මරණ දඬුවමෙන් නූලෙන් බේරුණු දි.මු. | දිනමිණ

මරණ දඬුවමෙන් නූලෙන් බේරුණු දි.මු.

1951 වර්ෂයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 13 වන සාමාජිකයා වෙමින් දේශපාලනයට එක් වූ දිසානායක මුදියන්සේලාගේ ජයරත්න හෙවත් දි.මු. ජයරත්න මහතා වසර 60කට අධික කාලයක් මෙරට දේශපාලනයේ සක්‍රීයව සිටිමින් කටයුතු කළ අයෙකි. එමෙන්ම ශ්‍රී ලාංකේය දේශපාලන ඉතිහාසයේ 14 වන අගමැතිවරයා වූයේද එතුමන්ය. ගම්පොල ප්‍රදේශයේ දොලුව මහා විද්‍යාලයෙන් සහ සහිරා විද්‍යාලයෙන් අධ්‍යාපනය ලබා පසුකාලීව ගුරුවරයකු වශයෙන්ද තැපැල් ස්ථානාධිපතිවරයකු වශයෙන්ද එතුමා සේවය කළේය.

උඩ පළාතේ කඳුකර පහළ ගම් සභාවේ නියෝජිතයකු ලෙස දේශපාලන ගමන ආරම්භ කළ දි.මු. ජයරත්න මහතා 1970 දී ගම්පොළ මැතිවරණ කොට්ඨාසය නියෝජනය කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස පත් විය. 1970-1977 දක්වා පාර්ලිමේන්තුවේ තරුණ මන්ත්‍රීවරයකු ලෙස කටයුතු කළේය. එතුමා අසාධාරණයට හිස නොනැමු එඩිතර හා අධිෂ්ඨාණනශීලිව කටයුතු කළ මන්ත්‍රීවරයෙක් ද විය. එමෙන්ම එවකට කෘෂිකර්ම හා ඉඩම් ඇමැති වූ හෙක්ටර් කොබ්බෑකඩුව මහතා සමඟ එක්ව මෙරට වතු සමාගම් සතුව තිබු ඉඩම් රජයට පවරා ගැනීමටත් එසේ පවරා ගත් ඉඩම්, ඉඩම් නොමැති ජනතාව අතර බෙදා දීමටත් නායකත්වය ගෙන කටයුතු කළේය. මෙවැනි සිදුවීම් නිසා දේශපාලනික විරුද්ධවාදී සතුරන් තම ප්‍රදේශයේ බොහෝමයක් සිටි නමුත් ඔවුන් පිළිබඳව දි.මු. ජයරත්න මහතා තැකීමක් නොකළේය. ඔහු තම ජනතාව උදෙසා වූ මෙහෙය සිදු කළේය.

1977 ආරම්භය වන විට සමඟි පෙරමුණු ආණ්ඩුව තුළ රැඳි සිටි කොමියුනිස්ට් පක්ෂයේ පීටර් කෙනමන් හා බී.වයි. තුඩාව යන මහත්වරු ආණ්ඩුවෙන් ඉවත් වී විපක්ෂයට එක්විය. මේ අතර කර්මාන්ත හා විද්‍යා කටයුතු අමාත්‍ය කටුගම්පළ ටී.බී. සුබසිංහ මහතාද සමඟි පෙරමුණ ආණ්ඩුව හැරදා විපක්ෂයට එක්විය. මේ අනුව ආණ්ඩු පක්ෂයේ ප්‍රගතිශීලි මන්ත්‍රීවරු 31 දෙනෙක් ආණ්ඩුව හැරදා ගොස් තිබිණි. මේ තත්වය තුළ තවදුරටත් ආණ්ඩුව පවත්වාගෙන යෑම දුෂ්කර තත්වයට පත්වූයෙන් අගමැති සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය පාර්ලිමේන්තුව විසුරුවා හරින ලෙස ජනාධිපති විලියම් ගොපල්ලව මහතාට උපදෙස් දෙන ලදින් 1977 මැයි 18 වැනිදා ජාතික රාජ්‍ය සභාව විසුරුවා හරින ලදි. මීළඟ මැතිවරණය සඳහා නාමයෝජනා ගැනීම ජුනි 06 වැනිදා නියම වූ අතර මැතිවරණය ජූලි මස 21 දිනට නියම විය.

1977 මැතිවරණය වනවිට පිළිගත් දේශපාලන පක්ෂ ලෙස තහවුරු වී තිබුණේ පක්ෂ 07 කි. නමුත් පක්ෂ ලෙස පිළිගන්නා ලෙස ඉල්ලීම් 28 ක් මැතිවරණ කොමසාරිස් වෙත ලැබී තිබුණ බව වාර්තා විය. අපේක්ෂකයින් 756 දෙනෙක් නාමයෝජනා ඉදිරිපත් කළ අතර 461 දෙනෙක් විවිධ දේශපාලන පක්ෂ වලිනුත් 295 දෙනෙක් ස්වාධීන අපේක්ෂකයින් ලෙසත් ඉදිරිපත් විය. මෙම මැතිවරණයෙන් ජේ.ආර්. ජයවර්ධන මහතාගේ එක්සත් ජාතික පක්ෂය මන්ත්‍රී ආසන168 කින් ආසන 140 ක් දිනාගනිමින් ජයග්‍රහණය කළ අතර එය 6 න් 5 ක පාර්ලිමේන්තු බලයක් විය. බණ්ඩාරනායක මැතිනියගේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආසන 8 ක් දිනා ගත් අතර අමිර්තලිංගම් මහතාගේ ද්‍රවිඩ එක්සත් විමුක්ති පෙරමුණ ආසන 18 ක් දිනා ගත්තේය.

මැතිවරණයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පරාජය වීමත් සමඟ 1977 ජූලි මස 22 වන දින රාත්‍රියේ ගම්පොළ දොළුව පිහිටි දි.මු. ජයරත්න මහතාගේ නිවස වෙත දේශපාලනික විරුද්ධවාදීහු පැමිණ නිවෙස වෙත වෙඩි තබන්නට පටන් ගත්හ. මේ අතරවාරයේ පැමිණි එක් මැරවරයකු වෙත වෙඩි වැදුණු අතර ඔහු දි.මු. ජයරත්නගේ නිවස ඉදිරිපිටදීම බිම ඇද වැටුණේය. ක්ෂණිකව ක්‍රියාත්මක වූ මැරයන් කණ්ඩායම ඔහු ඔසවාගෙන රෝහල කරා දිව ගියද ජීවිතය බේරා ගත නොහැකි විය. නමුත් මෙම සිදුවීම මෙතැනින් අවසන් නොවීය. දි.මු. ජයරත්න පොලිස් අත්අඩංගුවට පත් විය. මාස කීපයක් රිමාන්ඩ් බාරයේ සිටින්නටද ඔහුට සිදුවිය. අනතුරුව අදාළ ඝාතනය සම්බන්ධ නඩුව මහනුවර මහාධිකරණයේ විභාගයට ගනු ලැබිණි.

සාක්ෂිකරුවෝ කීප දෙනෙකුම කියා සිටියේ වෙඩි තැබීම සිදුවූ දින රාත්‍රියේ දි.මු. ජයරත්න විසින් තුවක්කුවක් රැගෙනවිත් වෙඩි තැබීම සිදු කොට ඇති බවය. පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාව අනූව සාක්ෂිකරුවන් උසාවියේ ප්‍රකාශ කර සිටි සාක්ෂි පරස්පර විරෝධි හෙවත් යථෝක්ත සිදුවිමට නොගැළපෙන බව හෙළිදරව් විය. ඒ අනූව මිය ගිය පුද්ගලයාට එල්ලවී තිබුණේ පිස්තෝලයකින් නිකුත් වූ උණ්ඩයක් බව මරණ පරික්ෂණ වාර්තාවෙන් පැහැදිලි විය. මේ අනුව සාක්ෂිකරුවන් පවසා සිටි අන්දමට දි.මු. ජයරත්න තුවක්කුවක් රැගෙනවිත් වෙඩි තැබුවේය යන ප්‍රකාශය අසත්‍යයක් බවට උසාවිය විසින් නිගමනය කරන ලදි. මෙම නඩුවෙන් දි.මු. ජයරත්නට නිදහස ලැබුණි.

1977 මහ මැතිවරණයෙන් පරාජයට පත් වුවද, දි.මු.ජයරත්න මහතා කැබිනට් මණ්ඩලයට ඇතුළත් වූයේ 1994 වසරේදී පිහිටුවනු ලැබු හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියගේ රජය යටතේ ඉඩම්. කෘෂිකර්ම හා වන සංරක්ෂණ අමාත්‍යවරයා ලෙස පත් වෙමිනි. ඉන් අනතුරුව දි.මු. ජයරත්න මහතා කෘෂිකර්ම, ආහාර සහ සමුපකාර ද, තැපැල් විදුලි සංදේශ සහ උඩරට සංවර්ධන ද සහ තැපැල් විදුලි සංදේශ, ග්‍රාමීය ආර්ථික සංවර්ධන, වැවිලි කර්මාන්ත, බුද්ධ ශාසන හා ආගමික කටයුතු ආදි අමාත්‍යධූර ගණනාවක් හෙබවීය. ඔහු අග්‍රාමාත්‍ය ධූරයේ දිවුරුම් දුන්නේ 2010 අප්‍රේල් මස 21 වැනි දිනය. 2019 නොවැම්බර් මස 19 වන දින ඔහු මිය යන තුරුම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අනුශාසකවරයකු ලෙස කටයුතු කළේය.

 

 කේ. පත්මනාදන්

නව අදහස දක්වන්න