මේ කවුද? මොකද කරන්නෙ! | දිනමිණ

මේ කවුද? මොකද කරන්නෙ!

ඊයේ අපගේ සහෝදර පත්තර ආයතනයක් වෙත රහස් පොලීසිය කඩාවැදී ඇත. මෙය කාගේ අවශ්‍යතාවක් මත, කාගේ නියෝගයක් මත සිදු වූවක්ද?

වත්මන් ජනාධිපතිවරයා රජය විවේචනය කිරීමට හා අඩුපාඩු පෙන්වා දීමට ජනමාධ්‍යවලට පූර්ණ නිදහස දී ඇත. අගමැතිවරයා ජනමාධ්‍ය ආයතනවල මිතුරකු වන අතර, කිසිදු ජනමාධ්‍යයකට ඇඟිල්ල දිගු කරන්නේ නැත. අපේ ජනමාධ්‍ය අමාත්‍යවරයා යනු කවරෙක්ද? ඔහු නිදහස් මාධ්‍ය ව්‍යාපාරය ගොඩනැඟීමට උර දුන් පුද්ගලයෙකි. අදටත් ඔහුගේ මතය වන්නේ රටක ජනමාධ්‍යවලට නිදහසේ ක්‍රියා කිරීමට ඉඩ දිය යුතු බවයි. ඩලස් අලහප්පෙරුම නිදහස් පත්තරකාරයකු ලෙස ද ප්‍රකටව සිටියේය. අද ජනමාධ්‍ය අමාත්‍ය ධුරය දරන ඔහු සමාජ මාධ්‍යවලට පවා නිදහසේ ක්‍රියා කිරීමට ඉඩ දිය යුතු බව ප්‍රසිද්ධියේ කියා සිටී. මෙබඳු සුභදායක පරිසරයක ජනමාධ්‍ය ආයතනවලට රහස් පොලීසිය එවන්නේ කවුරුද?

ජනාධිපතිට, අගමැතිට, ජනමාධ්‍ය ඇමැතිට වඩා බලවතකු පත්තර ආයතනවලට කඩාවදින බව පෙනෙයි. මීට පෙර ද මාධ්‍යවේදීන් හඹා යමින් ප්‍රශ්න කරන ආකාරයක් ගැන විවිධ තොරතුරු වාර්තා වී තිබිණි. මෙය හොඳ තත්ත්වයක් නොවේ. මානව හිමිකම් කවුන්සිලය මීට දින කිහිපයකට පෙර ශ්‍රී ලංකාවේ පවතින සාමය, සහජීවනය හා ප්‍රජාතන්ත්‍රවාදය ගැන කිසියම් තෘප්තිමත් බවකින් කතා කර තිබිණි. එහෙත් ශ්‍රී ලංකාව ගැන අවධානයකින් පසු වන බව ද මානව හිමිකම් කොමසාරිස්වරිය දන්වා තිබේ. මෙබඳු පසුබිමක පත්තර ආයතනවලට රහස් පොලීසිය කඩා වදින්නේ අපේ අන්තර්ජාතික ප්‍රතිරූපය විනාශ කිරීමට ද?

මහජනයාගේ අවධානයට ලක් වූ සුදුලූනු වංචාවක් ගැන තොරතුරු සෑම ජනමාධ්‍යයකින්ම හෙළිදරවු කර තිබිණි. එය මාධ්‍යකරුවාගේ අයිතියක් වන අතර, ඊට බාධා කිරීමට කිසිවකුට අයිතියක් නැත. වෙළෙඳ අමාත්‍යවරයා මේ සම්බන්ධයෙන් සොයා බලන ලෙස පොලීසියෙන් ඉල්ලීමක් කර තිබිණි. රාජ්‍ය නිලධාරීන් වංචාවලට සම්බන්ධ නම්, ඔවුන් ගැන සොයා බලා නීතිය ක්‍රියාත්මක කිරීම රජයේ වගකීම වෙයි. ඒ වගකීම් පසෙක තබා, රහස් පොලීසිය මාධ්‍යවේදීන් පසුපස හඹා යන්නේ නම් එය බරපතළ වරදකි. වෙළෙඳ අමාත්‍යවරයා පෙන්වා දී ඇති පරිදි නිලධාරීන් කිහිප දෙනකු ඉහත වංචාවට සම්බන්ධ බව පෙනී ගොස් තිබේ. පොලීසිය ඔවුන් අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කරනු වෙනුවට, මාධ්‍යවේදීන් පරීක්ෂා කරන්නේ කුමකටද?

ජනමාධ්‍ය ආයතනවලට රහස් පොලීසිය කඩාවැදීම ගැන මතවාද කිහිපයක් මේ වන විට නිකුත් වී ඇත. ජනමාධ්‍ය අමාත්‍යවරයා කියා සිටින්නේ මේ ක්‍රියාව මුළුමනින්ම හෙළා දකින අතර, සිද්ධිය පිළිබඳ සොයා බලන බවයි. පොලිස් දෙපාර්තමේන්තුව ඇතුළු මහජන ආරක්ෂාව භාර අමාත්‍යවරයා කියා සිටින්නේ තමන් කිසි විටෙක ජනමාධ්‍ය ආයතනවලට රහස් පොලීසිය යවැන්නැයි උපදෙස් දී නැති බවයි. ඒ පිළිබඳ වහා සොයා බලන බව ද අමාත්‍යවරයා පවසා ඇත. මේ සිද්ධිය ගැන දැනගත් අගමැතිවරයා අවධාරණය කර ඇත්තේ තමා හැම විටම නිදහස් ජනමාධ්‍යයක් වෙනුවෙන් පෙනී සිටින බව හා මේ ගැන වහා සොයා බලන බවයි. අප මුලින් සඳහන් කළ පරිදි රටේ නායකයන්ට වඩා බලවත් පුද්ගලයකු මෙය පිටුපස සිටිය යුතුය.

නොයෙක් ආයතනවල විවිධාකාර හොරකම් සිදු වෙයි. ඇතැම් හොරකම්වලට දේශපාලකයෝ සම්බන්ධ වෙති. ඇතැම් හොරකම්වලට නිලධාරීහු සම්බන්ධ වෙති. සමහර අවස්ථාවල දෙපාර්ශ්වයම සහයෝගයෙන් වැඩේ දෙති. ඒ සහයෝගය ඉතා භයානකය. එවිට හොරකමට නිල බලයක් ද ලැබේ. සමහර දේශපාලකයන් තක්කඩි නිලධාරීන් ආරක්ෂා කරනවා වීමට පුළුවන. යහපාලන සමයේ මහ බැංකු වංචාවට සම්බන්ධ ඉහළ නිලධාරීන්ට එදා රජයේ ඉහළම තැන්වලින් ආරක්ෂාව හා රැකවරණය ලැබිණි. අදටත් එකී හොර නිලධාරීන් නීතිය හමුවට ගෙන ඒමට හැකි වී නැත. දේශපාලනය, හොරකම හා නිලධාරීන්ගේ කෙරුවාව එකිනෙකට බැඳී පවතී. මේවා වෙනස් කළ යුතුය.

රටේ ඇතැම් විද්යුත් ජනමාධ්‍ය උදේ සිට රෑ වන තුරුම ආණ්ඩුව විවේචනය කරයි; උද්ඝෝෂණ ලොකු කර පෙන්වයි; රජයේ අඩු පාඩු උලුප්පා දක්වයි. එහෙත් ජනාධිපතිවරයා හෝ අගමැතිවරයා හෝ ඒ ජනමාධ්‍ය ආයතනවලට තරවටු කරන්නේ නැත. රජය සතු ජනමාධ්‍යවලට පවා න්‍යාය පත්‍ර දීමට රාජ්‍ය නායකයන් ක්‍රියා කර නැත. පසුගිය කාලයට වඩා ජනමාධ්‍ය නිදහසක් අද පවතී. රාජ්‍ය ජනමාධ්‍ය විපක්ෂයට ද ඉඩ දෙන අතර, ආණ්ඩුවේ අඩු පාඩු ද පෙන්වා දෙයි. මෙබඳු සුභදායි පරිසරයක ජනමාධ්‍ය සංස්කෘතිය විනාශ කිරීමට මාන බලන මේ අදිසි හස්තය කුමක්දැයි වහා සොයා බැලිය යුතුය.

ජනමාධ්‍යකරුවාගේ නිදහස හා අයිතීන් වෙනුවෙන් කොන්දේසි විරහිතව පෙනී සිටීමට අපි සූදානම් වී සිටිමු. මාධ්‍යකරුවාට දූෂණ, වංචා ගැන සෙවීමට හා ඒවා හෙළිදරවු කිරීමට පූර්ණ අයිතියක් තිබේ. එය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව හෙවත් රටේ මූලික නීතියෙන් හිමි වී ඇති පරම අයිතියකි. කිසිදු ජගතකුට එය ඉක්මවා කටයුතු කළ නොහැකිය. මාධ්‍යකරුවා පමණක් නොව; ඔහුගේ ලිපි ලේඛන, සටහන් පොත් පරීක්ෂා කිරීමේ අයිතියක් පොලීසියට නැත. පොලීසිය භාර අමාත්‍යවරයාට හෝ පොලිස්පතිවරයාට ද එබඳු නිල අයිතියක් නැත. අපි මේ දෙස ඉතා පරීක්ෂාවෙන් බලා සිටින්නෙමු. ජනමාධ්‍ය ආයතනවලට රහස් පොලීසිය කඩා වැදීම වහා නතර විය යුතුය. එලෙසම මේ සදාචාර විරෝධි ක්‍රියාවට උපදෙස් දුන් අය ද වහා හෙළිදරවු කළ යුතුය.

නව අදහස දක්වන්න