දේශපාලන යෝධයන් සමඟ හැප්පුණු සොඳුරු මිනිසා | දිනමිණ

දේශපාලන යෝධයන් සමඟ හැප්පුණු සොඳුරු මිනිසා

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු මහ ලේකම් දිවංගත ධර්මසිරි සේනානායක මහතාගේ 21 වැනි ගුණ සැමරුම අද (24) පෙ.ව. 9.00ට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති, හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් බොරැල්ල දේවි බාලිකා විදුහල අසල ඇති ධර්මසිරි සේනානායක මහතාගේ පිළිරුව අබියසදී පැවැත්වේ. මේ ලිපිය ඒ නිමිත්තෙනි.

ධර්මසිරි සේනානායක නම් කෘතහස්ත දේශපාලනඥයාට පත්තර කලාව සමඟ පැවැතියේ අත්හළ නොහැකි බැඳීමකි. එයට හේතු ගණනාවක් විය. ප්‍රධාන හේතුව වූයේ එවක (1947) ලංකාදීප පුවත්පතේ නියෝජ්‍ය කර්තෘවරයා වූයේ රත්න දේශප්‍රිය සේනානායක මහතා වීම. රත්න දේශප්‍රිය සේනානායක මහතා පසු කලෙක නියෝජ්‍ය ඇමැතිවරයෙක් විය. රත්න දේශප්‍රිය මහතාගේ බාල සොහොයුරා වූයේ ධර්මසිරි සේනානායක මහතාය.

ධර්මසිරි සේනානායක එවක පාසල් ශිෂ්‍යයෙකි. ඔහු එකල අධ්‍යාපනය හදාරමින් සිටියේ කොළඹ ආනන්ද විද්‍යාලයේය. ධර්මසිරි සේනානායක සිසුවා පාසල් නිල ඇඳුම පිටින් නිතර ලංකාදීප පත්තර කන්තෝරුවට පැමිණියේ සිය වැඩිමල් සොයුරු හමුවීම සඳහාය. එසේ එදා සිට ලංකාදීප පුවත්පතේ පළ කර ගැනීම සඳහා තමා ලියූ ලිපි රැගෙන ඒමට ද ඔහු අමතක නොකළේය. එකල ප්‍රකට පුවත්පත් කලාවේදීහු රැසක් ලංකාදීපයේ සේවය කළහ. ඔවුන්ගේ නොමඳ සහාය ධර්මසිරි සේනානායක නම් පාසල් සිසුවාට ලැබිණි. ඔවුන් ධර්මසිරි ඇමතුවේ පුංචි මල්ලි යන සුරතල් නාමයෙනි.

ඔහු සමඟ එකට අධ්‍යාපනය හදෑරු පාසල් මිතුරෝ තිදෙනෙකි. පසු කාලයේ ලංකාදීප පුවත්පතේ ප්‍රධාන කර්තෘ ධුර දරූ එස්. සුබසිංහ, එල්මෝ ගුණරත්න, ජෝර්ජ් ලෙස්ලි රණසිංහ මේ තිදෙනාය. ධර්මසිරි හා සිංහල ඉංග්‍රීසි, යන දෙබසින්ම ලිපි ලීවේය. ඒ අතර ඔහු තීරු ලිපියක් ද රචනා කර ඇත.

ධර්මසිරි සේනානායක දරුවන් හත්දෙනෙකුගෙන් යුත් පවුලක බාලම දරුවා විය. ඔහු උපත ලැබුවේ 1930 මැයි මස 30 වැනිදා මිනුවන්ගොඩදීය. පියා දොන් ඩේවිඩ් සේනානායකය. මව දෝනලයිසා අබේසිංහය. ඔහු පාසල් තුනකින් අධ්‍යාපනය හදාරා තිබිණි. යාගොඩමුල්ල ප්‍රාථමික විද්‍යාලය’ උඩුගම්පොළ විද්‍යාලය සහ කොළඹ ආනන්ද විද්‍යාලය එම පාසල්ය.

පාසල් අධ්‍යාපනයෙන් පසු වැඩිදුර අධ්‍යාපනය හැදෑරීම සඳහා ඔහු 1953 වසරේදී පේරාදෙණිය විශ්වවිද්‍යාලයට ඇතුළත්ව 1957 වසරේදී ආර්ථික විද්‍යා උපාධිය ලබාගත්තේය. ඔහුගේ පළමු රැකියාව වූයේ ආර්ථික විද්‍යාව පිළිබඳ කථිකාචාර්යවරයකු ලෙස විද්‍යෝදය විශ්වවිද්‍යාලයට එක්වීමයි. ඔහු නීති විද්‍යාලයට බැඳී අධිනීතිඥයෙක් බවට පත් විය.

එහෙත් ඔහුගේ චරිතය ගොඩනැඟෙන්නේ ප්‍රබල දේශපාලනඥයකු වශයෙනි. ධර්මසිරි සේනානායක මහතා දේශපාලන පන්නරය ලැබුවේ තම සොහොයුරාගේ දේශපාලන කටයුතුවලට සම්බන්ධ වීමෙනි. රත්න දේශප්‍රිය සේනානායක මහතා 1960 වසරේ පැවැති මහ මැතිවරණයට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරමින් දැදිගම ආසනයට තරග කළේය. ඒ එසේ මෙසේ පුද්ගලයකු සමඟ නොවේ, අගමැති ඩඩ්ලි සේනානායක මහතා සමඟය. එම මැතිවරණයෙන් දේශප්‍රිය මහතා පරාජයට පත්විය.

නැවත 1965 මාර්තු 22 පැවැති මහ මැතිවරණයට තරග වැදුණේ ද ඩඩ්ලි සේනානායක මහතා සමඟය. මේ අවස්ථා දෙකේදීම රත්න දේශප්‍රිය මහතා පරාජයට පත්විය. මේ අවස්ථාවල රත්න දේශප්‍රිය මහතාගේ ඡන්ද සටනේ බර සිය හිස මතට ගෙන කටයුතු කළේ සිය බාල සොයුරු වූ ධර්මසිරි සේනානායකය. එකල ඔහු තරුණයෙකි. මේ ඡන්ද ව්‍යාපාර නිසා ධර්මසිරි සේනානායක නම් තරුණයාට හසල අත්දැකීම් සම්භාරයක් ලබාගත හැකි විය.

1970 වසරේදී දැදිගම ආසනය නියෝජනය කිරීම සඳහා රත්න දේශප්‍රිය මහතා තම බාල සොයුරා වූ ධර්මසිරි සේනානායකයන්ට ඒ අවස්ථාව දුන්නේය. ධර්මසිරිගේ ප්‍රතිවාදියා වූයේ ඩඩ්ලි සේනානායක මහතාය. රත්න දේශප්‍රිය මින්නේරිය ආසනයට තරග කරමින් ජයගත්තේය. එවර මැතිවරණයෙන් ධර්මසිරි සේනානායක මහතා පරාජයට පත් වුවද ඔහු ලැබූ දේශපාලන පන්නරය අතිමහත්ය.

එවර ඔහු සංචාරක මණ්ඩලයේ සභාපති ධුරයට පත්කරනු ලැබීය. 1977 පැවැති මහ මැතිවරණයේදී ද ධර්මසිරි සේනානායක මහතා පරාජයට පත්විය.

1977න් පසු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට මෙන්ම එහි නායකත්වයට ද විවිධ අර්බුද මතුවිය. පක්ෂයත් එහි නායකත්වයත් අත් හැර නොගොස් සියල්ල රැක ගැනීමට ධර්මසිරි සේනානායක මහතා වෙහෙස විය.

1989 මහ මැතිවරණයෙන් ධර්මසිරි සේනානායක මහතා කෑගල්ල දිස්ත්‍රික් මන්ත්‍රීවරයා ලෙස ජයග්‍රහණය කරන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ අපේක්ෂක ලැයිස්තුවේ ප්‍රථම ස්ථානය දිනා ගනිමිනි. ඔහු මනාප ඡන්ද 24,517ක් ලබා ගත්තේය.

1993 වසරේදී ධර්මසිරි සේනානායක මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් ධුරයට පත්විය.

1993 වසර් අග භාගයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, ශ්‍රී ලංකා සම සමාජ පක්ෂය සහ කොමියුනිස්ට් පක්ෂය එකතු වී පොදු ජන එක්සත් පෙරමුණ නමින් නව දේශපාලන සන්ධානයක් ගොඩනැඟූ අතර, ධර්මසිරි සේනානායක මහතා එහි උප සභාපති ධුරයට පත්විය.

1994 වසරේදී දකුණු පළාත් සභා මැතිවරණය පවත්වන විට මාතර දිස්ත්‍රික්කයේ මැතිවරණ කටයුතු මෙහෙය වූයේ ධර්මසිරි සේනානායක මහතාය. ඒ වන විට එක්සත් ජාතික පක්ෂය වසර දාහතක් මෙරට පාලනය කරමින් සිටි කාලයයි.

1994 වසරේදී ජාතික ලැයස්තු මන්ත්‍රීවරයකු ලෙස තේරී පත්වන ධර්මසිරි සේනානායක මහතා, ජනමාධ්‍ය’ සංචාරක සහ ගුවන් සේවා ඇමැතිවරයා ලෙස කටයුතු කළේය. නැවත 1997 වසරේදී සංචාරක සහ සිවිල් ගුවන් සේවා ඇමැතිවරයා ලෙස ද කටයුතු කළේය. එහිදී මේ ක්ෂේත්‍රවල දියුණුවට විශාල සේවයක් කිරීමට ඔහුට හැකිවිය. මෙරට පෞද්ගලික නාලිකාවලට ප්‍රවෘත්ති විකාශය කිරීමේ නිදහස හිමිකර දුන්නේ ඔහු ජනමාධ්‍ය ඇමැති වූවාට පසුවය.

දේශීය සංචාරකයන් සඳහා රට පුරා නිවාඩු නිකේතන ආරම්භ කිරීමට මෙන්ම විදේශ සංචාරකයන් සඳහා හෝටල් වැඩි වශයෙන් ඉදිකිරීමට ද පියවර ගනු ලැබීය. ලෝක සංචාරක ව්‍යාපාරය වෙනුවෙන් කළ සේවය උදෙසා ධර්මසිරි සේනානායකයන්ට ජගත් සංචාරක සංගමයේ සභාපති ධුරය හිමිවිය. එය ලබාගත්තේ නිතරගයෙනි. ගුවන් සේවා ඇමැතිවරයා ලෙස කටුනායක අන්තර්ජාතික ගුවන් තොටුපොළට නව පර්යන්තයක් ඉදිකිරීමටද ඔහු මූලික විය.

මහත්මා දේශපාලනයක් කළ ධර්මසිරි සේනානායක මහතා කලා කටයුතුවලට දැක්වූයේ විශාල සැලකිල්ලකි. 1995 සිට 1999 දක්වා පැවැති සුමති සම්මාන උලෙළවල ප්‍රධාන ආරාධිතයා වූයේ ධර්මසිරි සේනානායක මහතාය.

ගාමිණී ෆොන්සේකා අධ්‍යක්ෂණය කළ ‘නොමියෙන මිනිසුන්’ චිත්‍රපටයේ චරිත තුනක් සඳහා දේශපාලනඥයන් තිදෙනකු තෝරාගෙන තිබිණි. ගාමිණී ෆොන්සේකා නියෝජ්‍ය කථානායකවරයා ලෙස සිටියදී ඔහුගේ සමීප මිතුරන් ලෙස සිටි මහින්ද රාජපක්ෂ, බුද්ධික කුරුකුලරත්න සහ ධර්මසිරි සේනානායක එම තිදෙනායි. ‘නොමියෙන මිනිසුන්’ චිත්‍රපටය 1994දී තිරගත විය.

කලාවට, සාහිත්‍යයට හිතැති මේ අපූරු දේශපාලනඥයා 2000 වසරේදී දැයෙන් සමුගත්තේය. සංචාරක මෙන්ම ජනමාධ්‍ය ක්ෂේත්‍රවලට ඔහු වැනි මහත්මා ගතිගුණවලින් හෙබි දේශපාලනඥයකු කළ සේවය අපගේ සිත් සතන්වලින් නොමැකී පවතිනු ඇත.

තිලංග සුමතිපාල 
ශ්‍රීලනිපයේ උප සභාපති 
හිටපු නියෝජ්‍ය කථානායක 
හිටපු රාජ්‍ය ඇමැති

නව අදහස දක්වන්න