වැඩ කළොත් පඩි ලැබෙයි! | දිනමිණ

වැඩ කළොත් පඩි ලැබෙයි!

ගුරු - විදුහල්පති සමිති සන්ධානය තවදුරටත් වර්ජනයෙහි යෙදෙන්නේ විසි එක් වැනිදා පාසල් විවෘත කිරීමට රජය ගත් තීරණය අභියෝගයට ලක් කරමින්ය. මේ තත්ත්වය බොහෝ දෙනකුගේ දැඩි විවේචනයට ලක් වන අතර ගරුතර මහා සංඝරත්නයේ ඉල්ලීම වන්නේ අපේ දරුවන්ගේ හෙට දවස පිළිබඳ අවධානය යොමු කොට වර්ජනය නවතා දමන ලෙසය. ඉගෙනීම් කටයුතු ආරම්භ කොට වැටුප් විසමතා ගැටලුව සාකච්ඡා මාර්ගයෙන් විසඳා ගැනීම වඩාත් කාලෝචිත තීරණය බව ද උන් වහන්සේ පෙන්වා දෙති. රාජ්‍ය නායකයෝ ආණ්ඩු හා මෙතෙක් ප්‍රකටව සිටි වෘත්තීය සමිති නායකයෝ ද හැම විටම මහා සංඝරත්නයට කන් දුන්හ. උන් වහන්සේලාගේ උපදේශ පිළිගත්හ. එහෙත් ගුරු විදුහල්පති වෘත්තීය සමිති සන්ධානය සංඝ රත්නයට ඇහුම්කන් දෙන බවක් පෙනෙන්න නැත.

මානව පැවැත්ම තුළ ගෞරවයට හා පිළිගැනීමට ලක් වන ඇතැම් සාධක නොසලකා හැරීම නිවැරැදි දෙයක් නොවේ. එය වීරත්වයක් සේ සලකන්නේ නම් එය මහා මුළාවකි; මෝඩකමකි. ඉතිහාසයේ හිතුවක්කාර රජවරු භික්ෂු; සංඝයාගේ අදහස් ප්‍රතික්ෂේප කොට විනාශයට පත් වූහ; මහජනයාගේ ගර්හාවට ලක් වූහ. ඕනෑම වෘත්තීය සමිතියක ක්‍රියාකාරකම් එක්තරා සීමාවකදී නැවතිය යුතුය. වෘත්තීය සමිතියක් යනු ආණ්ඩුවක් නොවේ. වෘත්තීය සමිති රට කරන හැටි ඉගැන්වීමට යා යුතු ද නැත. මහජනයාගේ බදු මුදලින් ජීවත් වෙමින් මහජනයාට අභියෝග කරන තැනකට වෘත්තීය සමිති තල්ලු වී ඇත් නම්; එතැන විශාල වැරැද්දක් තිබේ. ආණ්ඩුව හෝ මහජනයා හෝ එය නිවැරැදි කළ යුතුය. ආණ්ඩුවට අපහසු වන ඇතැම් දේවල් මහජනයාට කළ හැකි බව ද වෘත්තීය සමිති නායකයන් අවබෝධ කර ගත යුතුය.

මුරුත්තෙට්ටුවේ නායක හිමියන් ගුරු විදුහල්පති වෘත්තීය සමිති සන්ධානය ගැන අපූරු හැඳින්වීමක් කර තිබේ. උන් වහන්සේට අනුව මේ සන්ධානය කිසිදු සදාචාරයක් නැති වෘත්තීය සමිති එකමුතුවකි. එම සන්ධානය සමඟ සාකච්ඡා කිරීමට අගමැතිවරයා එකඟ වී නැත. සන්ධානයේ ඉල්ලීමට අනුව සාකච්ඡාව සඳහා අගමැතිවරයා එකඟ කරගෙන ඇත්තේ ගරුතර මුරුත්තෙට්ටුවේ හිමියන්ය. පැය කිහිපයක් පැවැති සාකච්ඡාවේදී කිසිදු වි‍රෝධතාවක් නොදැක්වූ වෘත්තීය සමිති නායකයන් ඉන් පිටතට පැමිණ යළි විරෝධතා මතු කර තිබේ. කොන්දක් ඇති වෘත්තීය සමිති නායකයන් එලෙස හැසිරෙන්නේ නැත. මුරුත්තෙට්ටුවේ හිමියන්ට අනුව එම සන්ධානයට සදාචාරයක් නැත. අපගේ පිළිගැනීමට අනුව එම සන්ධානයේ නායකයන්ට සදාචාරයක් පමණක් නොව, හරි කෙළින් සිටගත හැකි කොන්දක් ද නැත.

අගමැතිවරයාගේ සාකච්ඡාවේදී යෝජිත විසඳුම පිළිගත හැකි සාධාරණ එකකි. එම යෝජනාව රජය ක්‍රියාත්මක කරන්නේ ද යම් අවදානමක් භාර ගනිමින්ය. වැටුප් ගැටලු ඇත්තේ ගුරු වෘත්තියට පමණක්ම නොවේ. ගුරු - විදුහල්පති ගැටලු කඩිනම් ලෙස විසඳන්නේ නම් අනධ්‍යයන කාර්ය මණ්ඩලවල වෘත්තීය ගැටලු ද විසඳිය යුතු බව අනධ්‍යයන කාර්ය මණ්ඩල වෘත්තීය සමිති කියා සිටිති. ගුරු විදුහල්පති වෘත්තීය සමිති සන්ධානය වෑයම් කරන්නේ ක්ෂේත්‍ර ගණනාවක උද්ඝෝෂණ හා වර්ජන ඇති කොට රට නන්නත්තාර කිරීමට යැයි සිතන්න කරුණු තිබේ. වෘත්තීය සමිති සන්ධානය ගුරු ගැටලු විසඳීමට නොව; දේශපාලන අභිලාස ජය ගැනීමට උත්සුක වන බව පෙනෙයි. මේ නිසාම ඔවුන්ට ලැබුණු මහජන සහයෝගය දිය වී ගොස් ඇත. දැන් මේ සන්ධානයට එරෙහිව මහජනයා පෙළ ගැසෙන බවක් දැක ගත හැකිය.

ජාතික පුවත්පතක් මීට දින දෙකකට ඉහතදී අපූරු සිද්ධියක් වාර්තා කර තිබිණි. එය ගොඩනැඟෙන්නේ චරිත දෙකක් වටාය. එක් චරිතයක් වර්ජනයෙහි යෙදෙන එහෙත් ඔන්ලයින් ඔස්සේ ගජරාමෙට ටියුෂන් දෙන ගුරුවරයෙකි. අනෙක් චරිතය යතුරුපැදි අලුත්වැඩියා කරන්නෙකි. ගුරුවරයා ටවුමට ගොස් බඩු රැගෙන එන අතර යතුරුපැදිය කැඩිණි. ඔහු එය 'රෙපයාර්' කර ගැනීම සඳහා බාස් ළඟට රැගෙන ගියේය. මහත් උත්සාහයකින් පසු යතුරුපැදිය යථා තත්ත්වයට ගැනිණි. ගුරුවරයා ගාස්තුව විමසුවේය. පිළිතුර ලැබුණත් ගාස්තුව ගෙවීමට තරම් ප්‍රමාණවත් මුදලක් ඔහු ළඟ නොවීය. ගුරුවරයා ගෙදර ගොස් මුදල් රැගෙන එන පොරොන්දුව මත බයිසිකලය රැගෙන ගියේය. ඔහු ගිය පයින් නැවත මුදල් රැගෙන ආවේය; වැඩිපුර මුදලක් ද සමඟ ගාස්තුව ගෙවා දැමීය. බාස් වැඩිපුර මුදල ප්‍රතික්ෂේප කොට ගාස්තුව පමණක් ගත්තේය. ඒ සමඟ ගුරුවරයාට යමක් මතක් කර දුන්නේය. එනම්: වාරික ගාස්තු ගෙවීමට නොහැකි වූ නිසා මේ ගුරුවරයා බාස්ගේ එකම දරුවාගේ 'ඔන්ලයින්' ටියුෂන් නැවැත්වූ බවය. හුඟාක් ගුරුවරුන්ගේ හැටි එහෙමය.

පාසල් දරුවන්ට 'ඔන්ලයින්' ඉගැන්වීම් වර්ජනය කරන සිටින ඇතැම් ගුරුවරු 'ඔන්ලයින්' ඔස්සේ ගජරාමෙට ටියුෂන් කරගෙන යති. වර්ජනය ටියුෂන් ගුරුවරුන්ට ඉතා කදිම අවස්ථාවක් සලසාදී ඇත. ඇතැම් ගුරුවරුන්ට පමණටත් වඩා ශිෂ්‍යයෝ සිටිති. දැන් මව්පියන් වැඩි දෙනකුගේ අපේක්ෂාව වී ඇත්තේ තමන්ගේ දරුවන් කෙසේ හෝ ටියුෂන් වෙත යොමු කිරීමය. අන්තර්ජාතික පාසල් බොහොමයක් කෙරෙහි ද මව්පියන්ගේ අවධානය යොමු වී ඇත. ජීවිතයේ ඇතැම් දේවල් කැප කරමින් හෝ දරුවන්ට අධ්‍යාපනය දීමට බොහෝ මව්පියන් සූදානම්ය. නිදහස් අධ්‍යාපනය කෙරෙහි පවතින විශ්වාසය කෙමෙන් බිඳ වැටෙන්න පටන්ගෙන තිබේ. ග්‍රාමීය, නාගරික හා වතු යන අංශ තුනෙහිම දිළිඳු දරු පවුල් කෙරෙහි මෙය ඉතා අහිතකර ලෙස බලපායි. ගුරු වර්ජනයට දින අනූ ගණනක් ගෙවී ඇත. එය කවදා අවසන් වේදැයි කිව නොහැකිය.

මේ අතර සාධනීය තත්ත්වයන් කිහිපයක් ද දැකගත හැකිය. එක් සාධනීය තත්ත්වයක් වන්නේ විදුහල්පති සංගම් කිහිපයක් හා ගුරු සංගම් කිහිපයක් පාසල් විවෘත කොට ඉගැන්වීම් ක්‍රියාවලිය යළි ආරම්භ කිරීමට සහයෝගය දැක්වීමය. තව සාධනීය තත්ත්වයක් වන්නේ මව්පිය සමිති හා ආදි ශිෂ්‍ය සංගම් පාසල් විවෘත කිරීමට විශාල සහයෝගයක් දීමය. තවත් සාධනීය තත්ත්වයක් වන්නේ රටේ ප්‍රබල වෘත්තීය සමිති ගණනාවක් ගුරු විදුහල්පති වෘත්තීය සමිති සන්ධානයට සහයෝගය දැක්වීමෙන් ඉවත් වීමය. සන්ධානය ටිකෙන් ටික හුදෙකලා සටන් ව්‍යාපාරයක් බවට පත් වෙමින් සිටී. ඉදිරියට සිදු වන්නේ කුමක්දැයි අපි බලා සිටිමු.

නව අදහස දක්වන්න