තලේබාන්වරුන්ටත් නිවන්න බැරි ඇෆ්ගනිස්තානයේ ගිනි දැල් | දිනමිණ

තලේබාන්වරුන්ටත් නිවන්න බැරි ඇෆ්ගනිස්තානයේ ගිනි දැල්

ෆවුස් මොහොමඩ්
2000- ඇෆ්ගනිස්තාන කාන්තාවෝ තලෙයිබාන් නීතියට එරෙහිව නොනවතින අරගලයක.

ත‍ෙල්බාන් සංවිධානය ඇෆ්ගනිස්තානයේ නව රජයක් පිහිටුවීමත් සමඟ ආසියා කලාපයේ ත්‍රස්තවාදය ව්‍යාප්ත වීමට ඇති ඉඩකඩ පිළිබඳ එහි සෙසු රටවල් තක්සේරු කරමින් සිටී. නව රජයක් ස්ථාපිත කිරීමට පියවර ගනු ලැබුවත් තලේබාන් සංවිධානයට මෙතෙක් එරට බහුතර ජනතාවගේ ප්‍රසාදය හිමි නොවීමත්, මෙතෙක් ලොව කිසිදු රටක් නිල වශයෙන් තලෙයිබාන් රජය පිළිගෙන නොතිබීමත් ඇෆ්ගනිස්තානය අර්බුද රැසකට තල්ලුවෙමින් තිබේ.

විශේෂයෙන් අමෙරිකා හමුදා ඇෆ්ගනිස්තානයෙන් සිය හමුදා ඉවත් කරගැනීම පිළිබඳ දැඩි අප්‍රසාදය පළ කරන ලොව බොහෝ රටවල් දශක දෙකක් එරට රැඳී සිටියද මධ්‍යස්ථ හා ලිබරල්වාදී පසුබිමක් ස්ථාපිත කිරීමට අමෙරිකාව ඇතුළු බටහිර රටවල් අසමත්වීම මේ වනවිට මතවාදයට තුඩු දෙන කරුණක් වී ඇත. එමෙන්ම අමෙරිකාව සිය හමුදා ඇෆ්ගනිස්තානයෙන් ඉවත් කරගැනීම සිදු කළ ආකාරයත් මේ වනවිට ඇතැම් රටවල සැකයට තුඩුදෙන කරුණක් වී ඇත.

ත‍ෙල්බාන් සංවිධානය නව රජයේ බොහෝ තනතුරු සඳහා සිය සංවිධානයේ අන්තවාදී වැඩිහිටි සාමාජිකයන් පත් කිරීමත්, කාන්තාවන් අරභයා දැඩි අන්තවාදී පිළිවෙතක් අනුගමනය කිරීමත් හේතුවෙන් ලොව පුරා විවිධ රටවල පදිංචිව සිටින ඇෆ්ගනිස්තාන ජාතික කාන්තාවන් තලේබාන් සංවිධානයට එරෙහිව උද්ඝෝෂණ රැල්ලක් ආරම්භ කිරිම දක්වා වර්ධනය වී ඇත. ෂරියා නීතිය යටතේ ඇෆ්ගනිස්තාන කාන්තාවන්ට සමාජයේදී සහ රැකියා ස්ථානවලදී මෙන්ම පාසල් සිසුවියන්ට පන්ති කාමරවලදී හිජාබය පැලඳීමට තලෙයිබාන් සංවිධානය නියෝග කර තිබීම ඇෆ්ගනිස්තානයේ කාන්තා විරෝධ උත්සන්න වීමට හේතුවී තිබේ.

ලොව පුරා විවිධ රටවල සැඟවී සිටි අල් කයිඩා සහ අයිඑස් ත්‍රස්තවාදීන් ත‍ෙල්බාන් සංවිධානය ඇෆ්ගනිස්තානයේ බලය අත්කර ගැනීමෙන් පසු එරටට සේන්දු වීමේ ප්‍රවණතාවක් ද මතුවී ඇති බැවින් තලෙයිබාන් සංවිධානය කෙරෙහි අන්තර්ජාතික අප්‍රසාදය තව දුරටත් එලෙසින්ම පවතිනු ඇතැයි දේශපාලන නිරීක්ෂකයන්ගේ අදහස වී තිබේ. දැනටමත් අල් කයිඩා සංවිධානයේ බොහෝ සාමාජිකයන් කාබුල් නුවරට පැමිණ සිටින බව සීඅයිඒ බුද්ධි සේවය ඊයේ පෙරේදා අනාවරණය කර තිබිණි.

එවැනි පසුබිමක් තුළ ඇෆ්ගනිස්තානයේ ජන ජීවිත යළි නඟා සිටුවීමේ අභියෝගයට මුහුණ දෙමින් සිටින තලේබාන් සංවිධානයට ඉදිරියේදී එරට මතුවනු ඇතැයි අනාවැකි පළවී ඇති දැඩි ආහාර අර්බුදයට විසඳුම් සෙවීමට ද සිදුවී තිබේ. මේ වනවිට දැඩි ආර්ථික අර්බුදයකට මුහුණ පා සිටින එරට ජනතාව අන්තර්ජාතික අරමුදල් කප්පාදුව හේතුවෙන් සිය දේපල විකුණා දැමීමට පවා උත්සුක වී ඇත. කාබුල් නුවර අවට වීදි පුරා පදික වේදිකාවේ තැනින් තැන තම ගෘහභාණ්ඩ අලෙවියට තබා සිටින ඇෆ්ගනිස්තාන ජනතාව එම ගෘහභාණ්ඩ අලෙවි කර මුදල් උපයා ගැනීමට පියවර ගෙන තිබීමෙන් එරට ආර්ථික අර්බුදයේ බරපතළ ස්වභාවය මැනවින් පැහැදිලි වේ. කාබුල් නුවර බොහෝ නිවැසියන් ඔවුන්ගේ ශීතකරණ, විදුලි පංකා, මේස පුටු හා ඇඳවල් ද අලෙවියට තබා ඇතැයි විදෙස් පුවත් වාර්තා කර තිබේ. එමෙන්ම මුළුතැන්ගෙයි බඩුභාණ්ඩ ද, දොර රෙදි සහ ඇඳ ඇතිරිලි ද අලෙවි කරමින් සිය දෛනික ජීවිතයේ අවශ්‍යතා පිරිමසා ගැනීමට ඔවුන්ට සිදුවී ඇතැයි වාර්තා වේ.

ත‍ෙල්බාන් සංවිධානය ඇෆ්ගනිස්තානයේ බලය අත්කර ගැනීමෙන් පසු එරට දරිද්‍රතාව ඉහළ ගොස් ඇතැයි පසුගියදා ජිනිවා නුවර පැවැති ඉහළ මට්ටමේ ඇමැතිවරුන්ගේ රැස්වීමකදී එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහලේකම් ඇන්ටොනියෝ ගුටාරෙස් ප්‍රකාශ කර ඇති අතර, ඉදිරි සති කිහිපය තුළ ඇෆ්ගනිස්තානයේ ආර්ථිකය බින්දුවට ඇද වැටෙනු ඇතැයි අනාවැකි පළ කර ඇත. එබැවින් වහාම එරට ජන ජීවිතය නඟා සිටුවිමට අමෙරිකා ඩොලර් බිලියනක ආධාර සැපැයීමට සිදුවී ඇතැයි පවසන එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහලේකම්වරයා ඒ සඳහා සහයෝගය දෙන ලෙස ධනවත් රටවලින් ඉල්ලීමක් ද කර ඇත.

මේ අතර රුසියාව සහ චීනය සහ පාකිස්තානය ත‍ෙල්බාන් සංවිධානය නව දේශපාලන මාවතකට අවතීර්ණ වනු ඇතැයි විශ්වාසය පළ කර ඇති අතර, ඇෆ්ගනිස්තානය වඩාත් ශිෂ්ට සම්පන්න රාජ්‍යයක් බවට පත්වනු ඇතැයි රුසියානු ජනාධිපති ව්ලැදිමිර් පුටින් බලාපොරොත්තු වන බව පසුගියදා වාර්තා විය. චීනයේ උයිගර් පළාතේ ඇතැම් ත්‍රස්ත ක්‍රියාකාරකම් හේතුවෙන් පවතින උණුසුම්කාරී වාතාවරණය නිසා ඇෆ්ගනිස්තානයේ තලේබාන් පාලනය පිළිබඳ තරමක දෙගිඩියාවෙන් පසුවන බව ද වාර්තා වේ.

මුස්ලිම් රටවල් අතුරින් ත‍ෙල්බාන් පාලනය කෙරෙහි මෙතෙක් අසුභවාදී නිගමනයකට පැමිණ සිටින්නේ ඉරානය පමණි. සෙසු මුස්ලිම් රටවල් නිහඬ පිළිවෙතක් අනුගමනය කරමින් ත‍ෙල්බාන් සංවිධානයේ ක්‍රියාකලාපය අධීක්ෂණය කරමින් සිටී. ෂියා මුස්ලිම් රටක් වන ඉරානය තලේබාන් පාලනය කෙරෙහි දැඩි පිළිවෙතක් අනුගමනය කරමින් සිටින්නේ ඇෆ්ගනිස්තානයේ ෂියා මුස්ලිම්වරු ජීවත්වන හිරාත් සහ හසරජාත් පළාත්වල තලේබාන් ප්‍රහාර සිදුවීම හේතුවෙනි. මෑතකදී තලෙයිබාන් සංවිධානය එතෙක් ඔවුන්ට බලය අත්කර ගැනීමට නොහැකිවූ ෂියා මුස්ලිම් ජාතිකයන් සිටින පන්ජ්ෂීර් පළාතේ සිදුකළ මෙහෙයුමකින් පසුව එම පළාත අත්කර ගැනීම ද ඊට හේතුවී තිබේ. එබැවින් මෑතකදී ඉරාන ජනාධිපති ඉබ්‍රාහිම් රයිසි ඇෆ්ගනිස්තානයේ නව මැතිවරණයක් පැවත්විය යුතු බවට ප්‍රකාශයක් නිකුත් කිරීමෙන් එය වඩාත් පැහැදිලිවේ. කෙසේ වුවත් ඉරානයේ යෝජනාව ත‍ෙල්බාන් සංවිධානය එකහෙළාම ප්‍රතික්ෂේප කළේය.

මීට අමතරව ඇෆ්ගනිස්තාන දේශසීමා සහිත ටර්කිමෙනිස්තානය, ටජිකිස්තානය සහ උස්බෙකිස්තානය වැනි සෙසු ආසියාතික රටවල් ද මුස්ලිම් ත්‍රස්තවාදයේ ව්‍යාප්තියක් සිදුවේදැයි දැඩි අවධානයෙන් පසුවීම නිසා ත‍ෙල්බාන් සංවිධානය හමුවේ ඇත්තේ සුළුපටු අභියෝග රැසක් නොවන බව ඉඳුරාම කිව යුතුය.

එමෙන්ම ප්‍රංසය සහ යුරෝපා හවුලේ රටවල් ද ඒකාබද්ධව තලේබාන් නව රජය කෙරෙහි ප්‍රසාදයක් පළ කර නැත. බොහෝ යුරෝපා රටවල මුස්ලිම් සරණාගතයන් වැඩි ප්‍රමාණයක් සිටින අතර, මේ හේතුවෙන් එවැනි රටවල ඉස්ලාම්ෆෝබියාවක් ද මතුවී තිබේ.

ත‍ෙල්බාන් සංවිධානය කෙරෙහි අප්‍රසාදය මතු කර ඇති යුරෝපයේ ප්‍රබලතම රාජ්‍යය වන්නේ බ්‍රිතාන්‍යයයි. විශේෂයෙන් ත්‍රස්තවාදය සහමුලින්ම තුරන් කළ යුතු බවට විවිධ අවස්ථාවලදී ප්‍රකාශ නිකුත් කර ඇති එරට අගමැති බොරිස් ජොන්සන් ඇෆ්ගනිස්තාන නව රජයේ ක්‍රියා පිළිවෙත සම්බන්ධව නව ප්‍රතිපත්තියක් අනුගමනය කරනු ඇතැයි අනුමාන කෙරේ.

ඒ සියලුු සාධක තිබියදි ත‍ෙල්බාන් සංවිධානයට ආරම්භයේ සිටම සහාය පළ කළ පාකිස්තානය ඇෆ්ගනිස්තාන නව රජය සමඟ කටයුතු කිරීමට සූදානමින් සිටීම නිසා එරට දැනටත් පවතින ත්‍රස්ත ක්‍රියාකාරකම් උත්සන්න වනු ඇතැයි ඇතැම් වාර්තා පෙන්වා දෙයි. විශේෂයෙන් තලේබාන් සංවිධානය සමඟ අත්වැල් බැඳ සිටින ‘හකානි ජාලය‘ට පාකිස්තානයේ සම්බන්ධතා පැවැතීම නිසා බොහෝ රටවල් අතර පාකිස්තානය කෙරෙහි ද අප්‍රසාදයක් මතුවන තත්ත්වයක් පවතී.

මේ සියළු කරුණු සැලකිල්ලට ගැනීමේදී ඇෆ්ගනිස්තානයට අන්තර්ජාතික වශයෙන් ප්‍රසාදයක් ඇති කරගැනීම තලේබාන් සංවිධානයට එතරම් පහසු කාරණාවක් නොවන බව දේශපාලන විචාරකයෝ පවසති.

නව අදහස දක්වන්න