ආනයන සීමාවේ වාසිය කාට ද? | දිනමිණ

ආනයන සීමාවේ වාසිය කාට ද?

අපගේ ඇඟලුම් අපනයනවලින් සියයට හතළිස් හයක් ම අමෙරිකා එක්සත් ජනපදයට අපනයනය වේ. අමෙරිකානුවන්ට සරිලන ඇඳුම් නිෂ්පාදනය කරන අප, දේශීය අවශ්‍යතා සපුරා නොගන්නේ ඇයි ද? යන්න ගැටලුවකි. ටයර් කර්මාන්තය සැලකීමේදී ශ්‍රී ලංකාවේ වෙළෙඳපොළට නොවූවත් විදේශීය වෙළෙඳපොළ ගණනාවක් සඳහා ටයර් නිෂ්පාදනය කරන සමාගම් රට තුළ පිහිටුවා තිබේ. රටේ අවශ්‍යතාවලට ගැළපෙන පරිදි නිෂ්පාදන සිදු කිරීම සඳහා මොවුන් පෙලඹවිය යුතුය; ඔවුන් දිරිගැන්විය යුතුය.

ලොව අනෙක් රටවල් මෙන්ම, ශ්‍රී ලංකාව ද ආර්ථික වශයෙන් අර්බුද ගණනාවකට මුහුණ දෙමින් සිටින බව පෙනේ. ලෝක ආර්ථිකයේ සිදු වන විවිධ තත්ත්ව ද ඒ සඳහා බලපා තිබේ. ඒ අනුව ලෝක ආර්ථිකයේ වන බලපෑම හා කඩා වැටීමෙන් අපේ රටේ ආර්ථිකයට වන බලපෑම් එකිනෙක සමපාතව සැලකිල්ලට ගත යුතුය. ශ්‍රී ලංකාවේ ආර්ථිකය ලෝක ආර්ථික හා හුදෙකලාව කථා කිරීම ප්‍රායෝගික නොවේ. උදාහරණයක් ලෙස ගත හොත්, ලෝක ආර්ථිකයේ වෙළෙඳාම කඩා වැටීම, සංචාරක ව්‍යාපාරය බිඳ වැටීම, ශ්‍රම වෙළෙඳපොළ කඩා වැටීම වැනි ඍජු සාධක අපට බලපා ඇති බව පෙනේ. මේ නිසා කවරකු හෝ ශ්‍රී ලංකාවේ ආර්ථිකය පිළිබඳ හුදෙකලාව කථා කිරීම ප්‍රායෝගික නොවේ. ජනතාවට යථාර්ථය වසන් කරමින් සුරංගනා ලෝකයක් මවා පෑමට යෑමෙන් සිදු වන්නේ මහත් ව්‍යසනයකි.

අභියෝග හඳුනා ගැනීම

ශ්‍රී ලංකාවේ ආර්ථිකය තුළ ප්‍රධාන අර්බුදයක් ලෙස දැකිය හැක්කේ, රජයේ ආදායම් බිඳ වැටීමය. 2019 වර්ෂයේ දී මේ රජය බලයට පත් වීමත් සමඟම, වැට් බදු හා අනෙකුත් සේවා ගාස්තු අඩු කිරීම නිසා රජයට බිලියන ගණනාවක ආදායමක් අහිමි විය. පාස්කු ප්‍රහාරයෙන් පසු බිඳ වැටුණු සංචාරක කර්මාන්තයත්, අනෙකුත් කර්මාන්ත සඳහා උත්තේජනයක් දීම වෙනුවෙන් බදු ප්‍රතිසංස්කරණ හඳුන්වා දුන් බව රජය ප්‍රකාශ කර තිබිණි. 2020 වර්ෂයේ ආරම්භයත් සමඟ කොවිඩ් අර්බුදය මතු විය. ඒ මඟින් ද රජයේ සැබෑ බදු ආදායම් මාර්ග අහිමි විය. සංචරණ සීමා හේතුවෙන් තෙල් පරිභෝජනය අඩු වීම, සුරාබදු ආදායම අහිමි වීම, වාහන ආනයන ගාස්තු අඩු වීම ආදි වශයෙන් ආදායම් මාර්ග අහිමි වීම, රජයේ එදිනෙදා ආදායම් අඩු වීමට දැඩි ලෙස බලපා තිබේ.

රජය මුහුණ දෙන අනෙක් ප්‍රධාන ගැටලුව ලෙස දැකිය හැක්කේ, විදේශ විනිමය ආදායම් අහිමි වීමය. 2019 වර්ෂයේදී සංචාරක ව්‍යාපාරයෙන් අමෙරිකන් ඩොලර් කෝටි තුන්සිය පනහ ඉක්මවූ විදේශ විනිමය ආදායම් රැස් කර ගෙන තිබිණි. මේ ආදායම් මුළුමනින්ම අහිමි වීම, ආර්ථිකයට දරා ගත නොහැකිය. එම කර්මාන්ත යෙන් ලැබෙන ආදායම අහිමි වීමත්, මේ ක්ෂේත්‍රය තුළ නියැළුණු බොහෝ පිරිසකගේ රැකියා අහිමි වීමත්, රට තුළට ගැටලු ඇති කර තිබේ. එසේ ම තව දුරටත් විදේශ ආයෝජනවල බිඳ වැටීම, විදේශ විනිමය බිඳ වැටීමට ප්‍රබලව බලපා ඇත. දිගින් දිගටම අහිමි වන විදේශ ආදායම් ආරක්ෂා කර ගන්නේ කෙසේ ද? විදේශ සංචිත ආරක්ෂා කර ගන්නේ කෙසේ ද? ඒ සඳහා විකල්ප ක්‍රමවේද මොනවා ද? යන්න අප ඉදිරියේ ඇති අභියෝගය.

මෙහිදී රජයට කෙටිකාලීනව කළ හැකි ක්‍රමවේදයක් වන්නේ, ආනයන සීමා කිරීමය. ඒ අනුව 2020 වර්ෂයේදී රජය රථ වාහන ආනයනය මුළුමනින්ම සීමා කළේය. ඒ මඟින් විදේශ සංචිත බොහෝ ප්‍රමාණයක් ආරක්ෂා කර ගෙන තිබේ. තව දුරටත් ආනයනය සීමා කරමින් විදේශ සංචිත ආරක්ෂා කර ගැනීමත්, ද්‍රවශීලතාව ආරක්ෂා කර ගැනීමත් රජයේ අපේක්ෂාව වී ඇත.

නව ආනයන සීමා කොන්දේසි

රටක ආනයන සීමා කළ හැකි ක්‍රමවේද කිහිපයකි. ඒ, ආනයන මත බදු පනවා ආනයන අධෛර්යවත් කරමින්, ආනයන සීමා කිරීමය. තවත් ක්‍රමවේදයක් වන්නේ, කෝටා ක්‍රමයෙන් භාණ්ඩ ආනයනය සඳහා ඉඩ සැලැස්වීමය. තෝරා ගත් භාණ්ඩ, තෝරා ගත් ප්‍රමාණයකට පමණක් ආනයනය කිරීම සඳහා ඉඩකඩ සැලසීම ද කළ හැකිය. තවත් ක්‍රමවේදයක් වන්නේ, ආනයන මුළුමනින්ම තහනම් කිරීමය. පසු ගිය වසරේ රජය කහ සහ මුං ඇට සඳහා ද මේ ක්‍රමවේදය අනුගමනය කර තිබේ. තවත් ක්‍රමවේදයක් වන්නේ, ආනයන සඳහා කොන්දේසි පැනවීමය. නව ආනයන කොන්දේසි යටතේ රජය අපේක්ෂා කරන්නේ මේ වකවානුව තුළ දී ආනයන සීමා කිරීමය. මෙය බදු පැනවීමක් ලෙස අර්ථ නිරූපණය කිරීම නිවැ‍රැදි නොවේ. කෙසේ නමුත් සමාජය තුළ මෙය බදු පැනවීමක් ලෙස අර්ථ නිරූපණයක් වන බව පෙනේ.

පසු ගිය දිනක මහ බැංකුව මඟින් තෝරා ගත් අත්‍යවශ්‍ය නොවන භාණ්ඩ වර්ග හයසිය විසි තුනක් සඳහා නව ආනයන සීමා කොන්දේසි පනවා තිබේ. මෙහි අර්ථය කුමක් ද? යන්න පැහැදිලි කර ගත යුතුය. සාමාන්‍යයෙන් ආනයනකරුවකු විදේශයකින් භාණ්ඩ ආනයනයේ දී බැංකුවකින් එම භාණ්ඩ සඳහා අදාළ සමාගමට ඩොලර් හෝ විදේශ ව්‍යවහාර මුදල් ඒකකයකින් හෝ එම ගෙවීම් කිරීමේ පොරොන්දු පත්‍රයක් වශයෙන් ණයවර ලිපි විවෘත කළ යුතුය. මෙයට පෙර පැවැති කොන්දේසිය වී ඇත්තේ, එම ණයවර ලිපි ආරම්භයේ දී භාණ්ඩ ආනයනකරු සියයට විස්සත් විසි පහත් අතර ප්‍රමාණයක මුදලක් තැන්පත් කළ යුතු බවය. එම මුදල් තැන්පතු වෙන් පසු දේශීය බැංකුව මඟින් විදේශීය බැංකුව වෙත අදාළ භාණ්ඩ සම්බන්ධ යෙන් ණයවර ලිපි නිකුත් කළ බව සහතික වේ. වරායට භාණ්ඩය ගොඩ බෑ පසුව දේශීය සමාගම අදාළ භාණ්ඩයේ සියලු අවශ්‍යතා සම්පූර්ණ කළ බව සහතික වීමෙන් පසු, විදේශීය සමාගමට එම ඩොලර් මුදල් නිකුත් කෙරේ.

රජයේ නව කොන්දේසිය යටතේ සඳහන් කෙරුණු භාණ්ඩ වර්ග හයසිය විසි තුනක් ආනයනයේදී, ණයවර ලිපි විවෘත කරන විට සියයට සියයක් මුදල් එම ආනයන සමාගමේ බැංකු ගිණුමෙහි පැවතිය යුතුය යන කොන්දේසිය පනවා තිබේ. යම් අවස්ථාල බැංකු කළමනාකරුවන්, අදාළ සමාගම යහපත් සබඳතා හෝ යහපත් බැංකු ගනු ගනුදෙනුකරුවකු නම් හෝ මෙයට පෙර අයිරා පහසුකම් යටතේ ණයවර ලිපි ආරම්භ කෙරුණු අවස්ථා නැතුවා නොවේ. එහෙත් මේ කොන්දේසිය යටතේ බැංකුවලට ආනයනික සමාගම් සඳහා ණය අයිරා පහසුකම් සැලසිය නොහැකිය.

ආනයන සීමා කරන මේ භාණ්ඩ ලැයිස්තුව සැලකීමේදී බොහෝ භාණ්ඩ වර්ග අත්‍යවශ්‍ය නොවන භාණ්ඩ ලෙස හුවා දැක්විය හැකිය. තෝරා ගත් සමහර භාණ්ඩ දේශීයව දැනටමත් නිපදවන සහ නිපදවිය හැකි භාණ්ඩ වර්ග ලෙස පෙනී යයි.

මහ බැංකු දත්ත

මහ බැංකුව නිකුත් කළ දත්තවලට අනුව, භාණ්ඩ වර්ග හයසිය විසි තුනක් ආනයනය සඳහා 2019 වර්ෂයේ දී අමෙරිකන් ඩොලර් මිලියන 1057.9 ක් ද, 2020 දී එය අමෙරිකන් ඩොලර් මිලියන 871.2ක් ද, 2021 වර්ෂයේ ජනවාරි සිට ජූනි දක්වා කාල පරිච්ඡේදය තුළ දී අමෙරිකන් ඩොලර් මිලියන 753.4ක් ද වියදම් වී තිබේ. මාස 6ක කාල පරිච්ඡේදයක් සඳහා මෙතරම් විශාල ප්‍රමාණයක භාණ්ඩ ආනයනය කර තිබීම පිළිබඳ නැවත සලකා බැලිය යුතුය. මෙහි රහස කුමක් විය හැකි ද?

අපට පෙනෙන ආකාරයට මේ භාණ්ඩ සීමා කිරීම් පිළිබඳ තොරතුරු පිටතට ගලා යෑමෙන්, මහා පරිමාණ ජාවාරම්කරුවන් සහ ව්‍යාපාරිකයන් විශාල වශයෙන් භාණ්ඩ තොග ආනයනය කර ඇති බව පෙනී යයි. අනිවාර්යයෙන් වෙළෙඳ මාෆියාව විසින් ඉදිරියේදී මේ භාණ්ඩවල මිල ගණන් වෙළෙඳපොළ තුළ ඉහළ දමනවා ඇත. එය වෙළෙඳපොළ හැසිරීමේ ස්වභාවයය. භාණ්ඩ කාණ්ඩ අනුව සැලකීමේදී වැඩි ප්‍රමාණයක් ආනයනය කර ඇත්තේ විදුලි සන්දේශ උපකරණ (ජංගම දුරකතන හා ස්ථාවර දුරකතන) සඳහාය. ඒ සඳහා අමෙරිකන් ඩොලර් මිලියන 250.3ක් වැය කර ඇත. ඩොලර් මිලියන් 160.3ක් වැය කරමින් රෙදිපිළි හා උපාංග ආනයනය කර තිබීම ද සැලකිල්ලට ගත යුතුය. ගෘහ උපකරණ සහ ගෘහ භාණ්ඩ සඳහා අමෙරිකන් ඩොලර් මිලියන 63.3ක් ද, පලතුරු (නැවුම් ඇපල්, මිදි, දොඩම්, පලතුරු යුෂ) ආනයනය සඳහා අමෙරිකන් ඩොලර් මිලියන 33.6ක් වැය කිරීම තුළ දැක ගත හැකි වන්නේ, තව දුරටත් මේ නිෂ්පාදන රට තුළ පාරිභෝජන කිරීමේ අවශ්‍යතාවක් පවතින්නේ ද යන්නය.

දේශීය කර්මාන්ත නැංවීමේ කතිකාව

මේ ආනයන සීමා පිළිබඳ සාකච්ඡාවට ගැනෙන අවස්ථාවේ දේශීය කර්මාන්ත මඟින් රට නැවතත් ගොඩනැඟිය යුතුය යන කතිකාව ඇති වී තිබේ. බහුතරයකගේ අදහස වන්නේ මේ අර්බුදකාරි තත්ත්වය, රටක් වශයෙන් අපට ලැබුණු හොඳ අවස්ථාවක් ලෙස සලකා, ‍ප්‍රයෝජනයට ගත යුතු බවය. එසේ නම් මේ ආනයන සීමා ප්‍රතිපත්ති තව දුරටත් අඛණ්ඩවව තෝරා ගන්නා ලද භාණ්ඩ සම්බන්ධයෙන් ක්‍රියාත්මක වන්නේය යන සහතිකය රජය මඟින් ලබා ගත යුතුය. ඇඟලුම් හා ඇඟලුම් ආශ්‍රිත නිෂ්පාදන තව දුරටත් ආනයනය කිරීම සැලකිල්ලට ගත යුතුය. දේශීය නිෂ්පාදකයන් ඒ සඳහා උනන්දු කළ යුතුය. මේ භාණ්ඩ ආනයනය කිරීම අපරාධයකි. අපගේ ඇඟලුම් අපනයනවලින් සියයට හතළිස් හයක් ම අමෙරිකා එක්සත් ජනපදයට අපනයනය වේ. අමෙරිකානුවන්ට සරිලන ඇඳුම් නිෂ්පාදනය කරන අප, දේශීය අවශ්‍යතා සපුරා නොගන්නේ ඇයි ද? යන්න ගැටලුවකි. ටයර් කර්මාන්තය සැලකීමේදී ශ්‍රී ලංකාවේ වෙළෙඳපොළට නොවූවත් විදේශීය වෙළෙඳපොළ ගණනාවක් සඳහා ටයර් නිෂ්පාදනය කරන සමාගම් රට තුළ පිහිටුවා තිබේ. රටේ අවශ්‍යතාවලට ගැළපෙන පරිදි නිෂ්පාදන සිදු කිරීම සඳහා මොවුන් පෙලඹවිය යුතුය; ඔවුන් දිරිගැන්විය යුතුය. 

ආනයන ආදේශන කර්මාන්ත

ආනයන සීමා කරන්නේ නම්, ඒ සඳහා විකල්ප ආදේශන රට තුළ නිෂ්පාදනය කළ යුතුය. එළවළු, පලතුරු අවශ්‍යතා ඉල්ලුමට සරිලන පරිදි නිෂ්පාදනය කළ යුතුය. මහා පරිමාණ කෘෂිකර්මාන්තයක් ඇති කරන තාක්, දේශීය වශයෙන් පහළ මිල ගණන් යටතේ කෘෂිකාර්මික භාණ්ඩ මිල අඩු කිරීම් හෝ පාලනය කිරීම කළ නොහැකිය. රට තුළ වාණිජ කෘෂිකර්මාන්තයක් ඇති කිරීම සඳහා ප්‍රමුඛතාව දීම වැදගත්ය. ඉදිකිරීම් කර්මාන්තයට අවශ්‍ය ටයිල්, රට තුළම නිෂ්පාදනය කිරීමට අමුද්‍රව්‍ය සොයා ගත හැකිය. මේ මඟින් විශාල විදේශීය විනිමය ප්‍රමාණයක් ඉතිරි කර ගත හැකිය. තව දුරටත් ටයිල් කර්මාන්තය සඳහා ආයෝජකයන් දිරිමත් කිරීමෙන්, වෙළෙඳපොළ තුළ මිල ගණන් අඩු කළ හැකිය. ඒ මඟින් පාරිභෝගිකයාට සහනයක් සැලසිය හැකිය. රජය මඟින් නිෂ්පාදකයාට දේශීය වෙළෙඳපොළ ආරක්ෂා කර ගැනීම සඳහා සහතිකයක් දීම ඉතා වැදගත්ය. එසේ නොවුණ හොත් සිදු වන්නේ, නැවත වතාවක් දේශීය ව්‍යාපාරිකයා කඩා වැටීමය‍.

සමස්තයක් වශයෙන් රජයක් ජනතාවගේ සියලු සිතුම් පැතුම් ඉ‍ටු කරන්නා සේ ම, ආර්ථිකය ශක්තිමත්ව ඉදිරියට පවත්වා ගැනීම කළ යුතුය. සමහර තීන්දු තීරණ ගැනීමේදී, ජනතා අප්‍රසාදය රජය වෙත යොමු වීම ස්වාභාවිකය. ගන්නා යම් යම් තීරණ මඟින් වාසි සහ අවාසි ඇති විය හැකිය. එය පොදු ධර්මතාවකි. මෙහිදී සලකා බැලිය යුත්තේ ජනතාවගේ ආර්ථිකයේ සමස්ත රඳා පැවැත්මයි. ඒ අනුව ආනයන සීමාවල වාසිය ඉදිරියේදී ජනතාවටම හිමි වනු ඇත.

නව අදහස දක්වන්න