MANULI ගේ සිත්තම්නොවූගෙත්තම් | දිනමිණ

MANULI ගේ සිත්තම්නොවූගෙත්තම්

අපි හැමෝටම කාගෙන් හරි තෑග්ගක් ලැබෙනවා කියන්නේ

ඒ තෑග්ග තමන්ට හොඳ වුණත් නරක වුණත් ඒ තෑග්ග ලැබීමම හිතට සතුට ගෙනදෙන කාරණයක්. යහළුවෙකුට, ආදරය කරන හෝ හිතට ගොඩාක් සමීප කෙනෙකුට ජීවිතයේ කොයිම හෝ අවස්ථාවක අපිට තෑග්ගක් දෙන්නට සිදු වෙනවා සේම විවිධ අවස්ථාවලදී අපිටත් විවිධ වර්ගයේ තෑගී ලැබී තියෙනවා.ඉතින් ආදරණීයයන් වෙනුවෙන් වෙනස් විදිහක ලස්සන ගෙතුම් නිර්මාණ හදුන්වා දෙන පුංචි දගකාරියක් ගැනයි මේ සටහන.

 

ඇය නමින් මනුලි උදාශිනි. රත්නපුර පදිංචි ඇය අධ්‍යාපනය ලැබුවේ පාතකඩ නවෝද්‍යා විද්‍යාලයෙන් සහ රත්නපුර ෆර්ගසන් උසස් බාලිකා විද්‍යාලයෙන්. පුංචි කාලේම කලාවත් එක්ක ජීවත් වූ ඇයගේ බලාපොරොත්තුව වුණේ වෙනත් පුද්ගලයකු යටතේ යම්කිසි ආයතනයක රැකියාවක් කිරීම වෙනුවට තමන්ගේ හැකියාවෙන් තමන් කැමති ක්ෂේත්‍රයක් ඔස්සේ ව්‍යාපාරයක් ආරම්භ කිරීම. ඒ අනුව පසුගිය කොරෝනා වසංගත තත්ත්වය හමුවේ ලැබුණු නිදහස් කාලය ඇයගේ බලාපොරොත්තුව වෙනුවෙන් මංපෙත් විවර කරන්නට වූවා.

මුල් කාලයේදී හිතේ තිබුණු ආසාව මත නිර්මාණය කරන ලද ගෙතුම් නිර්මාණ වෙනුවෙන් යහළු මිත්‍රාදීන්ගෙන් ලැබුණු ප්‍රතිචාරත් සමඟ පසුව නිර්මාණ සිදු කිරීම කුඩා ව්‍යාපාර අවස්ථාවක් ලෙසින් ආරම්භ කරන්නට වූ බව මතක් කළා. මේ වන විට ලංකාවේ බොහොමයක් තරුණ පරම්පරාව ඉතාමත් ඕනෑකමින් එම්බ්‍රොයිඩර් නිර්මාණ වැලඳගැනීම මත ඇයගේ නිර්මාණ වෙනුවෙනුත් මේ වන විට දැඩි ඉල්ලුමක් පවතින බව පැවසුවා. එක් නිර්මාණයක් වෙනුවෙන් දින දෙකක විතර කාලයක් වැය වන අතර ඇය විසින් නිර්මාණ කටයුතු සඳහා අවශ්‍ය කරන භාණ්ඩ මිලදී ගන්නේ කොළඹ කොටුව වෙ‍ෙළඳ ප්‍රදේශයෙන්. නමුත් සංචරණ සීමා පැනවීමත් සමඟ රත්නපුර ප්‍රදේශයෙන් අවශ්‍යය භාණ්ඩ මිලදී ගැනීමට සිදු වීම මත පෙරට වඩා වැඩි මුදලක් අමුද්‍රව්‍ය වෙනුවෙන් යෙදවීමට සිදු වන බවත් අවශ්‍ය කරන භාණ්ඩ නොමැති වීමත් නිර්මාණ කටයුතු වෙනුවෙන් ලොකු අභියෝගයක් බව පැවසුවා. එම්බ්‍රොයිඩර් නිර්මාණවලට අමතරව කාන්තාවන් හැඩගන්වන කරාබු ඇතුළු විවිධ ආභරණත් මනුලිගේ නිර්මාණ අතර පවතිනවා.

මීට අමතරව මනුලි කියන්නේ උපතින්ම සංගීතයත් සමඟ ජීවත්වන කෙනෙක්. ඇයගේ මව පාසල් සංගීත ගුරුවරියක් වන අතර ඒ ආභාසය මතම ගීත ගායනයට හා වාදනයට හැකියාවන් පවතින බව මතක් කළා. ඒ වගේම ඇය මේ වන විට භාත්ඛණ්ඩයේ සංගීත විශාරද විභාගය දක්වාත් හැදෑරීම් සිදු කර ඇති බව පැවසුවා. නිර්මාණත් එක්ක ගෙවන ජීවිතේ ඇයගේ සොඳුරුතම මතකයන් වුණේ නිර්මාණ වෙනුවෙන් ලැබෙන ප්‍රතිචාර හා ලැබෙමින් පවතින ඉල්ලුම. එහිදී ලබන තෘප්තියෙන් ඇයගේ ජීවිතය නව මාවතක් ඔස්සේ වර්ණවත් වූ බව මතක් කළේ ඉතාමත් සතුටින්.

මෙවැනි නිර්මාණ ඕනෑතරම් පිටරටවලින් ගෙන්වා ගැනීමට අවකාශය පැවතියත් මනුලිගේ අනාගත බලාපොරොත්තුව වුණේ පුංචියට පටන්ගත්තු ව්‍යාපාරය තවත් වැඩි දියුණු කරගනිමින් ඇයගේම කියලා Crafting Shop එකක් ආරම්භ කිරීම හා පිටරටින් භාණ්ඩ ගෙන්වා ගැනීම වෙනුවට මෙවැනි නිර්මාණ අප රට හමුවේ ඉදිරිපත් කර දේශීය නිර්මාණවලට මුල්තැන දෙන සමාජයක් ගොඩනැඟීමට සහයෝගය දීම. මීට අමතරව සංගීත ක්ෂේත්‍රය තුළින්ද ඉදිරියේදී වෙනස් දෙයක් කරන්නටත් බලාපොරොත්තුවෙන් සිටින බව ද මතක් කළා. මේ දක්වා ඇයගේ ගමන තුළ ශක්තියක් වූ පිරිස ලෙස අම්මා, අයියා ඇතුළු පවුලේ සියලුම දෙනාවත්,නිතරම ඇයව දිරිමත් කරන මිතුරියන් ඇතුළුව වචනයකින් හරි සහයෝගය දෙන සියලුම දෙනාවත් ඉතාමත් ආදරයෙන් මතක් කරන්නට ඇය අමතක කළේ නෑ. අවසාන වශයෙන් ඇයගේ අත්දැකීම් තුළින් තරුණ තරුණියන් වෙනුවෙන් ඇය කීවේ මුළු රටටම, ලෝකයටම බලපා ඇති මෙම කොරෝනා වසංගතය හමුවේ නිවසට වී සිරවී සිටිනවා යැයි හෝ සියලුම කටයුතු අසාර්ථක වී ඇතැයි නොසිතා ඔබ දස්කම්පාන කුමන හෝ ක්ෂේත්‍රයකින් ඉදිරියට යාමට කොරෝනා වසංගතයත් ජීවිතේට ආශිර්වාදයක් කරගනිමින් කටයුතු කරන්නට උත්සාහ කළ යුතු බවයි.

 

 කවී විජේසූරිය

නව අදහස දක්වන්න