ඉන්දියාවේ දෑවැදි ගැටලුව සහ මරණීය වන්දි | දිනමිණ

ඉන්දියාවේ දෑවැදි ගැටලුව සහ මරණීය වන්දි

මංජුලා විජයරත්න

විවාහ වී සිය සැමියාගේ නි‍ෙවසේ පදිංචියට පැමිණි කාජල්ගේ මෘත දේහයේ කොටස් බිහාර් ප්‍රාන්තයේ නාලන්දා දිස්ත්‍රික්කයේ හිල්සා පොලිස් ස්ථානයේ නිලධාරීහු පසුගිය දා සොයා ගත්හ. නෝනියා බිඝා ගම්මානයේ පදිංචිකාරියක වූ කාජල් මිය යන විට ගැබිනියකව සිටියා ය. ඇයගේ මෘත දේහය සොයා ගනු ලැබුවේ නෝනියා බිඝා ගම්මානය ආසන්නයේ වළ දමා තිබියදීය. කාජල්ගේ මෘත දේහය මිහිදන් කර තිබුණේ ඇය මිය ගිය බවවත් ඇගේ ඥාතීන්ට නොදන්වමිනි. දින කිහිපයක් තිස්සේ කාජල් ඇගේ මව්පියන්ට දුරකතන ඇමතුමක් නොදුන් නිසා මව්පියන් කළ සොයා බැලීම්වලදී කාජල් මිය ගොස් ඇති බව අනාවරණය විණ. කාජල්ගේ මරණය, පෙට්‍රල් දමා පිලිස්සීමෙන් සිදු වූවක් බව මෘත දේහයේ කොටස්වලින් තහවුරු කෙරිණ. මරණකාරියගේ පියා සහ ඥාතීන් කියා සිටින්නේ කාජල්ගේ සැමියා සහ සැමියාගේ පාර්ශ්වයේ උදවිය ඇය ඝාතනය කර ඇති බවයි. කාජල් ඝාතනය කිරීමට හේතුව දෑවැද්ද දීම සම්බන්ධයෙන් ඇති වූ ගැටලුවක් බවත් ඔවුහු පෙන්වා දෙති. කාජල්ගේ පියා අර්වින්ද් සිං පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කරමින් සඳහන් කරන්නේ කාජල්ගේ සැමියා වන සංජිත් කුමාර් සහ තවත් පස් දෙනකු තම දියණියගේ මරණය සිදු කළේ යැයි තමන්ට සැක බවය.

ඉන්දීය දුම්රිය සේවයේ 'ඩී' කණ්ඩායමේ සේවකයකු වන සංජිත් සිං, කාජල් සමඟ විවාහ වී තිබෙන්ණේ පසුගිය වසරේ ජුනි මස 27 වැනිදාය. විවාහයෙන් මාස කිහිපයක් ගෙවෙන විට සංජිත් කුමාර්ට රැකියාවෙන් උසස්වීමක් ලැබී තිබේ. ඒ සමඟම ඔහු සිය බිරිඳගේ පාර්ශ්වයෙන් ඉන්දීය රුපියල් ලක්ෂ හතරක දෑවැද්දක් ඉල්ලා සිට ඇත. අර්වින්ද් සිං සඳහන් කරන්නේ පසුගිය පෙබරවාරි මාසයේදී එම මුදලෙන් රුපියල් 80 000ක මුදලක් සංජිත් කුමාර්ට දීමට තමන් කටයුතු කළ බවයි. සංජිත් කුමාර් සහ ඔහුගේ ඥාතීන් කිහිප දෙනකු කාජල්ගේ ඝාතනය සම්බන්ධයෙන් සැක යැයි චෝදනා එල්ල වී තිබුණ ද ඔවුන් කිසිවකු අත්අඩංගුවට ගන්නට පොලිසිය එතරම් උනන්දුවක් දැක්වූ බවක් ද වාර්තා නොවෙයි.

ජීවත් වීමේ අයිතිය

දෑවැද්ද, මේ සියවසේදීත් ලොව ඇතැම් රටවල ගැහැනුන්ගේ ජීවත් වීමේ අයිතිය උදුරා ගන්නා තීරණාත්මක සාධකය බවට පත්ව තිබේ. එසේ නොවන්නට කාජල් වැනි අහිංසක යුවතියන් ඝාතනයට ලක් නොවනු ඇත. දෑවැද්ද සම්බන්ධයෙන් මේ ලෝකයේ සිදු වූ එකම සහ අවසාන ඝාතනය, කාජල්ගේ ඝාතනය නොවේ. වසරක් පාසා දහස් සංඛ්‍යාත කාජල්ලා දෑවැද්ද මුල් කරගෙන ඝාතනයන්ට ලක් වීම කෙසේවත් අනුමත නොකළ හැකි ම්ලේච්ඡ තත්ත්වයකි.

විවාහයකදී දෑවැදි දෙන්නේ මනාලියගේ පාර්ශ්වයයි. එලෙස දෙන දෑවැද්ද ගන්නේ මනාලයා සහ මනාලයාගේ මව්පියන්ය. සාමාන්‍ය එය වූවත් විවාහයකදී මනාලයාගේ පාර්ශ්වය මනාලියගේ පාර්ශ්වයට 'මිල ගෙවීමක්' කරන අවස්ථා ද ඇතැම් සමාජයන්හි දක්නට පුළුවන. එහෙත් ලොව වඩාත් ම්ලේච්ඡ සහ නින්දා සහගත ලෙස ක්‍රියාත්මක වන්නේ මනාලයා මනාලියට කරන එම මිල ගෙවීම නොව මනාලිය මනාලයාට දෙන දෑවැද්දයි.

දෑවැද්ද පිළිබඳ සංකල්පය ලොව ඇති වූයේ කවදා කොතැනදී ද යන්න පැහැදිලි කිරීමට නිශ්චිත සාක්ෂි නැත. එසේ වූවත් බැබිලෝනියා ශිෂ්ටාචාරයේ පවා දෑවැදි දීමේ සම්ප්‍රදායක් ක්‍රියාත්මක වූ බව තහවුරුව තිබේ. බැබිලෝනියාවේ ක්‍රියාත්මක වූ දෑවැද්ද දීමේ සම්ප්‍රදාය පිළිබඳ තොරතුරු ක්‍රි.පූ 1755-1750 අතර කාලයේදී ලියා තබන ලද හමුරාබිගේ නීතිවලින් ද විස්තර කෙරෙයි. එයින් සනාථ වන්නේ එකී කාල පරිච්ඡේදය වන විටත් දෑවැදි දීම සමාජයේ මුල් බැසගෙන තිබුණු බවකි. මේ හැරුණු විට පුරාණ ග්‍රීක සමාජයේත්, රෝම අධිර­ාජ්‍යයේත් දායාදය දීම ක්‍රියාත්මකව පැවැති බවට සාක්ෂි ඇත. විවාහයකදී මානාලිය, මනාලයාට දෑවැදි දීම වර්තමානයේදී වඩාත් කැපී පෙනෙන්නේ ආසියාතික, උතුරු අප්‍රිකා සහ බෝල්කන් රාජ්‍යවල ය. මේ අන්දමට දෑවැදි දීම ලොව ඉතා ඉපැ‍රැණි සම්ප්‍රදායක් ලෙස සැලකෙයි. මේ ඉපැ‍රැණි සම්ප්‍රදාය මුල් කරගත් ගැටලු එදා සිට අද දක්වාම පැවැතගෙන එයි. මනාලියගේ දෑවැද්ද මුල් කරගෙන කලින් කලට, රටින් රටට, සමාජයෙන් සමාජයට ඇතිවන ගැටලුවල ස්වරූපය වෙනස් වුවත් ඒ කොතැනත් අවසානයේ සිදු වූයේ කාන්තාවන් හිංසනයට හෝ ඝාතනයට හෝ ලක් වීමය. එහිලා අපට අසල්වැසි භාරතයේ තත්ත්වය බෙහෙවින්ම කනගාටුදායක බව කියන්නට කාජල්ගේ සිදුවීම වුව සෑහෙයි.

කුල ක්‍රමය

දෑවැදී දීම ලොව ඕනෑම අනෙක් සමාජයක ආරම්භ වූ ආකාරයක් ගැන සඳහනක් නැතිවා සේම එය ඉන්දියාවේ ආරම්භ වූයේත් කවදා කෙසේදැයි කිව නොහැකිය. කෙසේ වුවත් මනාලිය දායාද දීමේ සම්ප්‍රදායට වඩා 'මනාලි මිල' ගෙවීමේ ක්‍රමය පුරාණ ඉන්දියාවේ පැවැති බව විද්වතුන්ගේ අදහසයි. ජර්මන්-ඇමෙරිකා දාර්ශනිකයකු වන මයිකල් විට්සෙල් සඳහන් කරන්නේ දායාද දීමේ ක්‍රමයක්, වේද යුගයේදී කැපී පෙනෙන ලෙස ප්‍රකටව පැවති බවට ලිඛිත සාක්ෂි නොමැති බවකි. ඒ වෙනුවට එහි දක්නට ලැබී තිබෙන්නේ 'මනාලි මිල' ගෙවීමේ ක්‍රමයයි. එකල කාන්තාවක දෑවැද්ද දී දීගයක ගියේ ඈ ශාරීරික වශයෙන් කිසියම් අඩුපාඩුවකින් පීඩා වින්දේ නම් පමණි. ක්‍රි.පූ. 200ත් ක්‍රි.ව. 700ත් අතර කාලයේදී ඉන්දීය කාන්තාවන්ගේ දේපළ අයිතිය වැඩි වී ඇත. මේ අතර, 'මනාලි මිල' ගෙවීමට නොහැකි තරුණයන් විශාල පිරිසක් භාරතීය සමාජයේ ඇති වෙමින් සිටි බව ලේඛනවල සඳහන්ව ඇත. දුප්පත් තරුණයන්ට විවාහ වීම මේ නිසා ගැටලුවක් වී තිබුණු බව ද දැක්වේ. මේ තත්ත්වය වෙනස් වී මනාලියගෙන් දායාද ගැනීම ආරම්භ වූ ආකාරය පැහැදිලි නැත. එසේ වුවත් ඉන්දීය සමාජයේ එදා සිටම තිබුණු ආර්ථික සහ සමාජ හේතු මෙන්ම ආගමික හේතුත් ඒ සඳහා විශාල බලපෑමක් කළ බව නම් පැහැදිලි ය. ඉන්දියාවේ දෑවැදි දීම වඩාත් අර්බුදකාරී මට්ටමකට ළඟා වූයේ එය කුල ක්‍රමයත් සමඟ බද්ධ වීම හේතුවෙනි.

දෑවැද්ද ප්‍රමාණවත් නොවීම හෝ දෑවැද්දක් නොදී විවාහ වීම වැනි කාරණා මුල් කරගෙන ඉන්දීය කාන්තාවන්ට නොයෙක් හිංසනයන්ට මුහුණ දෙන්නට සිදුව තිබේ. ඇයව කායික සහ මානසික වශයෙන් තලා පෙළා දැමීම මෙන්ම ඝාතනය කිරීමත්, ඇය සිය දිවි නසා ගන්නා තත්ත්වයට පැමිණවීමත් සුලබය (එවැනි තත්ත්වයන් පාකිස්තාන, බංග්ලාදේශ සහ ඉරාන සමාජයන්හි ද පවතින බව මෙහිදී සඳහන් කළ යුතුය.) දෑවැද්ද මඳ යැයි පවසමින් කාන්තාවන්ට ඇසිඩ් ප්‍රහාර එල්ල කිරීම, කාන්තාවන්ට ගිනි තැබීම, කාන්තා අංග ඡේදනය, දූෂණය කිරීම වැනි සාහසික ක්‍රියා පවා ඉන්දීය සමාජයේ සිදු වේ. මෙවැනි අපරාධ සිදු කරන්නේ සැමියා හෝ ඔහුගේ පාර්ශ්වයේ පිරිසය. දෑවැද්ද මුල් කරගත් ප්‍රශ්න හේතුවෙන් භාරතීය සමාජයේ සිදුවන දික්කසාද වීම් ද ඉහළ නැඟ තිබේ. දරිද්‍රතාවයෙන් පෙළෙන පවුල්වල මව්පියන්ට විශාල දෑවැද්දක් දී තම දියණියන් විවාහ කරදීම මේ නිසා ගැටලුවක් වී ඇත. අනෙක් අතට, සැමියා රැකියා ආදී කටයුතුවලින් උසස්වීමක් ලද හොත් හෝ ඔහුගේ ආදායම වැඩි වුව හොත් හෝ සිය බිරිය දුන් දෑවැද්ද ඔහුට මදි වේ. එවිට ඇගේ මවුපියන්ගෙන් තව තවත් මුදල් සහ වස්තුව ඉල්ලන්නට සැමියා නොපැකිළව ඉදිරිපත් වෙයි. දෑවැද්ද මුල් කරගත් මෙවැනි හේතු නිසාම ගැහැනු දරුවකු පවුලකට බරක් ලෙස සැලකීමට ඉන්දීය සමාජයේ පෙලඹුමක් ඇති වී තිබේ. එහි ප්‍රතිඵලයක් ලෙස ගැහැනු දරුවකු පිළිසිඳ ගැනීම පවා ව්‍යසනයක් හැටියට සැලකීමට ඉන්දීයයන් විශාල පිරිසක් හුරුව සිටිති. ගැහැනු ළමයින් බිලිඳු අවධියේදීම මරා දැමීම, පිළිසිඳගෙන තිබෙන්නේ ගැහැනු දරුවකු යැයි දැන ගත් විට කලලය ගබ්සා කිරීම වැනි ම්ලේච්ඡ ක්‍රියා අදටත් ඉන්දියාවේ සුලබ වී තිබෙන්නේ දෑවැදි ගැටලුවේම කොටසක් වශයෙනි.

නීතිමය ප්‍රතිපාදන

දෑවැද්ද මුල් කරගෙන ඇති වූ ගැටලු නිසා ඉන්දීය කාන්තාවන් විශාල සංඛ්‍යාවක් සෑම වසරකදීම අකාලයේ මිය යන බව තහවුරුව තිබේ. එසේ වුවත් ඒ සංඛ්‍යාව නිවැ‍රැදිවම කොපමණ ද යන්න වාර්තා නොවේ. වාර්තා වන සිද්ධිවලට අනුව 2010 වසරේදී එවැනි මරණ 8391කට ආසන්න සංඛ්‍යාවක් සිදුව ඇත. දෑවැද්ද හේතුවෙන් මෑත භාගයේදී වසරක් තුළ සිදු වුණු වැඩිම මරණ සංඛ්‍යාව වාර්තා වූයේ එම වසරේදී ය. ඒ අනුව කාන්තාවන් ලක්ෂයකට මරණ 1.4කට ආසන්න සංඛ්‍යාවක් සිදු වන බව පෙනී යයි. දෑවැදි ගැටලු මුල් කරගෙන 2011 වසරේදී කාන්තාවන් 8331ක් මරු දුටු බව ඉන්දීය ජාතික අපරාධ වාර්තා කාර්යාංශයේ වාර්තාවල සඳහන් වේ.

මේ සා කාන්තාවන් සංඛ්‍යාවක් දෑවැද්ද නිසා ඉන්දීය සමාජයේ මිය යන්නේ එකී අපරාධකාරී තත්ත්වය මර්දනය කිරීමට තරම් අවශ්‍ය නීතිමය ප්‍රතිපාදන පවා තිබියදීය. විවාහයකදී දෑවැදි ඉල්ලීම, මුදල් ඉල්ලීම හෝ දෑවැද්ද අනුමත කිරීම හෝ තහනම් බව දෑවැද්ද තහනම් කිරීම සම්බන්ධයෙන් 1961දී එරට රජය ගෙනෙන ලද පනතේ සඳහන් වේ. දායාදයක් යනු කවරක් ද යන්න එහි නිර්වචනය කර ඇත. විවාහයට පෙර පූර්ව කොන්දේසියක් ලෙස ඉල්ලා සිටින හෝ දෙනු ලබන ත්‍යාගයක් යනුවෙන් දෑවැද්ද එහි නිර්වචනය කර තිබේ. විවාහයකදී පූර්ව කොන්දේසියක් ලෙස සලකා නොදෙන ත්‍යාග මෙම පනතට අනුව දෑවැද්දක් වශයෙන් සලකනු නොලැබේ. එසේම එවැන්නක් නිත්‍යනුකූල ද වන්නේය. විවාහයකදී පූර්ව කොන්දේසියක් ලෙස දෑවැද්ද ඉල්ලා සිටීමේ වරද සිදු කළ අයවලුන් සඳහා පමුණුවනු ලබන දඬුවම ද එම පනතෙහි සඳහන් වේ. ඒ අනුව විවාහයකදී දෑවැදි ඉල්ලා සිටීම, මාස හයක සිර දඬුවමකට යටත් කළ හැකි හෝ ඇමෙරිකා ඩොලර් 70කට ආසන්න මුදලක් දඩයක් වශයෙන් අය කරගත හැකි හෝ වරදක් බව ද එමඟින් ප්‍රකාශ කෙරේ. ඉන්දීය කාන්තාව දෑවැදි හේතුවෙන් මැදි වන ගැටලුවලදී ඇයට, ඉන්දීය දණ්ඩ නීති සංග්‍රහයේ 498a මඟින් ද, ගෘහස්ත හිංසනවලින් කාන්තාවන් වැළ­ැක්වීම සම්බන්ධයෙන් වූ 2005හි පනත මඟින් ද රැකවරණය සැලසේ. එසේ වුවත් සංගෘහිත මෙම නීති සහ පනත් කාලයත් සමඟ වෙනස් නොවීම හේතුවෙන් ද ඒවායෙහි පවත්නා අඩුලුහුඬුකම් හේතුවෙන් ද අපේක්ෂා කරන තරමේ රැකවරණයක් ඉන්දීය කාන්තාවන්ට සැපයෙන්නේ නැති බව සමාජ ක්‍රියාකාරිකයෝ පවසති. 

ඉදිරි පරම්පරා

ඉන්දීය සමාජ ක්‍රියාකාරිකයන් දරන මේ මතය තහවුරු කෙරෙන අන්දමේ ප්‍රකාශයක් ලෝක බැංකුව ද පසුගිය දා සිදු කළේය. ලෝක බැංකුව එකී ප්‍රකාශය සිදු කළේ 1960 සිට 2008 දක්වා වූ කාල පරාසයේදී ඉන්දියාවේ කෙරුණු විවාහ 40 00කට අධික සංඛ්‍යාවක තොරතුරු අධ්‍යයනය කිරීමෙන් අනතුරුවයි. ලෝක බැංකුව කියා සිටින්නේ කවර අන්දමේ නීති ක්‍රියාත්මක වුව ද දෑවැදි ඉල්ලීමේ සම්ප්‍රදාය ඉන්දීය සමාජයේ එදා මෙන්ම අදටත් ස්ථාවරව පවතින්නේ යැයි කියාය. එකී කාල පරාසය ඇතුළතදී සිදු කෙරුණු විවාහවලින් 95%කට ආසන්න ප්‍රමාණයක දෑවැද්ද දීම දක්නට ලැබුණු බව ද ලෝක බැංකුව සඳහන් කරයි. ඉන්දියාවේ සෑම ප්‍රාන්තයකම මෙන්ම සෑම ආගමික කණ්ඩායමක් අතරම අඩු වැඩි වශයෙන් මේ සම්ප්‍රදාය දක්නට ලැබෙන බව ද අනාවරණය වී ඇත.

සියවස් ගණනාවක් ඉපැ‍රැණි දෑවැදි සම්ප්‍රදාය දැන්වත් වෙනස් විය යුතුව ඇත. එසේ නොවුණ හොත් කාජල් මෙන් ඝාතනයට ලක් වන තරුණියන් ගණන තවදුරටත් වර්ධනය වන්නට ඉඩ තිබේ. එය මේ ඛේදවාචකය ඉදිරි පරම්පරාවලට උරුම කරන අභාග්‍යයක් මිස අන් කවරක් ද ?.

නව අදහස දක්වන්න