ජනගහනයෙන් හරි අඩකට එන්නත දී ශ්‍රී ලංකාව කොවිඩ් එන්නත්කරණයේ කඩඉමක් පසු කරයි | දිනමිණ

ජනගහනයෙන් හරි අඩකට එන්නත දී ශ්‍රී ලංකාව කොවිඩ් එන්නත්කරණයේ කඩඉමක් පසු කරයි

ශ්‍රී ලංකාවට ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රශංසාව

කොවිඩ් 19 මර්දන එන්නත සමස්ත ජනගහනයෙන් හරි අඩකට දී ශ්‍රී ලංකාව තීරණාත්මක කඩ ඉමක් පසු කර ඇතැයි සඳහන් කරමින් ලෝක සෞඛ්‍ය සංවිධානය ශ්‍රී ලංකාවට ප්‍රශංසාව පළ කරයි.

සැප්තැම්බර් අග භාගය වන විට තම රටේ ජනගහණයෙන් සියයට 10කට එන්නත ලබාදෙන ලෙසත්, වසර අවසානය වන විට ජනගහණයෙන් සියයට 40කට එන්නත දී අවසන් ලෙසත් ලෝක සෞඛ්‍ය සංවිධානය ලොව සියලුම රටවල්වලින් ඉල්ලීමක් සිදුකර ඇත.

ඉකුත් සෙනසුරාදා (18) දිනයේ නිවේදනයක් නිකුත් කරමින් ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වා දී ඇත්තේ එන්නත් කිරීම යන්න අද දවසේ කියැවෙන එකම වචනය වී ඇති බවයි.

මේ බරපතළ රෝගයෙන් ආරක්ෂාවීමටත්, එය පැතිරීම වැළැක්වීමටත් ඇති හොඳම මාර්ගය එන්නත්කරණය බව ද එම නිවේදනයේ දැක්වේ. සෙනසුරාදා දිනය වන විට ශ්‍රී ලංකාවේ එන්නත් ලබාගත් සම්පූර්ණ ප්‍රමාණය ජනගහණයෙන් අඩක් එනම් මිලියන 11ක් පසුකර ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග ඒකකයේ සංඛ්‍යා ලේඛන හෙළි කර තිබිණි. ඊයේ (19දා) වන විට ශ්‍රී ලංකාව කොවිඩ් එන්නත් 24,803,998ක් භාවිත කර තිබිණි. එසේම 13,749,897ක් පුද්ගලයන්ට අවම වශයෙන් කොවිඩ්-19 එන්නත් එකක්වත් ලබා දී ඇති අතර 11,054,101 දෙනකුට එන්නත් දෙකම ලබා දී ඇත.

ඉෂාරා මුදුගමුව සහ බුද්ධි කරුණාරත්න

නව අදහස දක්වන්න