සංසාර ප්‍රේමය | දිනමිණ

සංසාර ප්‍රේමය

ඇස්වලට කඳුළු ගෙනෙන හිත් රිදවන කරුණු කාරණා සිදුවීම ඕනෑම සමාජයක ජීවත්වන මිනිසෙකුට පොදු දෙයකි. හිතකට දරාගන්න බැරි එකින් එක ප්‍රශ්නවලට අපට නිරන්තරයෙන් මුහුණ දීමට සිදු වේ. නමුත් මනුෂ්‍ය ජීවිතයක් කෙනෙකු ලබන්නේ කන කැස්බෑවා විය සිදුරින් එළිය බලනවා මෙන් කලාතුරකින්ය. බුදුන් වහන්සේ දේශණා කළ නිර්මල බුදු දහම තවමත් නොනැසී පවතින රටක ජීවත්වන අප ආත්ම ගණනක් පාරමීදම් පුරා කලාතුරකින් හිමිකර ගන්නා දුර්ලභ මනුෂ්‍ය ජීවිතය, මේ වටිනා හුස්ම තමන් විසින්ම නැති කර ගන්නට උත්සහ ගන්නේ ඇයි ද යන්න තවමත් සිතා ගත නොහැකි ගැටලුවකි. සමාජයේ ජීවත්වන ඕනෑම කෙනෙකුගේ සිතට නැ‍ෙඟන ආදරයක්, විරහවක් හේතුවෙන් නැතිනම් නොයෙක් ප්‍රශ්නවලට ඔවුන් විසින් පිළිතුරු සොයන්නේ තම ජීවිතය පළිහක් කර ගනිමින්ය. හිත රිදවන සමාජීය මාතෘකාවක් වුවත් අද අපි මේ ගැන කතා කළ යුතුමය.

මේ මාතෘකාව අද සමාජයේ තුළ අප කතා කළ යුතුම මාතෘකාවක් වන්නේ ලාංකාවේ මින්සුන්ගේ සියදිවි නසා ගැනීමේ ප්‍රතිශතය දිනෙන් දින ඉහළ යමින් පවතින නිසාවෙන්ය. වයස් බේදයකින් තොරව බොහෝ පිරිසක් දකින සාර්ථක පිළිතුර වන්නේ ජීවිතය නැති කර ගැනීමය. මේ සඳහා යොමු වන්නේ අපේ රටේ සිටින උගත් තරුණ පිරිස වීම අතිශය ඛේදනීය තත්ත්වයකි.

අප ජීවත්වන සමාජයේ ඕනෑම පුද්ගලයෙකුට ජීවිතේ කවමදාක හරි එකම එක මොහොතක මට ජීවත් වෙලා ඇති, මේ ජීවිතය මට එපා, මැරිලා ගියා නම් එකක් වැනි සිතුවිලි ඇති වී තිබීම සාමාන්‍යයයි. එවැනි සිතුවිල්ලක් කිසිම විටක සිතට පැමිණ නොමැතිබව අපි කිසිවෙකුටත් පැවැසිය නොහැකිය. මන්ද පෘථග්ජන ලෝකයේ ජීවත්වන ඔබට වගේම මටත් එවැනි සිතුවිලි ඇති වීම පොදු දෙයකි. ඒත් එහෙම හිතුන හැමෝම ඒ තීරණය ගන්න පෙළඹුනේ කලාතුරකින් ය. ඒ ඔවුන් හිතට වහල් නොවී බුද්ධියෙන් කටයුතු කිරීමට පෙළඹීම නිසාවෙනි.

තමන් පණ වගේ ආදරේ කරලා ඒ ආදරේ අහිමි වුනාම දැනෙන විරහ වේදනාවෙන් අත්මිදීමට තවත් සමහරු පෙම්වතාට හෝ පෙම්වතියට තමන්ගේ ආදරේ තරම කොතරම් ද යන්න පෙන්වීමට මෙවන් තීරණයන් ගනියි. ඒ විතරක් නෙවෙයි ගෙවාගන්න බැරි විදියට සමාජයට ණයකාරයෙක් වෙලා කන කර ආභරණ, ඉන්න තිබුණ ගේ ඉඩම් සින්න වෙලා ඒ ණය ටික ගෙවාගන්න බැරි වුණහම, මිනිස්සු ණය ඉල්ල ඉල්ල කරදර කරද්දි එවායින් බේරෙන්න ගන්න එකම තීරණය මෙයයි. තවත් සමහරු මානසික ආතතිය වැඩි වුණහම ප්‍රශ්න එකින් එක ජීවිතයට එකතු වෙන්න ගත්තම ඒ ගැන දරාගන්න පුළුවන් කියලා හිතන උපරිම මට්ටමට පැමිණි පසුව ප්‍රශ්නවලින් නිදහස් වෙන්න ගන්න තියෙන එකම මාර්ගය තමන්ගෙ හුස්ම නතර කර ගැනීම බව සිතයි. තවත් පිරිසක් සමාජයේ සිටින පහත් මිනිසුන්ගේ ගොදුරු බවට පත්වී තමන්ගේ වටිනාම ආත්මගරුත්වය කෙලෙස ගෙන සමාජ මාධ්‍ය තුළ නිරුවත් ඡායාරූප වීඩියෝ පට වැනි දේ ප්‍රචාරය වූ පසු සමාජයට මුහුණ දිය නොහැකිව මෙම තීරණය ගැනීමට නිරායාසයෙන්ම පෙළඹෙනු ඇත. විශේෂයෙන්ම මෙවැනි දේ සිදු කරගන්නේ නව යොවුන් විය පසු කරමින් සිටින තරුණ තරුණියන්ය. එමෙන්ම අද සමාජයේ මිනිසුන් පවුල් බර දරා ගැනීමට නොහැකිව තමන්ගෙ දූ දරුවන්ගේ ද ජීවිත නැති කරමින් තමන් ද ජීවිතයෙන් සමුගැනීමට පෙළඹෙයි.

ඕනෑම කෙනෙකුට දරාගන්න පුළුවන් යම් සීමාවක් පවතියි. එම සීමාව විවිධ සමාජ හැලහැප්පීම් නිසා බිඳී යන්න ගතවෙන්නේ ඉතාමත්ම කෙටි කාලයකි. එය ජීවිතයේ කෙනෙකු ගතකරන දරුණුම කාලය විය හැකිය. නමුත් අප ඉවසිය යුතුය. එම තත්ත්වයෙන් කෙනෙකු සාමාන්‍ය තත්ත්වයට පත් වු පසුව මම ජීවිතේ නැති කරගත්ත නම් මොකද වෙන්නේ, ඇයි මන් එහෙම දෙයක් හිතුවේ කියලා හිතෙයි. ආවේගශීලීව හැඟීම් පාලනය කර ගැනීමට නොහැකිව ජීවිතය නැති කරගන්න ගිහින් අහම්බෙන් ජීවිතය බේරුන කෙනෙකු මේ ආත්මයේ කිසිම දවසක තමන්ගේ හුස්ම ටික නැති කරගන්න යළිත් කිසිම මොහොතක හිතන්නේ නැත; ජීවිතයක ඇති නියම වටිනාකම කෙනෙකුට හරියටම දැනෙන්නෙ මරණ මංචකය ආසන්නයටම පැමිණි විටය.

අපට අපේ වටිනා ජීවිතය නැති කරගන්න හේතු දහස් ගාණක් හමුවේවි. නමුත් ඒ හේතු දහස ඇතුළත එක් කොණක හිරවෙලා ජිවත් වෙන්න පුංචි එකම හේතුවක් තියෙන්න පුළුවන්. ඒ හේතුව අපිට නැඟිටින්න ශක්තියක් කරගන්න පුළුවන්ය. හැඟීම් ඇති වීම වළක්වන්න අපිට බෑ. ඒත් හිතට දැනෙන හැඟීම් පාලනය කරගන්න පුළුවන් නේද? ලෝකයේ ජීවත්වන සියලු සත්ත්වයන් අතුරින් මනුෂ්‍යන් උසස් බව පවසන්නේ ඔවුන් තුළ පවතින උසස් පරිකල්පනීය ශක්තිය නිසාවෙන්ය. එවන් අප වෛරයක්, ක්‍රෝධයක්, කලකිරීමක් හේතුවෙන් ජීවිතයක් නැති කර ගැනීමට පෙළඹෙනවා කියන්නේම දැඩි ඛේදනීය තත්ත්වයක් ය.

අපි හැමෝම සර්ව සම්පූර්ණ මිනිසුන් නොවෙයි. කෙනෙකුට හිමි දේ තවත් කෙනෙකුට අහිමි වී ඇත. ලස්සන, අවලස්සන, මිල මුදල්, යාන වාහන, ඇඳුම් පැලඳුම් අද තියෙන්න පුළුවන්. නමුත් හෙට නැති වෙන්නත් පුළුවන්ය. මේ සංසාරේ කවදාක හෝ කරපු මොනයම් කුසල් කර්මයක් නිසා මේ ආත්මයේ සර්ව සම්පූර්ණ මනුෂ්‍යයකු වී උපදින්නට අපිට හැකි වී ඇත. ඒ ලැබුණු වටිනාම ආත්මය තමන් විසින්ම නැති කරගන්න උත්සහ කරන්නේ නම් එය නැවත මනුෂ්‍ය ආත්මයක් නොලැබිය හැකි අකුසල කර්මයක්ය.

අපි හැමෝටම බෑ එකම විදියට හිතන්න. ඒත් ප්‍රශ්නයක්, වේදනාවක්, කලකිරීමක් දැනුනම ළඟම සිටින විශ්වාසවන්ත කෙනෙකු සමග බෙදාගන්න අපිට පුළුවන් නේද? කිසිවෙකු නැතිනම් තමන් අදහන ආගමක් නියෝජනය කරන පූජකවරයෙකුට පවසන්න. එසේත් නැතිනම් මානසික පීඩනය වෙනුවෙන්ම ප්‍රතිකාර කරන මානසික වෛද්‍යවරයෙකු වෙත යොමු වන්න පුඵවන්ය. තමන් විසින්ම තමන්ව අවතක්සේරු කර ගැනීමට පෙර මොහොතක් සමාජය දෙස බලන්න. ජීවිතයක් වෙනුවෙන් කීදෙනෙක් අඬනවද, තැවෙනවද, විඳවනවද බලන්න. ජීවිතයට ආදරය කරන්න පුරුදු වෙන්න. ජීවිතය යනු දෙවියන් විසින් දුන් අපූර්වතම ත්‍යාගය හෝ මව පියා විසින් දුන් දිව්‍යමය වරමක් බව තරයේ සිතට ගන්න. මේ ජීවිතේ මේ හුස්ම ටික, මේ ගැහෙන හදවත අපිට අයිතියි. මේ හුස්ම ටික පරිස්සම් කරගන්න.

 

ධනංජනී රූපසිංහ

 

නව අදහස දක්වන්න