ලක්ෂ 43ක් දරුවන්ගේ අනාගතය | දිනමිණ

ලක්ෂ 43ක් දරුවන්ගේ අනාගතය

ගුරු විදුහල්පති වෘත්තීය සමිති සන්ධානය රජයේ යෝජනාවලට එකඟ වී නැත. අරගලය දිගටම ගෙන යන බව එම සමිති සන්ධානය කියා සිටී. අගමැතිවරයා සමඟ පැවැති සාකච්ඡාව සුහද ලෙසින් අවසන් වූ බැවින් ගැටලුව විසැඳී පාසල් විවෘත කිරීම පහසු වනු ඇතැ’යි මවුපියන් බලාපොරොත්තු දල්වා සිටිය ද එය එසේ සිදු වූයේ නැත. එහෙත් තවත් වෘත්තීය සමිති කිහිපයක් පෙන්වා දෙන්නේ විසි එක දා පාසල් විවෘත කිරීමට සම්පූර්ණ සහයෝගය දෙන බවය. ගුරු විදුහල්පති ක්ෂේත්‍රයේ පිරිසක් අගමැතිවරයාගේ යෝජනාවලට එකඟ වෙමින් අධ්‍යාපන කටයුතු ආරම්භ කිරීමට සූදානමින් සිටිති. තව කණ්ඩායමක් ඊට එරෙහිව දිගටම සටන් කරති.

ගුරු-විදුහල්පති වර්ජනයට දින අනූ ගණනක් ගෙවී ඇත. මේ අතර රජය ඉදිරිපත් කළ කිසිදු යෝජනාවකට වෘත්තීය සමිති සන්ධානය එකඟ නැත. සන්ධානය දැඩි හිතුවක්කාරී ස්ථාවරයක පසු වන බව පෙනෙන්නට තිබේ. ආණ්ඩුව හා ආණ්ඩුවේ නායකයන් නම්‍යශීලී ප්‍රතිපත්තියක් අනුගමනය කරමින් පියවර කිහිපයක් පසුපසට ගත්ත ද වෘත්තීය සමිති සන්ධානය කිසිදු ආකාරයකින් නම්‍යශීලී වී නැත. ඒ හැරත් ඔවුන්ගේ හැසිරීම තර්ජනාත්මකය. රටේ ආර්ථික තත්ත්වය, දරුවන්ගේ අධ්‍යාපනය හා රට මුහුණ දී ඇති දුෂ්කර අවස්ථාව ගැන කිසිදු තැකීමක් මේ සන්ධානයට නැත. වෘත්තීය සිමිති පැත්තෙන් බලන විට එය හරි ලෙස පෙනී යන්නට පුළුවන. එහෙත් ජනතාවගේ පැත්තෙන් බලන විට එය මුළුමනින්ම වැරැදිය.

ගුරු විදුහල්පති වර්ජනයෙන් බැට කන්නේ නිදහස් අධ්‍යාපනයේ ප්‍රතිලාභ ලබන අහිංසක දරු පිරිස යැයි කිව හැකිය. අන්තර්ජාතික පාසල් නිසි පරිදි පැවැත්වෙයි. පෞද්ගලික පන්ති වෙනදාටත් වඩා හොඳින් ‘ඔන් ලයින්’ ක්‍රමය මත පැවැත්වෙයි. වර්ජනයේ යෙදෙන ඇතැම් ගුරුවරු ද තම ටියුෂන් පන්ති ‘ඔන්ලයින්’ ක්‍රමයට පවත්වාගෙන යති. උතුරු පළාතේ ගුරු වර්ජනයක් ඇත්තේම නැති තරම්ය. එහි ගුරුවරුන්ගෙන් සැලැකිය යුතු පිරිසක් නොමිලේ ‘ඔන් ලයින්’ පන්ති පවත්වාගෙන යති. නිදහස් අධ්‍යාපනය ගැන ඒ හැටි විශ්වාසයක් නැති පොහොසත් පවුල්වල දරුවන්ට නිවෙසට එන ගුරුවරු උගන්වති. මේ පසුබිම නිරීක්ෂණය කරන විට අයුක්තිය හා අසාධාරණය සිදු වී ඇත්තේ කුමන සමාජ කණ්ඩායමටදැ’යි පැහැදිලිව දැක ගත හැකිය.

මේ වසරේ මුල් කාර්තුවේ පාසල්වල පළමු වන ශ්‍රේණියට බඳවා ගත් දරුවන් ගුරුවරුන් දැක නැත. සමහර ප්‍රදේශවල ‘ඔන්ලයින්’ අධ්‍යාපනය සුළු කාලයක් පැවැති අතර, වර්ජනය නිසා එය නැවතිණි. පළමු වන වසරේ සියලු දරුවන් අනාථ වී ඇතැ’යි කීම නිවැරැදිය. බස්නාහිර පළාතේ පාසල්වල පළමු වන ශ්‍රේණිය පවත්වා ඇත්තේ දින කිහිපයක් පමණි. ගුරුවරුන් දරුවන් හඳුනන්නේ නැත. දරුවන් ගුරුවරුන් හඳුනන්නේ නැත. වසර ගෙවී යෑමට තවත් ඇත්තේ මාස දෙකක් පමණි. ඊළඟ වසරේදී ඔවුන් දෙක ශ්‍රේණියට ඇතුළත් විය යුතුය. දරුවන් දෙක ශ්‍රේණියට යන්නේ හරි අධ්‍යාපන පසුබිමක් නැතිවය. පරිසරය, අකුරු, වචන හඳුනන්නේ නැතිව අධ්‍යාපනයේ ඊළඟ පියවර තැබිය නොහැකිය. කොවිඩ් වසංතය නිසා පාසල් අධ්‍යාපනය බිඳ වැටුණු අතර ගුරු වර්ජනය නිසා එය හොඳටම විනාශ වී ඇති බව පෙනී යයි. යුනිසෙෆ් ආයතනය මෑතකදී එළිදැක්වූ වාර්තාවක සටහන් කර තිබුණේ එන්නත් දුන්නත්-නැතත් පාසල් අධ්‍යාපනය පටන් ගැනීමට පියවර ගැනීම කළ යුතු බවය.

අපේ මනෝ වෛද්‍යවරයකුගේ වාර්තාවක සඳහන් වන අන්දමට දරුවන් මානසික ප්‍රතිකාර ලබා ගැනීම සඳහා රෝහල්වලට පැමිණීම 20%කින් වර්ධනය වී ඇති බවය. වසංගත තත්ත්වය මත රෝහල්වලට පැමිණීමට මැළි වන විශාල පිරිසක් සිටිති. ඒ අය ද ගණනය කළ හොත් දරුවෝ විශාල ප්‍රමාණයක් මානසික රෝගවලට ගොදුරු වී සිටිති. ඊට ප්‍රධාන හේතුවක් වන්නේ පාසල් වසා තැබීම හා අධ්‍යාපනය අතරමඟ ඇන හිටීමය. තව දුරටත් පාසල් වසා තැබුව හොත් හා ඉගෙනීම් ක්‍රියාවලිය නතර වී තිබුණ හොත් එය බරපතළ සමාජ අර්බුදයක් බවට පරිවර්තනය වනු ඇත. දරුවන් පමණක් නොව; මව්පියෝ ද මේ කාරණය මත තුෂ්ණිම්භූත වී සිටිති. මව්පියෝ ගුරුවර්ජනයට දැඩි ලෙස විරෝධය දක්වන අතර ස්ථාන කිහිපයකදී උද්ඝෝෂණ විසිරුවා හරින්නට කටයුතු කළහ. ගුරු වෘත්තීය සමිති කෙරෙහි එල්ල වන මහජන විරෝධය දිනෙන්-දින වර්ධනය වන බව දැක ගත හැකිය.

සිසුන් 200ට අඩු කුඩා පාසල් විවෘත කිරීමට තවත් ඇත්තේ දින කිහිපයක් පමණි. පාසල් විවෘත කිරීමට අදාළ මූලික රුස්වීම කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරුන්ගේ නායකත්වය යටතේ මේ දිනවල පැවැත්වෙයි. ඒවා වර්ජනය කරන්නැ’යි වෘත්තීය සිමිති සන්ධානය කියා සිටින අතර, ඒවා වර්ජනය නොකොට පාසල් විවෘත කිරීමට සහයෝගය දක්වැන්නැ’යි විදුහල්පතිවරුන්ගේ සංගම් කිහිපයක් ඉල්ලා සිටිති. මේ අතර ස්වාධීනව ක්‍රියා කරන විදුහල්පතිවරුන්ට හා ගුරුවරුන්ට වෘත්තීය සිමිති සන්ධානයෙන් තර්ජන එල්ල වන බව ද වරින් වර වාර්තා වෙයි. එය මුළුමනින්ම වැළැක්විය යුතුය. වෘත්තීය අරගලවලට ඉඩ දිය යුතු වුව ගුරු තර්ජනවලට ඉඩ දිය යුතු නැත.

ගුරුවරුන් යනු රටේ සම්මානනීය වෘත්තියක නිරත වන තීරණාත්මක සාධකයක් බව සැබෑවකි. ඔවුන්ගේ වැටුප් වැඩි වීමකට කිසිවකු විරුද්ධ වන්නේ නැත. එහෙත් රජයකට කළ හැකි සීමාවක් තිබේ. කොවිඩ් වසංගතය තුළ ලෝකයේ සියලු රාජ්‍යයන්වල ආර්ථිකයන් දුර්වල වී ඇත. ඒ අනුව බොහෝ කටයුතු කල් දමන්නට හෝ කපා හරින්නට හෝ සෑම රටකටම සිදු වී ඇත. ගුරු විදුහල්පති ගැටලුව අද-ඊයේ ඇති වූවක් නොවේ. එහි ඉතිහාසය වසර විසි හතරකින් ඈතට දිව යන බව පැහැදිලිය. ආණ්ඩුව වැටුප් විසමතාව පිළිගෙන එය විසඳන බවට ද ප්‍රතිඥා දී ඇත. ඒ සඳහා දින වකවානුද දක්වා ඇත. ඒ පමණක් නොව මහා භාණ්ඩාගාරයේ තත්ත්ත්වය ද වෘත්තීය සිමිතිවලට පෙන්වා දී ඇත. මේ කිසිවකට කන්දීමට වෘත්තීය සමිති සන්ධානය සූදානම් නැත. මෙය හතළිස් තුන් ලක්ෂයක් වන පාසල් දරුවන්ගේ අවාසනාව විය යුතුය.

අවසන් ලෙස කිව හැක්කේ වෘත්තීය සමිතිවලට අවශ්‍ය ලෙස ආණ්ඩු කරන්නට බැරි බව පමණි.

 

නව අදහස දක්වන්න