තත්ත්වය හොඳ අතට... | දිනමිණ

තත්ත්වය හොඳ අතට...

මෙවර එක්සත් ජාතීන්ගේ මහ සමුළුවේ අවධානය යොමු වන්නේ කොවිඩ් ලෝක වසංගතය කෙරෙහිය. වසංගතය වළක්වා ගැනීම සඳහා පොදු එකඟතා හා උපාය මාර්ග සකසා ගැනීම, ආර්ථිකය යථා තත්ත්වයට ගැනීම, එකිනෙක රටවල සාර්ථක අත්දැකීම් හුවමාරු කර ගැනීම හා කොවිඩ් සමඟ බිහි වන අනාගත ලෝකය මෙහිලා සංවාදයට ලක් වන මාතෘකා බව සඳහන් වී ඇත. වසංගතය පිළිබඳ අනාගත වාක්‍ය පළ කිරීම තාර්කික නැත. වයිරස් ප්‍රභේද මතු වෙමින් නැවත නැවත වසංගතය ඉස්මතු වන බැවිනි. කොවිඩ් සමඟ තවත් සෑහෙන කාලයක් ජීවත් වන්න සිදු වීම පොදු සත්‍යය ලෙස පවතී. එකිනෙක රටවල් මේ සත්‍යය වටහා ගෙන ක්‍රියා කිරීම ඉතා වැදගත්ය.

ශ්‍රී ලංකාව බලවත් රටක් සේ නොසලකන්නේ වුව කොවිඩ් මර්දනයේදී ඇතැම් බලවත් රටවල් පරයා පෙරමුණට ද ඇතැම් බලවත් රටවල් හා සම තත්ත්වයට ද පැමිණ තිබේ. කොවිඩ් මර්දනය අතින් ශ්‍රී ලංකාව පරයා ගොස් ඇත්තේ රටවල් කිහිපයක් පමණි. ජපානය, එංගලන්තය, ප්‍රංසය, අමෙරිකාව වැනි රටවල් ඒ අතර පවතී. ශ්‍රී ලංකාව දැඩි කොවිඩ් අවදානම සහිත රතු දත්ත සහිත ලේඛනයෙන් ඉවත් කර ඇත. මේ වන විට අපගේ දෛනික කොවිඩ් මරණ සංඛ්‍යාව සියයට පහළින් සිටී. නව ආසාධිතයන්ගේ ගණන අඩුය. සුවපත් වන රෝගීන්ගේ ගණන වැඩිය.

දැඩි සත්කාර ඒකකවල පැවැති තදබදය අඩු වී ඇත. ඔක්සිජන් අවශ්‍යතාව පහළ ගොස් ඇත. මුළු ජනගහනයෙන් 50%කට වැඩි පිරිසකට එන්නත් මාත්‍රා දෙකම දී ඇත.

කොවිඩ් වසංගතය සඳහා ඇති එකම විද්‍යාත්මක විසඳුම එන්නත්කරණය අතින් අප ලබා ඇත්තේ සුවිශේෂ ජයග්‍රහණයකි. දකුණු ආසියාවේ රටවල් දෙස බලන විට ඒ තත්ත්වය හොඳින් පැහැදිලි වෙයි. ඉන්දියාව තවම මුළු ජනගහනයෙන් 15%කට වත් එන්නත් දීමට සමත් වී නැත. පාකිස්තානය එන්නත් දී ඇත්තේ මුළු ජනගහනයෙන් 10%කට පමණි. බංග්ලාදේශය එන්නත් දී ඇත්තේ මුළු ජනගහනයෙන් 8%කට පමණි. ඉහත රටවල් තුනම ආර්ථික අතින් අපට වඩා බලවත්ය. ආසියාවේ සෙසු රාජ්‍යයන් වන මැලේසියාව, සිංගප්පූරුව වැනි රටවල් පවා ශ්‍රී ලංකාව බඳු වේගවත් එන්නත්කරණ වැඩසටහනක් ක්‍රියාත්මක කර නැත.

ආර්ථික දුෂ්කරතා හා විවිධ දේශපාලන බාධා කිරීම් පැවැතිය ද එන්නත්කරණය සාර්ථක කර ගැනීමට ආණ්ඩුව සමත් වී ඇත. එය සුවිශේෂ ජයග්‍රහණයකි. රටට ගෙන්වා ඇති එන්නත් තොගයෙන් 70%ක්ම තරගකාරි මිලකට ගත් ඒවාය. ඒ සඳහා මුදල් ප්‍රතිපාදන යෙදවීමට ආණ්ඩුව සමත් වී ඇත. මූල්‍ය කළමනාකරණය අතින් සාර්ථක ස්ථානයක රැඳෙන්න ආණ්ඩුවට හැකි වී ඇත. විපක්ෂය එන්නත්කරණය අසාර්ථක කිරීම සඳහා විවිධ උපායමාර්ග භාවිත කළ ද ඒ සියල්ල මේ වන විට පරාජයට පත් වී ඇත. ජනතාව එන්නත්කරණයෙන් ඈත් කිරීම සඳහා මිථ්‍යා මත සමාජගත කර තිබුණ ද ජනතාව ඒවා ප්‍රතික්ෂේප කරන තැනක සිටිති. මෙය සාධනීය තත්ත්වයකි.

කොවිඩ් ලෝක වසංගතයත් සමඟ සෑම රටකම පාහේ ආර්ථිකයන් දරුණු පසුබෑමකට ලක් වී ඇත. ලෝකයේ දෙවන ආර්ථිකය හිමි චීනයේ කාර්මික නිෂ්පාදනය සැලැකිය යුතු ප්‍රමාණයකින් අඩු වී ඇති බව ප්‍රකාශ වෙයි. අමෙරිකා එක්සත් ජනපදයේ සමාගම් හා ව්‍යාපාර වැසී යෑමත්, රැකියා අහිමිවීමත් දිගින් දිගටම සිදු වෙයි. රැකියා අහිමි වීම කොවිඩ් වසංගතය අතරතුර පොදු තත්ත්වයක් බවට පත් වී ඇත. ඉතාලියේ විරැකියාව 11% දක්වා ද, බ්‍රසීලයේ 13.4% දක්වාද, අමෙරිකාවේ 8.9% දක්වා ද, ප්‍රංසයේ 8.9% දක්වා ද ඉහළ ගොස් තිබේ. ශ්‍රී ලංකාව ව්‍යාපාර හා සමාගම් පවත්වා ගැනීම සඳහා මූල්‍ය සහන සැලසූ අතර, ප්‍රසිද්ධ සමාගම් කිසිවක් වසා දමන තත්ත්වයට වැටුණේ නැත.

අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ ආර්ථික උපදේශකයකු වන ගීටා ගෝපිනාත් පෙන්වා දෙන අන්දමට කොවිඩ් වසංතය අතරතුර ව්‍යාපාර හා සමාගම්වල බිඳවැටීම නිසා දළ වශයෙන් ලෝකය පුරා මිලියන 195කට රැකියා අහිමි වී ඇත. වඩාත් කැපී පෙනෙන තත්ත්වය වන්නේ රටවල් වසා දැමීම නිසා අවිධිමත් රැකියා වෙළෙඳපොළේ ආදායම් මාර්ග අහිමි වීමය. ශ්‍රී ලංකාව ද මේ තත්ත්වයට ඍජු ලෙස මුහුණ දෙයි. රට වසා දමන සෑම අවස්ථාවකම ලක්ෂ ගණනකගේ දෛනික ආදායම් මාර්ග ඇහිරෙයි. එම පිරිසගේ ජීවන පැවැත්ම සඳහා මුදල් ආධාර හා ද්‍රව්‍යමය ආධාර දෙන්නට රජයට සිදු වී ඇත. රුපියල් කෝටි 7000ක් පමණ මෙලෙස ජනතා සහන සඳහා වැය කිරීමට රජයට සිදු විය. ලෝක අර්බුද ජය ගැනීම සඳහා සාමූහික ප්‍රයත්න ක්‍රියාත්මක විය යුතුය යන්න පිළිගත් මතයකි. ඉතිහාසය අපට උගන්වා ඇති පාඩම ද එයම වෙයි. කොවිඩ් පාලනය සඳහා සියලු පාර්ශ්වල සහභාගිත්වය හා මැදිහත් වීම අවශ්‍ය බව ලෝක සෞඛ්‍ය සංවිධානය වරින් වර සිහිපත් කරයි. රාජ්‍ය නිලධාරීන්, දේශපාලකයන්, පොදු ජනතාව පමණක් නොව; සමාජ සංවිධාන පවා පොදු ඉලක්කයක් සඳහා ක්‍රියා කිරීම මෙහිදී වැදගත් වෙයි. ශ්‍රී ලංකාව කොවිඩ් මර්දනය අතින් සාර්ථක ප්‍රතිපල නෙළා ගනිමින් සිටිය ද සාමූහිකත්වයක් දකින්න ලැබෙන්නේ නැත. විවිධ දේශපාලන කණ්ඩායම් මේ මොහොතේ ද බොරදියේ මාළු බාන්නට උත්සුක වෙති. පොදු ජනතාව වෙතින් වුව අවශ්‍ය සහයෝගය ලැබෙන්නේ නැත.

වයස අවුරුදු හැටට වැඩි ජනගහනයෙන් ලක්ෂයක් දෙනා තවම එන්නත් ගෙන නැත. එය සැලැකිය හැක්කේ මඟහැර යෑමක් හැටියටය. මඟහැර යෑම් හා නොසලකා හැරීම් නොවන්න අපට මීට වඩා ඉදිරියට යා හැකිය.

නව අදහස දක්වන්න