ප්‍රීමියම් ඉන්ටනැෂනල් ආසියාවේ ප්‍රථම ජංගම දැඩි සත්කාර ඒකකය පිරිනමයි | දිනමිණ

ප්‍රීමියම් ඉන්ටනැෂනල් ආසියාවේ ප්‍රථම ජංගම දැඩි සත්කාර ඒකකය පිරිනමයි

සෞඛ්‍ය ක්ෂේත්‍රයේ නවීන තාක්ෂණික විසඳුම් සම්බන්ධ පුරෝගාමියකු වන ප්‍රීමියම් ඉන්ටනැෂනල් සමාගම සියලු පහසුකම්වලින් සමන්විත, ඇඳන් 3 කින් යුත් ජංගම දැඩි සත්කාර ඒකකයක් පේරාදෙණිය රෝහලට පරිත්‍යාග කිරීමට පසුගියදා කටයුතු කළේය. කොවිඩ් මර්දනය කිරීමේ ජාතික සටන තවදුරටත් ශක්තිමත් කිරීමේ අරමුණින් මේ පරිත්‍යාගය කර තිබේ. මේ ජංගම දැඩි සත්කාර ඒකකය පසුගියදා (14) සෞඛ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ ප්‍රධානත්වයෙන් පේරාදෙණිය රෝහල වෙත භාර දෙන ලද අතර, එම රෝහල විසින් වහාම එම ඒකකය තම ප්‍රතිකාර කටයුතු සඳහා භාවිත කිරීම ආරම්භ කරන ලදි.

දැඩි සත්කාර සේවා සම්බන්ධයෙන් තමන් සතු විශේෂඥ දැනුම ඔස්සේ මේ වනවිට දිවයින පුරා රෝහල්වල දැඩි සත්කාර පහසුකම් ප්‍රමාණවත් නොවීමේ ගැටලුව විසඳීම සඳහා ප්‍රීමියම් ඉන්ටනැෂනල් සමාගම උත්සාහ කරමින් සිටී.

මේ නව නිපැයුම සහ පරිත්‍යාගය සම්බන්ධයෙන් අදහස් දක්වමින් ප්‍රීමියම් ඉන්ටනැෂනල් සමාගමේ ව්‍යාපෘති අධ්‍යක්ෂ සුජීව සුමනසේන මහතා මෙසේ පැවසීය. “මේ ආකාරයට නවීන ජංගම දැඩි සත්කාර ඒකකයක් පරිත්‍යාග කරමින්, කොවිඩ් රෝගීන්ගේ ජීවිත බේරා ගැනීමේ ජාතික මෙහෙවරට දායක වීමට හැකි වීම අපට මහත් සතුටක්. ආසියානු කලාපයේ මෙවැනි ඒකකයක් භාවිතයට ගැනෙන ප්‍රථම අවස්ථාව මෙයයි. දැනට රටේ පවතින සෞඛ්‍ය අර්බුදය අවසන් කිරීමට දායක වීමට අප දක්වන උනන්දුව නිසා අප නිෂ්පාදනය කළ මේ ප්‍රථම ජංගම දැඩි සත්කාර ඒකකය පේරාදෙණිය ශික්ෂණ රෝහලේ භාවිතය සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශය වෙත පරිත්‍යාග කිරීමට කටයුතු කළා. දේශීය සංකල්පයක් පදනම් කර ගනිමින් දේශීයව නිපදවූවක් වන මේ දැඩි සත්කාර ඒකකය, ශ්‍රී ලංකාව සතු විද්‍යා හා තාක්ෂණික හැකියාවන්ට ඉතා හොඳ සාක්ෂියක්. උසස් තත්ත්වයේ විද්‍යා හා තාක්ෂණික හැකියාවන් නොතිබුණා නම් මෙවැනි නිර්මාණයක් කිරීමට කිසිසේත්ම හැකියාව ලැබෙන්නේ නැහැ.”

 

නව අදහස දක්වන්න