් සිතීමේ පරාසයන් වැඩි කරන බවත් පවසති. ඇබ්බැහි වීමෙන් තොරව පරිගණක ක්‍රීඩාවල යෙදීම අහිතකර නොවූවද ඩිජිටල් ක්‍රීඩාවලට ඇබ්බැහි වීම ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් 2018 වසරේදී මානසික ආබාධයක් ලෙස පිළිගනු ලැබුවේ මෙවැනි ක්‍රීඩා තුළ ස්වයං පාලනය අඩුවීමෙන් ඉච්ඡාභංගත්වයට පත්වන නිසාය. ඊට හේතුව එවැනි ක්‍රීඩාවල පරම අභිලාසය ක්‍රීඩකයාගේ ජයග්‍රහණය වන අතර, මුදල් සම්බන්ධ වීම නිසා ඊට ඇබ්බැහි වීම සූදුකෙළීමක් හා සමාන වීමයි. ඩිජිටල් ක්‍රීඩා බොහොමයක් සැලසුම් කර ඇත්තේ ‍ක්‍රීඩකයා වැඩිම කාලයක් හා වාර ගණනක් තරගයේ නිරත කිරීමට පෙලඹවීමට සහ ක්‍රීඩකයන් වැඩි ප්‍රමාණයක් එයට සහභාගි කරවා ගැනීමටයි. නැවත නැවතත් ක්‍රීඩාව කිරීමට ක්‍රීඩකයා පොලඹවා ගැනීමට විවිධ අභියෝගතා ඉදිරිපත් කරන අතර, දිගටම ක්‍රීඩා කිරීමට පොලඹවන වාසි ද අතරමඟදී ලබා දෙයි. මේ නිසා මනසින් ක්‍රීඩාවට බැඳෙන අතර, එක් ක්‍රීඩාවක ක්‍රීඩකයෝ අනිකුත් ක්‍රීඩාවක හෝ සන්නාමයක ක්‍රීඩකයන් හෙළා දකිති. සමහරු ක්‍රීඩා ගණනක් ක්‍රීඩා කරන අතර කුඩා කණ්ඩායම් පිහිටුවාගත් ක්‍රීඩකයෝ ද සිටිති. එම ක්‍රීඩකයන්ට ක්‍රීඩාව තුළ තමන්ට රිසි චරිතයක් නිර්මාණයටත් එම චරිතය තම සිතිවිලි අනුව හැඩගැන්වීමටත් ඒ සඳහා උපාංග මිල දී ගැනීමටත් පෙලඹවීම නිසා ක්‍රීඩාව සමඟ අතිශය පෞද්ගලික බැඳීමක් ඇති කර ගනී. අඟල් 6 ක් පමණ වූ ස්මාර් ට් දුරකතන තිරයක ගොඩනැගෙන එම මන:කල්පිත ලෝකය ක්‍රීඩකයා වැඩිපුරම කැමති ස්ථානය බවට පත්වන්නේ නිරායාසයෙනි. කිසිවිටකත් තම ක්‍රීඩක සගයන් මුහුණට මුහුණ හමු නොවූවද එම තාවකාලික සමාගමය ප්‍රිය කිරීම මේ ක්‍රීඩා සඳහා ඇබ්බැහි වීමට ප්‍රධානම හේතුව බව හෙළි වී ඇත.

ක්‍රීඩාව හරහා සිදුවන මේ සම්බන්ධතාව සයිබර් අවකාශය තුළ සිදු කරන සූරාකෑම්, හිංසන, ප්‍රචණ්ඩත්වයන් වැනි වැරදි සඳහා පරිසරය, අවකාශය සැලසීමේ ප්‍රවණතාවක් ඇති විය හැක. යුගල හෝ සමූහයක් අතර සිදු කරන ක්‍රීඩා බොහෝවිට අන්තර්ජාලය මඟින් සිදු කරන පෙලඹවීම් සඳහා සහ පසුකාලීනව අන්තර්ජාලය භාවිතයෙන් සිදු කරන ලිංගික සූරාකෑම්වලට ඉඩකඩ සලසනු ඇත. පාලනයකින් තොර වූ විට අන්තර්ජාල ක්‍රීඩා ඔබේ ජීවිතයට බලපෑම් එල්ල කළ හැකිය. උදාහරණයක් ලෙස එම ක්‍රීඩා සඳහා ඇබ්බැහි වූවන් බොහෝ කාලයක් ඒ සඳහා ගත කිරීම හේතුවෙන් තම පෞද්ගලික සම්බන්ධතා නොසලකා හරිනු ලැබීම සහ යම්වි ටෙක එම සම්බන්ධතා අත්හැර දමයි. ඇබ්බැහි වූ යෞවනයකුට ප්‍රබල සමාජ කුසලතා වර්ධනය කරගත නොහැකි වන අතර අනාගතයේදී යහපත් සම්බන්ධතා පැවැත්වීමේ සහ වර්ධනය කර ගැනීමේ හැකියාවන්වලට බාධා පැමිණෙනු ඇත.

ක්‍රීඩාවලට ඇබ්බැහි වීමේ කායික විපාක වනුයේ, මැණික් කටුවේ වේදනාව, ඉරුවාරදය, නින්ද නොයෑම, කොන්ද රිදීම, ආහාර ගැනීමේ අක්‍රමිකතා හා පෞද්ගලික පිරිසුදුතාවයෙහි දුර්වලභාවයන්ය. යම් වීඩියෝ ක්‍රීඩා නිසා ඇතිවන විපාක සමාජ ප්‍රතිවිපාකයන්ට ද හේතු විය හැක. උදාහරණයක් ලෙස මේ ක්‍රීඩකයන් බොහෝ කාලයක් ක්‍රීඩාවේ නියැළීමෙන් නින්ද නොයෑම හේතුවෙන් සම්බන්ධතා ඇති කර ගැනීම සඳහා ශක්තියක් නැති වීමයි. අඩු නින්ද හේතුවෙන් ඔවුන් අවුල්සහගත වන අතර වෙනත් යමක නියැළීමට ද අපහසු වේ.

පරිගණක ක්‍රීඩා සඳහා ඇබ්බැහි වූවන්ට තරවටු කිරීමෙන් හෝ දැඩි ක්‍රියාමාර්ග ගැනීමෙන් යහපත් ප්‍රතිඵලයක් ලබාගත නොහැකිය. ක්‍රීඩා හා සමාජයීය ක්‍රියාකාරකම්වල සමබරව යෙදෙන දරුවන් හා තරුණයන් වඩා සෞඛ්‍යමත් ජීවිත ගත කරන බව පෙනීයන බැවින් ඔවුන් පරිගණක, ජංගම දුරකතන තුළින් අන්තර්ජාලය භාවිත කිරීමේදී ඒ පිළිබඳ මවුපියන්ගේ දැනුම්වත්භාවය, අවධානය සහ නිරන්තර නිරීක්ෂණය ද අත්‍යවශ්‍ය වේ. එමෙන්ම අන්තර්ජාල ක්‍රීඩා හරහා සිදුවන අහිතකර ඵල විපාක අවම කර ගැනීමට නම් මාධ්‍ය සාක්ෂරතාව මෙන්ම ඩිජිටල් සාක්ෂරතාවද ලබා දීම යුගයේ අවශ්‍යතාවක් බවට පත්ව ඇත.

සමේලා රාජපක්ෂ

 

නව අදහස දක්වන්න