පිරූ පැතුමන් | දිනමිණ

පිරූ පැතුමන්

යුවතියක් පතිනියක වූ දා සිට ඇය සිහින දකින්නේ මවක් වීමටය. සිදංගනා ද එසේ දහසකුත් පැතුමන් පොදි බැඳගත් තරුණියෙකි. ඇගේ කිරි සිහිනය සැබෑ කළ පුතු ගේ අතැඟිලි සුමුදු ව පිරිමදිමින් නුපුරුදු තොල් පෙති අතුරින් තන පුඩු උරන්නට සටනක යෙදෙන පුතු දකින ඇයගේ මුවෙහි සිනාවක් මෝදු වේ. පුතුගේ ලොවෙහි නිමග්නව සිටි ඇය එකවරම තිගැස්සී ගියේ ඔහුගේ පැමිණීමත් සමඟය. එනම් ඇගේ සැමියා වූ සිතුම් ය. ඔහු පැමිණ ඇත්තේ දස මසක් කුස දරා තම ආදරණීය බිරිය මෙලොවට බිහි කළ පුතු දැක ගැනීමට ය.

"මගේ මැණිකට ගොඩාක් පින් මගේ ලෝකෙ සම්පූර්ණ කරාට"

රෝහල් කාමරය වෙත පැමිණි ඔහු ඇයට පවසනුයේ හදපිරි සතුටිනි. ඔහු මවගේ ඇකයේ සැපට නිදන පුතුව, තම දෑතට ගන්නේ ඇය ගේ නළලත මත කෙටි හාදුවක් සටහන් කරමිනි.

"බෑ බෑ ඔයා කොහොම කිව්වත් මට ඔයාගෙන් ඈත් වෙන්න බෑ දේශිත."

අතොරක් නැතිව තම පුංචි පුතු සමඟින් දොඩමලු වන සිතුම් දෙස බලා සිටි ඇයගේ සිත නොදැනුවත්වම ගමන් කළේ ඔහුගේත් ඇයගේත් අතීතයටය.

නමින් දේශිත වන ඔහු සිදංගනා ගේ පෙම්බරා ය. පවුලේ එකම දරුවා වූ සිදංගනා උපතින්ම බොදුගොවි පරම්පරාවට උරුමකම් කීවා ය. ඇය තම යාබද ගමේ බලි තොවිල් ශාන්තිකර්ම කරන ධර්මසේන ගුරුන්නාන්සේ ගේ පුතා වූ දේශිත ගේ පෙම්බරිය වූයේ පාසල් වියේ සිටය. ඔවුන් දෙදෙනාගේ ආදරයට කන කොකා හඬලන්නේ සිදංගනා ගේ මව මේ පිළිබඳ දැන ගැනීමෙන් පසුවය.

සිදංගනා කුඩා කල ම තම පියා අහිමි වන අතර, තම මවගේ සෙවණෙහි ඇය හැදී වැඩේ. ඇයගේ මව කුල මාන්නයෙන් යුතු කාන්තාවකි. ඇයගේ දැඩි විරෝධය මත මොවුන් දෙදෙනාගේ ආදරය රහසේ ගලා ගිය ද තම මවගේ දූරදර්ශි උපායේ ප්‍රතිඵලයක් ලෙස සිදංගනාව සිතුම් නම් ව්‍යාපාරිකයකුට විවාහ කිරීමට මවගේ යෝජනාව විය. ඊට දැඩි ලෙස විරෝධය පෑ සිදංගනා දේශිත සමඟ හොර රහසේ පැන යෑමට සූදානම් කළාය. නමුදු දේශිත එයට අකමැති විය.

නොදැනුවත්වම අතීතයේ නිමග්නව සිටි ඇය පියවි සිහිය ලද්දේ තේනුකගේ ස්පර්ශයෙන්ය. එසේ දෙදිනකට පසු ව ඇය තම මවගේ නිවෙසට පැමිණියේ තම පුංචි පුතු සමඟය. දින සති මාස ගෙවමින් පුංචි පුතුට දෙමසක් සපිරුණි.

වටපිට ඇසෙන ශබ්දවලට ඇස් කරකව කරකව බලන පුංචි පුතු දෙස බලමින් සිටි සිදංගනාට මව පැවසූ දෙයින් සිදංගනා ගේ හද පාර වන අතීතය ඇයට සිහිවිය.

"උඹට පින් මගේ කෙල්ලෙ. උඹ මට පොරොන්දු වුණ විදියටම සිතුම් පුතා එක්ක සතුටින් ඉන්න එක ගැන මට සතුටුයි. ඇරපු අතක් නෑ කොලු පැටියා සිතුම් පුතා වගේමයි."

එසේ පවසා ඇය කාමරයෙන් පිටව යන්නේ ඇගේ හිස අතගාමින්ය. අතේ සැපට නිදන පුතුව යහන මත තැබූ ඇය ඇද වීයලට හේත්තු වූවාය. සිදංගනා ගේ නෙතට කඳුළක් උනන්නේ තම මව පැවසූ පොරොන්දුව නමැති වචනය පිළිබඳ සිහි කරමිනි. ඇයට එම මොහොතේ සිහි වූයේ දෙසිතක් පාරවමින් ඇය ඔහුගෙන් වෙන් වූ මොහොතේ ඇය විසින් ඔහුට දුන් පොරොන්දුවයි.

මවගේ අකමැත්තෙන් ඇය විවාහ කර ගැනීමට දේශිත අකමැති වූ පසු ඇය මව ගේ කීම අසා සිතුම් ගේ පතිනිය විලසින්, බිරියක් සතු සියලු වගකීම් ඉටු කළාය. නමුදු තේනුක පියකු කරමින් කිරි සිහිනය සැබෑ කිරීමට අපොහොසත් වූවාය. විවාහයෙන් මුල් වසර තුළ දරුවකු වැදීමට ඇති බිය පවසා ඇය උපත් පාලන පෙති භාවිත කළ අතර, දෙවසරක් සපිරුන ද ඇයට දරුවකු නොලැබීම හේතුවෙන් ඇය සියලු දෙනාගේ දෝෂාරෝපණයට ලක් වෙමින් වඳ ගැහැනියක් බවට පත් වූ අතර තම මව එය දරාගත නොහැකිව තම ගමෙහි වූ ධර්මසේන ගුරුන්නාන්සේගේ පිහිට පතමින් කන්දෙ දේවාලයට පැමිණියාය. නැකත් කුලය පහත් යයි පවසා සිටි ඇයට අවසානයේදී ඔවුන්ගේ පිහිට පැතීමට සිදු විය. ගුරුන්නාන්සේගේ උපදෙස් පරිදි දරුවන් නැති කාන්තාවන් උදෙසා කරනු ලබන ශාන්තිකර්මයක් සිදු කිරීමට කටයුතු සූදානම් කෙරිණි.

සිදංගනා ශාන්තිකර්මයට පෙරදින අවශ්‍ය සියලු බඩු බාහිරාදිය රැගෙන දේවාල භූමියට පැමිණි අතර, දේවාලයෙහි කිසිවකු නැති විය.

එකවරම ඇදහැළුණු නා කපන වර්ෂාව හේතුවෙන් ඒ අසල ඇති නිවෙස වෙත ගිය ඇයට එහිදී දක්නට ලැබුණේ දෙවසරකින් නෙත නොගැටුණු කපු මහතාගේ පුත් වන ඇයගේ කුළුදුල් ප්‍රේමවන්තයා වූ දේශිතයි. ඔහුගේ අවසරයෙන් ඇය නිවෙස තුළට ඇතුළු වූ අතර, ඔවුන් දෙදෙනා පමණක් කිසිවකු නැති නිවෙසෙහි හුඳෙකලා වූහ. එතෙක් කල් හිරකරගෙන සිටි සියලු හැඟීම්වල දොරගුළු විවර වූයේ දෙදෙනාගේම සිත් තුළ ඔවුනොවුන් නමින් තිබූ ආලය නැවත දලුලමිනි.

වැටෙන්නට පොර බදන කඳුළු බිංදු අතුරින් දේශිතට තුරුලු වූ ඇයව, ඔහු රැගෙන ගියේ ඔහුගේ කාමරය වෙතටය. ඇයගේ නළලෙන් පටන්ගත් සිප ගැනීම් ගෙල ඔස්සේ යමින් ඇයගේ කැමැත්ත පරිදි සිදංගනා සිතින් මෙන්ම ගතින්ද දේශිතගේ විය. අනුරාගී හෝරාවකින් පසුව ඇය ඔහුගෙන් මිදී තම නිවෙස වෙත ගිය අතර, පසු දින සූදානම් කරගත් පරිදි ශාන්තිකර්මය සිදු කෙරිණි. කාලයාගේ ඇවෑමෙන් සියලු දෙනාගේ බලාපොරොත්තු මල්ඵල දරමින් ශාන්තිකර්මයෙන් පසුව ඇයට මව් පදවිය උරුම විය.

කුල මල භේද හමුවේ තමාට පණමෙන් ආදරය කළ දේශිත ගෙන් වෙන් වීමට සිදු වූ මොහොතේ ඇය දේශිත ගේ පපුවට තුරුලුව, ඔහුට දුන් පොරොන්දුව ඇයට අද මෙන් මතකය.

"හරි සුදු මහත්තයෝ මං ඔයාට පොරොන්දු වෙනවා කවදා හරි මගේ කුසෙන් මේ ලෝකේ එළිය දකින්න ඔයාගේ ලෙයින් හැදුනු කිරි කැටියෙක් විතරයි."

නොදැනුවත්වම අතීතයේ නිමග්නව සිටි ඇය එකවරම දකිනුයේ උළුවස්සට හේත්තු වී තමා දෙස බලා සිටිනු සිතුම්ය.

ඉමේෂා සෙව්වන්දි

නව අදහස දක්වන්න