දේශීය ආර්ථිකය පණ ගැන්වීමට කෘෂි කර්මාන්තයෙන් පිළිතුරක් | දිනමිණ

දේශීය ආර්ථිකය පණ ගැන්වීමට කෘෂි කර්මාන්තයෙන් පිළිතුරක්

කොවිඩ් යනු අපට ඇති එකම අභියෝගය නොවේ. අප ජය ගත යුතු තවත් අභියෝග රැසක් ඇත. ඒ බාධක ජය ගැනීමට අපට ඇති එකම ශක්තිය, කෘෂි ආර්ථිකය සවිබල ගැන්වීමය. මේ සම්බන්ධයෙන් රජරට විශ්වවිද්‍යාලයේ, කෘෂිකර්ම පීඨයේ, කෘෂි පද්ධති අංශයේ ආචාර්ය සංජය ප්‍රනාන්දු මහතා සමඟ කළ සාකච්ඡාවක් ඇසුරෙන් මේ ලිපිය සැකසිණි.

කලින් කලට මතු වන විවිධ ආර්ථික, දේශපාලන හා සමාජීය අර්බුද, සෑම රටකම ආර්ථික මර්මස්ථානවලට බරපතළ බලපෑම් එල්ල කරයි. දෙවැනි ලෝක යුද්ධයෙන් පසු ලොව සෑම රටකටම එක් ප්‍රස්තුතයක් හේතු කර ගෙන ආර්ථික බලපෑමක් එල්ල කළේ ද කෝවිඩ් වසංගතයය. මේ වන විට කෝවිඩ් හේතුවෙන් තම ආර්ථිකයට එල්ල වූ බලපෑම් අවම කර ගනිමින්, නැඟී සිටීමට සෑම රටක්ම මහත් වෙහෙසක් දරමින් සිටී.

ඒ අනුව අමෙරිකාව, යුරෝපා රටවල් මෙන්ම ආසියානු රටවල් සියල්ල ද තම ආර්ථික දේහය ශක්තිමත් කරන මුඛ්‍ය ආර්ථික මෙවලම් බල ගැන්වීමට කටයුතු කරමින් සිටින මොහොතක, අප ද රටක් වශයෙන් දේශීය ආර්ථිකය පණ ගැන්වීමට වහ වහා පෙළ ගැසිය යුතුය. තවත් අවම වශයෙන් දෙවසරක්වත් කොවිඩ් සමඟ ජීවත් වීමට මානව වර්ගයාට සිදු වේ යැයි පැවසෙන අනාවැකියත් සමඟ, අපේ ආර්ථිකය සවිබල ගැන්වීමට නම්, අවධානය යොමු කළ යුතු ප්‍රමුඛතම කාරණය හඳුනා ගත යුතුය. එම ක්ෂේත්‍රය අන් කිසිවක් නොව, කෘෂිකර්මාන්තයයි.

අපේ රට කෘෂිකර්මාන්තය පෙරටු කර ගත් ආර්ථිකයක් මත ඉදිරියට යන රටකි. අපට කෘෂිකර්මාන්තය හැර ප්‍රමුඛ කර ගත හැකි අන් මාර්ගයක් නැති බව පළමුව අවබෝධ කර ගත යුතුය. කෘෂිකර්මාන්තයේදී අපනයන සඳහා මෙන්ම, දේශීය පරිභෝජනය ඉලක්ක කර ගෙන නිෂ්පාදන සිදු කරයි. පවතින කොවිඩ් වසංගතයත් සමඟ වඩාත් වැදගත් වන්නේ, අපනයනවලටත් වඩා දේශීය අවශ්‍යතා සහ ඉලක්ක සපුරා ගැනීමට ප්‍රමාණවත් ප්‍රශස්තම ආහාර සංචිතයක් පවත්වා ගෙන යෑමට කෘෂිකර්මාන්තය පෙළ ගැස්වීමය.

වගා සංග්‍රාමය

මේ වන විට රජය වගා සංග්‍රාමයක් අරඹා ඇත. ඉදිරියේදී එළැඹෙන්නේ, රටට වැඩි අස්වැන්නක් ගලා එන මාස් කන්නයයි. ශ්‍රී ලංකාවට බල පවත්වන දේශගුණික රටාව අනුව, ගොවි ජනතාවට වැඩියෙන් වගා කර, වැඩියෙන් අස්වනු නෙළා ගත හැකි කාල සීමාව මාස් කන්නයයි.

අන් කවරදාටත් වඩා මෙවර මාස් කන්නය අපට වැදගත් වන්නේ, වැඩි වැඩියෙන් වගා කර, රටේ ආහාර ගබඩාව ශක්තිමත් කර ගැනීමේ අභියෝගය කොවිඩ් වසංගතයත් සමඟ අප හමුවේ පවතින නිසාය.

කෘෂි ආර්ථිකය ඉදිරියට ගෙන යමින්, ආහාර සංචිතය ශක්තිමත් කර ගැනීම සඳහා මේ මොහොතේ වඩාත් ප්‍රශස්ත කෘෂිකාර්මික වැඩ පිළිවෙළ අප විසින් හඳුනා ගත යුතුව ඇත. රජය මෙන්ම, වගා කටයුතුවලට උර දෙන ගොවි ප්‍රජාව පෙළ ගැසිය යුත්තේ මේ වැඩපිළිවෙළ වටාය. රටක ආහාර දාමයේ ඉදිරියෙන්ම සිටින්නේ නිෂ්පාදකයා නැත්නම් ගොවි ප්‍රජාවය. ඉන් පසු ප්‍රවාහනය සහ වෙළෙඳාම, ආහාර දාමය ශක්තිමත් කරන අවශේෂ පුරුක් ලෙස මේ දාමයට බද්ධ වී ඇත. මේ මොහොතේ රටේ ආහාර අවශ්‍යතාව සපුරා ගැනීමට ආනයන පිළිබඳ විශ්වාසය තැබීම උගහටය. ලෝක වසංගතයත් සමඟ සෑම රටක්ම ආහාර ආපනයනයට පෙර රටේ අවශ්‍යතාවට ප්‍රමුඛස්ථානය දී ඇත. මේ නිසා, අන්තර්ජාතික වෙළෙඳපොළ හරහා ආහාර නිෂ්පාදන ආනයනයට වැඩි පිරිවැයක් දැරීමට සිදු වේ. එමෙන්ම කොවිඩ් වසංගතයත් සමඟ රට තුළ සෞඛ්‍ය ක්ෂේත්‍රයට වැඩි බරක් දී ඇති නිසා, රටේ මූල්‍යමය වත්කම් ද සීමා සහිත වී ඇත. නිකරුණේ වියදම් කිරීම නොව, අත්‍යවශ්‍ය දේ ආනයනයට ද රට තුළ මූල්‍යමය ගැටලු ඇත. මෙය අපේ රටට පමණක් නොව, ලෝකයේ දියුණු නොදියුණු සෑම රටකටම බලපා ඇති ගැටලුවකි.

ආර්ථික ප්‍රතිලාභ

මෙවැනි තත්ත්වයක් මත අපට ඇති එකම විසඳුම කල් තබා ගෙන පාරිභෝජනය කළ හැකි ආහාර වැඩි වැඩියෙන් වගා කිරීමය. මෙය නිවෙසේ පරිභෝජනයට නිෂ්පාදනය කරන ගෙවතු වගාව මෙන්ම, වාණිජ කෘෂිකර්මාන්තයට ද එක සේ බලපායි. ගෙවතු වගාව ගත් විට, ග්‍රාමීය ජන සමාජය තුළ මෙය ඉතා හොඳින් සිදු කළ හැකිය. දැනටමත් ග්‍රාමීය ජනතාව මේ කාර්යයයේ ප්‍රශස්ත ලෙස නියැළී සිටිති. එහෙත් ගැටලුව පවතින්නේ නාගරික සමාජය තුළය. නාගරික පරිසරයක ද ගෙවතු වගාව කළ හැකිය. පර්චස් 20-30ක් වත් ඉඩකඩ ඇති නිවෙසක මල් බඳුනක වෙනදා සිටුවූ මල් පැළයට වඩා, ගෙවතු අලංකරණයත්, ආර්ථික ප්‍රතිලාභයත් යන දෙකම ලැබෙන ආහාර භෝගයක් වගා කළ හැකිය. තණකොළ වෙනුවට මිදුලේ ආහාර භෝගයක්, පලා වර්ගයක් සිටුවිය හැකිය. මේ මොහොතේ අපට තිබෙන අභියෝගය වෙළෙඳපොළට නොගොස් කුසගින්න නිවා ගැනීම සඳහා ආහාර සපයා ගැනීම නම්, අප එයට ප්‍රමුඛස්ථානය දිය යුතුය.

ගෙවතු වගාවෙන් ඔබ්බට ගිය වාණිජ කෘෂිකර්මාන්තය ඉතා පැහැදිලි වැඩපිළිවෙළක් සහ ඉලක්කයක් ඇතිව කළ යුත්තකි. අන් කවරදාටත් වඩා කොවිඩ් සමඟ පවතින ආර්ථික ප්‍රශ්න ජය ගැනීමට නම්, පැහැදිලි වැඩපිළිවෙළක් සහිතව වගාවට අවතීර්ණ විය යුතුය. කෘෂිකර්ම අමාත්‍යාංශය සහ කෘෂිකර්ම දෙපාර්තමේන්තුව එක්ව ගොවි ප්‍රජාවට මේ සඳහා දැනමුතුකම් දීම අත්‍යවශ්‍යයෙන් ම සිදු විය යුත්තකි.

නාස්තිය අවම කර ගැනීම, පිරිවැය අවම කර ගැනීම, වැඩි අස්වැන්නක් ලබා ගැනීම යන ප්‍රධාන කාරණා තුන සාක්ෂාත් වන ලෙස මේ වැඩපිළිවෙළ සැකසිය යුතුය. මෙහි ද පළමුව වැදගත් වන්නේ, වගා කරන්නේ මොනවා ද? යන්නයි. එහිලා වැදගත් වන්නේ, කල් තබා ගෙන පාරිභෝජනයට ගත හැකි දෑ වැඩි වැඩියෙන් වගා කිරීමය.

දේශීය අවශ්‍යතාව

මීළඟට වැදගත් වන්නේ කොපමණ ප්‍රමාණයක් වගා කළ යුතු ද? යන්නයි. ශ්‍රී ලංකාවේ ගොවිබිම්වලින් ලැබෙන අස්වැන්නෙන් වැඩි ප්‍රමාණයක් නාස්ති වන්නේ, කළමනාකරණයක් නැතිව වගා කිරීම නිසාය. මේ නිසා දේශීය අවශ්‍යතාව කොපමණ ද? යන්න ප්‍රමාණාත්මකව සොයා බලා වගා කිරීමට වග බලා ගත යුතුය. මෙහිදී, පැන නඟින ගැටලු රාශියක් අවම කර ගැනීම සඳහා වඩාත් සාරගර්භ ක්‍රමවේදය භෝග විවිධාංගීරණයයි. එනම්, එක ම බෝගය විශාල පිරිසක් වගා කිරීමට වඩා, වගාකරුවන් කණ්ඩායම් ලෙස බෙදා භෝග කිහිපයක් වගා කිරීමට පෙලඹවීමය. මේ සඳහා ගොවි ප්‍රජාව මෙහෙයවීම, කෘෂිකාර්මික ක්ෂේත්‍ර නිලධාරීන් මඟින් සිදු කළ හැකිය.

ශ්‍රී ලංකාවේ ගොවීන් මුහුණ දෙන බරපතළ ප්‍රශ්නය වන්නේ, උසස් තත්ත්වයේ බීජ හිඟයයි. මේ මොහොතේ බීජ ආනයනයට බාධා එල්ල වී ඇත. බීජ ආනයනයට විශාල බරපැනක් දැරීමට සිදු වන බැවින්, ගොවීන්ටම බීජ නිෂ්පාදනය සඳහා දිරි ගැන්වීම කළ යුතුය. ආනයනික බීජ මත යැපීම යන කාරණය නිරන්තරයෙන් කෘෂිකාර්මික ක්ෂේත්‍රය තුළ කතාබහට ලක් වුව ද, මේ වන විට දේශීය බීජ අවශ්‍යතාව සපුරා ගැනීමට අප අසමත් වී ඇති බව සඳහන් කළ යුතුය. මේ ප්‍රශ්නයෙන් ගොඩ ඒම සඳහා කොවිඩ් කාල සීමාව තුළ අපට හොඳින් සැලසුම් කළ විසඳුම් කරා යා හැකිය. දේශීය බිජ යන්ත්‍රණය ශක්තිමත් කිරීම මඟින් අපට විවිධත්වයෙන් යුත් ආහාර භෝග වගාවකට යා හැකිය. ඇතැම් රටවල පවතින දේශගුණික බාධක නිසා, ඒ රටවල වගා කළ හැක්කේ ඉතා සීමිත භෝග වර්ග කිහිපයක් පමණි. ඒ අතින් බලන කල අපේ රට ජලය, පස , සූර්යාලෝකය, දේශගුණය ආදි සෑම ගුණාංගයකින්ම පොහොසත් බැවින්, අපට විවිධ භෝග වගා කිරීමට හැකියාව පවතී. ඉන් උපරිම ඵල නෙළා ගැනීමට අප කටයුතු කළ යුතුය.

ස්වාධීනව නැඟී සිටීම

බීජ නිෂ්පාදනය සැලසුම් සහිතව කළ යුතු කාර්යයකි. එය ගොවියාට පමණක් තනිව කළ හැකි කටයුත්තක් නොවන බැවින්, වඩාත් සාර්ථක ක්‍රමවේදය රජය සහ පෞද්ගලික අංශය ඒකාබද්ධව මේ වැඩසටහන ඉදිරියට ගෙන යෑමය. බීජ නිෂ්පාදනයට කැමැත්තක් දක්වන ගොවීන් තෝරා ගෙන, ඔවුන්ට පහසුකම් සපයා දීම රජය කළ යුතු කාර්යයකි. මේ සඳහා රජය විධිමත් වැඩපිළිවෙළක් සැකසීම කාලෝචිතය.

කොවිඩ් වසංගතයෙන් සිදුව ඇති ආර්ථික අවපාතයෙන් නැඟී සිටීමට නම්, අප සතු එක ම අවිය කෘෂිකර්මාන්තයයි. කොවිඩ් සමඟ සියල්ල කඩා වැටුණ ද, කෘෂිකර්මාන්තයට ඉදිරියට යා හැකිය. අප කළ යුත්තේ, හැකි තරම් ආනයනික යෙදවුම් රට තුළින්ම සපයා ගැනීමට කටයුතු කිරීමය. මේ නිසා වාහන, යන්ත්‍ර සූත්‍ර ආදි තාක්ෂණය හා විද්‍යාව සමඟ බැඳී ඇති වෙළෙඳපොළ නිෂ්පාදන කරළියට ගෙන ඒමට සිහින දකිනවාට වඩා, අපට හුරුපුරුදු, අපට වත්කම් සහ සම්පත් ඇති කෘෂිකාර්මික ක්ෂේත්‍රය දිරි ගැන්වීම වඩාත් ප්‍රඥා ගෝචරය.

ආහාර සුරක්ෂිතතාව

කොවිඩ් සමඟ ඉදිරියට යා යුතුය යන අභියෝගය හමුවේ අපට පැවරී ඇති භාරධුරම කාර්යය ජනතාව මන්දපෝෂණයෙන් මුදා ගනිමින්, වංසගත රෝගවලට මුහුණ දිය හැකි පෝෂණයෙන් හා ශක්තිමත් ජාතියක් ගොඩනැඟීමයි. මේ සඳහා පෝෂ්‍යදායී ආහාර ඉතා වැදගත්ය. එහිදී ආහාර සුරක්ෂිතතාව ද ඉතා වැදගත්වේ. ආහාර වගා කිරීමෙන් පසු නිෂ්පාදන ක්‍රියාවලියේ නිරත ගොවීන්ටත්, ආර්ථික ප්‍රතිලාභ දෙමින් පාරිභෝගිකයාටත් සහනාදයි මිලට ආහාර නිෂ්පාදන මිල දී ගැනීමට අවකාශ සලසා ලීම ඊළඟ වැදගත්ම පියවරය. මේ සඳහා ගොවීන්ටම තම නිෂ්පාදන විකිණීමට හැකි ක්‍රියාදාමයක් විවර කර දීම කාලෝචිතය. මේ වන විට ශ්‍රී ලංකාවේ වෙළෙඳපොළ ක්‍රමයට නවමු වෙනසක් ඇති කර තිබෙන වීථි වෙළෙඳාම, ජංගම වෙළෙඳාම තව දුරටත් වැඩිදියුණු කළ හැකි නම් අගනේය. හැම විටකම අතරමැදියන්ගේ සූරාකෑමෙන් ගොවි ප්‍රජාව මුදා ගැනීමෙන් නිෂ්පාදන හා වෙළෙඳ පොළ භාණ්ඩ හා සේවාවල අසාධාරණ ලෙස මිල ඉහළ යෑම ද පාලනය කළ හැකිය.

අප ගෙවමින් සිටින්නේ වඩාත් තීරණාත්මක කාල පරිච්ඡේදයකි. එළඹෙන කාල පරිච්ඡේදය වගා සංග්‍රමයට ද වඩාත් උචිත කාල පරිච්ඡේදයයි. මේ නිසා, රජය ගොවීන් සමඟ එක්ව, සහියෝගයෙන් යුතුව රට ස්වයංපෝෂිත කිරීමේ සටනට එක් විය යුතුය. මෙහිදී දැනට පවතින පොහොර පිළිබඳ ගැටලුව ද නිරාකරණය විය යුතුය. රජයේ කාබනික වගා වැඩපිළිවෙළ වර්තමානයට මෙන් ම අනාගතයට ද ඵලදායීවේ. ඒ සඳහා පවතින දුර්මත මේ වන විට වියැකී යමින් පවතී. කාබනික පොහොර සුලබ කිරීමේ කර්තව්‍යයට රජය අවතීර්ණ විය යුතුය. එය කිසි සේත්ම ‘සහනාධාර පොහොර මල්ලක්’ යන සංකල්පය නොවිය යුතුය. ගොවීන්ට පහසුවෙන් සහ සාධාරණ මිලකට උසස් තත්ත්වයේ පොහොර ලබා ගැනීමට අවකාශ සලසා දීම ප්‍රමාණවත්ය.

කොව්ඩ් සමඟ තව කොපමණ කාලයක් ජීවත් වුව ද, රටේ ජනතාව කුසගින්නේ මියැදෙන අවාසනාවන්ත තත්ත්වයක් ඇති නොවන බව විශ්වාසය. එහෙත් එය යථාර්ථයක් වන්නේ, වැඩි වැඩියෙන් වගා කර, එම නිෂ්පාදන පාරිභෝගිකයා අතට පත් වීමෙන් පමණක් බව ද මතක තබා ගත යුතුය. ආහාර මිල දී ගැනීමට සහ ආහාර නිෂ්පාදනය කර ගැනීමට වැඩි බාධා ඇත්තේ නාගරික දිළිදු පන්තියටය. ඔවුන්ට යම් මානුෂීය සහනයක් ලබා දිය හැක්කේ ද රට ආර්ථිකයෙන් කඩා නොවැටෙන මට්ටමට නිෂ්පාදන ක්‍රමය ශක්තිමත් වුව හොත්ය. ඔවුන්ගේ කුසගින නිවීමට බඩු මල්ලක් දිය හැක්කේ රටේ අටු කොටු පිරී තිබුණොත් පමණී. මෙය සාමූහික වගකීමකි. මෙහි වැඩි වගකීමක් ඇත්තේ රට ධාන්‍යයෙන් සශ්‍රීක කරවන ගොවි ජනතාවටය.

සකුන්තලා ජයසිංහ

අඹන්පොළ විශේෂ

නව අදහස දක්වන්න