හිමිදිරි පෙදෙස | දිනමිණ

හිමිදිරි පෙදෙස

 

උඹ දැක්කා ද රත්නේ

 

කිනිති අග පිනි කවුළුවේ හිතට

සීතලක් එක්ක කවුද ඉස්සේ

සඳත් අඳුරෙ වලාකුළු එක්කම

අමුතු අහසක් කවුද ඇන්දේ

 

කවුරුන් හෝ ඈත ඉකිබිඳින හඬ

මයෙ හිතේ එපිටහා ලන්දේ

වැස්සටම තටු තෙමුණ ලිහිණියක්

ගිමන් හරිනවාද අර පේන කන්දේ

 

සුසුර කෙරුවම ගුවන් විදුලිය

හිතේ පැත්තක් කොනිති ගැහුවේ

කලු කාසිවලට බහ දී පිටවුණ

කින්නරි ඇයි තාම ආවේ නැත්තේ

 

හංසයා කියු තරම් ලස්සන ද

හසුන් එතෙනවද නලගෙ පපුවේ

හංස ගුණ වැයුමම මුසාවක් ද

ඇයි දමයන්ති නලට කැමති නැත්තේ

 

නින්ද නැති රැයක් මැද්දට රහසින්

ගී ගැයුව කොවුලෙක්ය කපුගේ

බියගුලුව සැරපරුෂ හුළඟක් ඇයිද

ගස්දෙකක් මැද්දෙන් හයියෙන්ම දිව්වේ

 

පොඩි එවුන් එක්ක නුඹේ සතුටම

ලෑලී අස්සෙන් මාත් අදමයි දැක්කේ

රෑට කාලා දුමක් දාගෙන ලයිට් නිවුවම

නිදි නැති ඇස් දෙකක් දැක්කාද රත්නේ

 

නදූෂ මදුරංග

ගෑනු කුලක...

 

මුඩුක්කු දොර අහුමුලුවල

ලෑලි පියන් විනිවිද දෙන

හිනා හලන ගෑනු රූප

දැලි පාටින් හංගාගෙන

අග හිඟ චක්කරේ

උන්ගෙ ඉරණම්

තටු කඩා කඩා අරන

 

සින්ඩරෙල්ලා, බාබි ඩෝල්

කතාවලින් උදුරාගෙන

සේද දුහුල් සළු අඳිනව

තරුණ එවුන් රෑට රෑට

වටයක් කැරකිලා එන්න

එළිපත්තට බහිද්දින්ම

මුනින් නැවෙන ඉඳුල් කොරහෙ

රස දැන් හුරුවෙලා දිවට

 

පුයර උනා කම්බුල්වල

අඳින ඩිස්කො ගවුම්වලට

වෙනසක් නෑ කොයි ගෑනිත්

එකම කුලකෙ වාගෙ පේන

දෙකට කඩා රිදී හැන්ද

ඉහ මුදුනේ හංගාගෙන

කණ්ණාඩිය ළඟඳි ඇසිලි

පරදින්නෑ මැඩම් නමට

 

අමාදි සංජනා දසනායක

 

පැල්පතේ කැකුළු මල්

 

වැලි කැට පුපුරන කතරෙත්

පතොක් මල් පිපෙනවා ඇතී

මිරිවැඩි සඟලක් අහිමි දෙපා

කටු කොහොලට රිදුම් දෙන්නැතී

 

ඉරෙන ඉගිලෙන මොනර කොළයක

නුබේ ඉරණම කුරුටු ගා උන්

එකම පංතිය ඇතුලේ තව තව

පංති හැදුවෙත් අපේ එවුන්

 

මඩ ගොහොරුවේ මුල් කිඳා බැස්සට

මඩ නොගෑවී පියුම පිපුනේ

ඔහේ තැම්බෙන හොද්දට වඩා

හැමෝම හැඳි ගෑ හොද්දකයි

පදම රසටම තිබුනේ

 

ධනුෂ් මහනුවර

 

අම්මා

 

පුංචි ම දේ ගැනත් මහ හුඟක් හිතුවා

ඇස් දෙකේ තියාගෙන පණ වගේ රැක්කා

හීනෙනුත් මං නිසා නෙත් කඳුළු වැස්සා

සෙනෙහස නිසා ඈ බඩගින්න පවා වික්කා

 

හෙළන හැම හුස්මකම දරු සෙනේ රන්දා

උකුළ මත තවුතිසා සුර ලෝකෙ මැව්වා

දුක් කඳුළු හැමවිටම සිනහවෙන් හංගා

දරුවො හැර නිවනක් සොයන් නෑ අම්මා

 

බුද්ධි හිමි

 

සඳලංකාව

 

ගොම්මන් අඳුර සීතල පිනි සිසිලසට

පරයා යන්න ගිනි මැලයේ උණුසුමට

නිල් තණ අගට මෘදු පිණි දිය තැවරුමට

මත් වේ සිතම දෙතොලේ සැනසුණු දියට

 

නෙක නෙක රටා මවමින් දෑඟිලි විසිරී

තැන තැන පහුරු ගාමින් සිත ගත ඇවිළී

පැන පැන බොමින් රස මීවිත ඉන් ඉහිරී

සුර රස ලොවක සිතුවිල්ලක ඔබ නැවතී

 

හැන්දෑ අහස කළු කරගෙන ආ වැස්ස

දිය රැලි තව තවත් පහළට පතිත කළ

නොනැවති නැවති ඉහළ පහළ යන සසර

අන්තිම බිඳුව හෙළා නිසසල වුණි අහස

 

රුවින්ද තාරක

 

ප්‍රේමයද මේ

 

පූදින්න කලින් මල්පෙති තැලී විසිරුණා

රතු රෝස යායටම නටුවෙ කටු විස උනා

ඇතිරිල්ල පෙගි පෙගී කඳුළින්ම සේදුනා

සුදු ගවුමෙ රැලි කැඩී කුස හෙමින් පීදුනා

 

උයන් තෙර පිපි මලක් පර නොවී වැනසුනා

පාළු වන ලැහැබ මැද පිපී ඔහෙ මැලවුනා

මීවිතට වසඟ හිත මත් තුඩගෙ දැවටුනා

බඹරින්දු රොන් රැගෙන තාලයට හිනැහුනා

 

කෙලිලොල්ව දුව පැනපු සොඳුරු වත වැහැරුනා

අවලාද අපවාද සැඩ පහරෙ නැහැවුනා

බඹරින්ද පෝරුවේ සත් දිනක් පේ උනා

රැවටිච්ච හදවතක් පණ පිටින් මියැදුනා

 

මල අතැර වන ලැහැබ කොහේදෝ සැඟවුණා

හිත් ගින්න කුසගින්න පපු ගැබේ ඇවිළුනා

දරු සෙනෙහෙ ළය ගැටී කිරි සුවඳ ඉහිරුනා

තටු සිඳුන කිරිල්ලක ගං ඉවුරෙ පා උනා

 

නුවන්ති හංසිනී උත්පලා

 

මකුළු දැල් ගෙයි බැඳෙනවා

 

උඹෙ ලොකුකම් බල බලා

මස එකට දෙක තුන එක් වෙලා

පොඩි එකීටත් වයස දැන්නම්

පිරුන තුන් අවුරුද්දක් උනා

 

උයා පිහාගෙන ඉන්නවා

මට මෙහෙම හොඳ යැයි කියනවා

නෝනෙ උඹ දැන දැනම හෙමිහින්

මකුළු දැල් ගෙයි බැඳෙනවා

 

වැදුම් ලෑවෙත් තුනක් විතරයි

උඹම වයසයි හිතනවා

නාකි වෙන්නෙම තරහ අරගෙන

උඹ හෙමින් මඟහරිනවා

 

යසයි කලටම ගෙනත් දෙනවනෙ

මාත් හම්බම කරනවා

තෙහෙට්ටුවටම ටිකක් ඇලවෙනු

හිතනු බෑ වැඩ තියෙනවා

 

පොඩ්ඩි තනියෙන් නිදනවා

තවත් රැයකුත් ගෙවෙනවා

 

ලහිරු සම්පත්

 

 

නව අදහස දක්වන්න