SLTMobitel-PEOTV සහ DP Education එක්ව විදැස DPEducation හඳුන්වා දෙයි | දිනමිණ

SLTMobitel-PEOTV සහ DP Education එක්ව විදැස DPEducation හඳුන්වා දෙයි

ශ්‍රී ලංකාවේ ජාතික තොරතුරු සන්නිවේදන තාක්ෂණ හා ජංගම දුරකතන ජාලය වන SLT-MOBITEL, DP Education ආයතනය සමඟ එක්ව ‘විදැස DP Education’ අධ්‍යාපනික නාලිකාව (නාලිකා අංක 215) SLTMobitel - PEOTV ඔස්සේ විකාශය කිරීමට කටයුතු යොදා තිබේ. මේ නාලිකාවේ අරමුණ වන්නේ Rewind TV පහසුකම සමඟ 5 ශ්‍රේණියේ සිට උසස් පෙළ දක්වා සිසු සිසුවියන්ට ඉහළ ගුණාත්මක භාවයකින් යුත් අධ්‍යාපනයක් දීමයි.

DP Education යනු නවීන තාක්ෂණය භාවිත කරමින් මෙරට සිසු සිසුවියන්ට උසස් තත්ත්වයේ අධ්‍යාපනයක් දීමට කැපවී සිටින ආයතනයකි. එම ආයතනය SLTMobitel - PEOTV සමඟ එක්ව ඉදිරිපත් කරන ‘විදැස DP Education’ නාලිකාව, 5 ශ්‍රේණියේ සිට උසස් පෙළ දක්වා සිසු සිසුවියන් ඉලක්ක කර SLTMobitel – PEOTV ඔස්සේ විකාශය කෙරෙන විශේෂ අධ්‍යාපන නාලිකාවක් වන අතර, ප්‍රවීණ ගුරුවරුන් පිරිසක් විසින් එහි අධ්‍යාපනික වැඩසටහන් මෙහෙයවනු ලබති. රටේ පවතින කොවිඩ් වසංගත තත්ත්වය නිසා නිවෙස්වලට වී කාලය ගත කිරීමට සිදුව ඇති දරුවන්ට ඉහළ මට්ටමේ අධ්‍යාපනයක් ලබා ගැනීමට මේ නාලිකාව මහෝපකාරි වනු නිසැකය.

“වසංගතය නිසා මතුව තිබෙන සෞඛ්‍ය ගැටලුව වගේම, දිගින් දිගටම දරුවන්ගේ ඉගෙනීම් කටයුතු අඩාල වීම නිසා මතුව තිබෙන ගැටලුවත් නිසා මව්පියන්ට දෙයාකාරයකින් පීඩා විඳීමට සිදුව තිබෙනවා. මේ තත්ත්වය හොඳින් තේරුම් ගෙන දරුවන්ගේ අධ්‍යාපන කටයුතු බාධාවකින් තොරව කර ගෙන යෑමට 6 ශ්‍රේණියේ සිට 11 ශ්‍රේණිය දක්වා සෑම ශ්‍රේණියක් සඳහාම වෙන් වූ නාලිකා 6ක් සමඟින් අපි විදැස - ඩිජිටල් ඉස්කෝලේ හඳුන්වා දුන්නා. එහි නවතම පියවර වශයෙන් DP Education ආයතනය සමඟ එක්වී පාසල් දරුවන්ට වෙනස් ආකාරයේ නාලිකාවක් අපි ලබා දුන්නා. එය Rewind TV පහසුකම සමඟ 5 ශ්‍රේණියේ සිට උසස් පෙළ දක්වා ගණිතය, විද්‍යාව, ඉංග්‍රීසි යන ප්‍රධාන විෂයයන් සඳහා වෙන් වූ නාලිකාවක්. මේ සුවිශේෂි අධ්‍යයන වේදිකාවන් එකට සම්බන්ධ කරමින් දරුවන්ගේ අධ්‍යාපන ක්ෂේත්‍රයේ පරිවර්තනීය වෙනසක් කිරීම සඳහා ධම්මික පෙරේරා මහතා සහ ඔහුගේ DP Education කණ්ඩායම දක්වන සහායටත් අපි විශේෂයෙන් ස්තූතිවන්ත වෙනවා”, යනුවෙන් මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් SLT සමූහයේ සභාපති රොහාන් ප්‍රනාන්දු මහතා පැවසීය.

 

නව අදහස දක්වන්න