Curfew දැම්මා කියලා මොකද වෙන්නෙ ? | දිනමිණ

Curfew දැම්මා කියලා මොකද වෙන්නෙ ?

 

“කොරෝනා උඹ මාරයි . . .

මිනිස්සු කියලා හිතපු උන්ගෙ

වෙස් මුහුණ ගලවලා ,

අමනුස්සකම පෙන්නපු උඹ . . . .

Curfew එක්ක මනුස්සකම

අමනුස්සකම කියලා දුන්නා . . . .

හිත් පිත් තිබ්බ මිනිස්සු පවා

හිත් පිත් නැති උඹ

උඹේ දණ ළඟ වට්ට ගත්තා . . . .”

 

අද කොරෝනා වයිරසය ගැන ලොව පුරා සෑම අස්සක් මුල්ලක් නෑර ම කතා කරනවා. වසංගතයක් උනාට නවකතා පොතක් ලියන්න තරම් කතා මවපු වස්තු විෂයක් කියලා කිව්වොත් ඔයා මොකද හිතන්නෙ? Curfew දානකම් කට ඇරන් බලන් හිටපු උන් අතරෙ Curfew දාන්න එපා කියලා දෙයියන්ට කන්නලව් කරපු මිනිස්සු දුසිම් ගණන් හිටියා. Curfew දානකම් සමහරු බලන් හිටියෙ තමන්ගෙ බලපුළුවන්කාරකම් අනික් උන්ට පෙන්නන්න. ඒ සමහරුන්ට ඕන උනේ හයිෆයි ගතිය පෙන්නන්න මිසක් වෙන මොකට ද? තමා සල්ලිකාරයෙක් කියලා පෙන්නලා අහිංසක දුප්පත් මිනිස්සුන්ගේ ඇස්වල පොදි කන කඳුළු බලන්න උන් හරි ආසයි. කරකියා ගන්න මුකුත් නැතිව ළතැවෙන අහිංසක මිනිස්සුන්ගෙ මූණු උන්ට වේලකින් බඩ කට පුරවන බත් පිඟානක් වගේ. මනුස්සකම කියන්නෙ මේකට ද? නෑ . . . . උන්ගෙ ජීවිත හරියට මංමුළා වුණු මුව පැටව් වගේ. කෙනෙක් අසරණ උන මොහොතක ඒ අසරණකම පසෙකලා සතුටු වෙනවා නම් කොහොමද එතන මනුස්සකම තියෙන්නෙ. කොහොමද උන්ට මනුස්සයො කියන්නෙ. හරියට උන් මනුස්සකම කියන වෙස් මුහුණ දා ගත්ත පාවෙන රූකඩ වගේ. ලාං‍ෙක්ය සංස්කෘතිය ගැන සමහරු උදම් අනන්නෙ,

“ සිංහල ජාතිය කියන්නෙ අනෙකගෙ දුකේ දී සතුටු උන පිරිසක් නෙමෙයි, තමන්ගෙ දුක කියල හිතලා උදව් කරපු පිරිසක්. අනික් අයගෙ කඳුළු තමන්ගෙ කදුළු කරගත්ත ජාතියක්”

කියලනෙ. එතකොට කෝ ඒ ලාංකේය සංස්කෘතිය කියලා ඔළුව උඩ තියන් හිටපු ඔටුන්න. බර වැඩි නිසා ගලවලා දාල ද?

කුලී වැඩක් කරලා දවසෙ පඩියෙන් බඩ ගෝස්තරය පුරවා ගත්ත අන්ත අසරණ මිනිස්සු අද විතරක් නෙමෙයි. එදා ඉඳන් ලංකාවෙ ජීවත් උනා. ඒ මිනිස්සුන්ට කාසි පනම් නොතිබුණාට මනුස්සකම තිබුණා. වේලක් ඇර වේලක් කෑවත්, වේල් ගණන් බඩගින්න හිටියත් මනුස්සකම ඉස්සරහ උන්ගෙ බඩගින්න මැකිලා ගියා. ඒත් අද..... Curfew නිසා අසරණ උන මිනිස්සුන්ට එක මොහොතක් උදව් කරන්න අත දෙන්න, හිත උණු නොවෙන එවුන්ගෙන් අපේ ලංකාව පිරිලා ඉතිරෙනවා කිව්වොත් ඔයා මොකද කියන්නෙ ? දවසම අව්වෙ පිච්චි පිච්චි, දාඩිය වගුරමින්, අත්වල කරගැට මතු වෙනකම් කඹුරලා හොයා ගන්න සොච්චමටත් Curfew නිසා වැටකඩොලු ආවම, ඒ හිත් කොයි තරම් අසරණ වෙන්නැද්ද?

Curfew දානවා කිව්ව ගමන් ඒ හිත්වල ගිනි පුපුරු සට පට ගාලා පුපුරන්න ඇති. නිනව්වක් නැතිවම මෙහෙම බලද්දි. මිනිස්සු අතරෙ මනුස්සකම තියන අය අඳුරගන්නත්, අමනුස්සකම තියන අඳුරගන්නත් කොරෝනා උදව් උනා නේද . . . . ?

කොරෝනා වසංගතයක් බව ඇත්ත. කොරෝනා පැතිරෙන වේගය පරයා අමනුස්සකම පැතිරීම නොව විය යුත්තේ මනුස්සකම පතුරවා කොරෝනා වසංගතය මුලිනුපුටා දැමීම පමණි. ශරීරයක් නැති කොරෝනා පවා සරදම් කරන්නේ අනාරක්ෂිත අයට පමණි. ඒත් මිනිසුන් සරදම් කරන්නේ .....?

කොරෝනා.... තාන්න මාන්න, බලපුළුවන්කාරකම්, නැතිබැරිකම් කිසිදෙයක් බල බල රිටර්න් දුන්නෙ නෑ. දෙන්නෙත් නෑ. Curfew එක්ක එහෙම ජීවිත දෙකක් දෝලනය වෙද්දි, Curfew අස්සෙ රට වෙනුවෙන් සේවය කරපු ජීවිතත් තිබුණා. ඇවිදින පොලිතින් බෑග් එකක් වගේ ඉටි උරයක් මුළු ඇඟට ම දාගෙන, හෙල්මට්, මාස්ක්, ග්ලවුස් එක්ක දවස ම ඔට්ටු වෙන ජීවිත කොයිතරම් ද? දිවා රෑ නොතකා පොලිතින් බෑග් දාගත්ත මිනිස්සුන්ගෙ ඇඟපත ගිනිගන්නව වගේ ම ඒ මිනිස්සුන්ගෙ හිත් පිත් පවා ගිනි ගත්තා..... ඒ ඔවුන්ගේ ආදරණීයන් මතක් වන ක්ෂණයක් පාසා. ඔයාට කිව්වොත් ගෙදර අය දාලා ඇවිත් කොරෝනා ලෙඩ්ඩු ඉන්න වාට්ටුවක රෑ ඩියුටි කරන්න කියලා. ඔයා මොකද කරන්නෙ ? තරාදියක දෙපැත්තෙ තියල ඔයාගෙ අදහස මැනුනොත් . . . . මිනුම් දණ්ඩ විදිහට රට වෙනුවෙන් සේවයට යෑමත්, ගෙදරට වෙලා සිටීමත් ගත්තොත් . . . . බර වැඩි වෙන්නෙම දෙවනියට කිව්ව කාරණාවට නෙමෙයි ද?. . . ඉතින් මේ වගේ අවදානම් වෙලාවක, කවුද, කාගෙද, නොබලා ගිලගන්න මාරයෙක් ඉන්න වෙලාවක, ඇහැට නොපෙනෙන මාරයෙක් එක්ක කරට කර සටන් කරන්න යන එක ම වීරකමක් නෙමෙයි ද ?. . . සුවවිරුවො, රණවිරුවො අතර නොදෙවැනි සේවයක් කරන තවත් ජීවිත තිබ්බා. ගොඩක් අය වපරහින් ඒ මිනිස්සු දිහා බලන නිසා වැඩිය කතාබහ කරන්න කරළියට ආවෙ නෑ. මොකද ඒ හැමෝගෙම කුණු අදින කුණු මිනිස්සු කියලා හංවඩු ගහපු අයනෙ . . . . ඒ වගෙ චරිත සහතික ලියපු සුද්දවන්ත පිරිසක් ඉන්න ලාංකේය සමාජයේ චරිත සහතික ලියවපු උන්ගෙ ජීවිත වෙනුවෙනු සටන් කරන්න යන්න තරම් ඒ අහිංසක මිනිස්සු නිහතමානී වුණා.

Curfew අස්සෙ දෝලනය වුණ ලස්සන ම ජීවිත කතාව උරුම උනේ මේ පිරිසට. .

සිනහව හංඟගෙන කඳුළු එක්ක පොරබඳින ජීවිතය අස්සෙ තව කෙනෙක්ගෙ සතුට වෙනුවෙන් ම කැප උන ඒ ජීවිත හරිම අව්‍යාජයි. එහෙම නේ ද . . . . මේක කියවන ඔයා සමහර විට දොස් නඟනවා ඇති. මං මොනවද ඒ මිනිස්සු ගැන දන්නෙ කියලා. . . . ඒත් ඒක තමා නියම ඇත්ත. මම තමයි පොර කියල උජාරුවෙන් ඉන්න ගොඩක් අය දන්නෙ නෑ ඒවා ලොස් වෙන්න යන්නෙ පොඩි වෙලාවයි කියලා.

කොරෝනා තව කොච්චර කල්, කොහොම, කාට, මොනව කරයි ද කියල ඔයාවත් මමවත් අඩුම ගානේ මේ ගැන හොයපු බලපු අයවත් දන්නෙ නෑ. හොඳම කතාව තමයි කොරෝනා වසංගතය ගැන හැමෝම කතා කරද්දි ගෙට පැනලා, ගෙදර උන්ට නිදි පෙති දීලා, ගෙදර බඩු අරන් ගිය කතාව . . . ලංකාවෙ ඉන්න හිත හොඳ මිනිස්සුන්ගෙ තරම කොච්චර ද කියල හැමෝට ම තේරුම් ගියෙ මෙන්න මෙතනදි. Curfew අස්සෙ දෝලනය වන මෙහෙම ජීවිතත් තිබ්බා. Curfew එන්න ඕනෙම නෑ කෙනෙක් අසරණ වෙන්න. ඒ වගේම තමා කෙනෙක්ට පිහිටක් වෙන්නත් මනුස්සකම පෙන්නන්න Curfew එන්න ඕනෙමත් නෑ. කොරෝනා වසංගතයක් බව ඇත්ත. කොරෝනා පැතිරෙන වේගය පරයා අමනුස්සකම පැතිරීම නොව විය යුත්තේ මනුස්සකම පතුරවා කොරෝනා වසංගතය මුලිනුපුටා දැමීම පමණි. ශරීරයක් නැති කොරෝනා පවා සරදම් කරන්නේ අනාරක්ෂිත අයට පමණි. ඒත් මිනිසුන් සරදම් කරන්නේ .....? එය සිතීම ඔබට භාරයි....

 

සඳුනි අරවින්දිනී

නව අදහස දක්වන්න