හරිත කෘෂිකර්මයට බළකායක්! | දිනමිණ

හරිත කෘෂිකර්මයට බළකායක්!

හරිත කෘෂිකර්මය සඳහා ක්‍රියාත්මක වන බළකායක් ජනාධිපතිවරයා විසින් පිහිටුවනු ලැබ තිබේ. මේ බළකායට අයත් ප්‍රධාන කාර්යභාරය වන්නේ හරිත කෘෂිකර්මය පිළිබඳ සාර්ථක ක්‍රමවේද හඳුනා ගනිමින් ඒවා මහජනයා අතර ප්‍රචලිත කිරීමය. බැලූ බැල්මට පෙනෙන සත්‍යයක් වන්නේ හරිත කෘෂිකර්මය හා එහි සාධනීය ප්‍රතිඵල පිළිබඳ දැනීමක් හා හැඟීමක් සාමාන්‍ය ජනතාවට නැති බවය. විශේෂයෙන් නූතන ගොවි සමාජයට ඒ ගැන උනන්දුවක් නැත. පුරුදු පරිදි සාම්ප්‍රදායික කෘෂිකර්මයේ යෙදෙන ගොවි පිරිස වැඩි වෙති. ඔවුන් සාම්ප්‍රදායික මාර්ගවලින් බැහැර කොට නව මාවතකට ප්‍රවේශ කිරීම ඉතා අපහසුය. එහෙත් හරිත කෘෂිකර්මය ජය ගැනීමට නම් ජනතාව එහි කොටස්කාරයකු බවට පත්කර ගත යුතුය. රටේ කෘෂිකාර්මික ක්ෂේත්‍රය තුළ තාවකාලික අවුලක් ඇති බව පිළිගත යුතුය. එම අවුල නිර්මාණය වී ඇත්තේ පොහොර පිළිබඳ ගැටලුව දේශපාලනීකරණය වීමත් සමඟය. රසායනික පොහොර හා කෘමිනාශක ඉල්ලමින් කරන උද්ඝෝෂණ එක පැත්තක පවතී. මහ කන්නය අස්වද්දන්නේ නැතැ’යි කරන ගොවි තර්ජන තව අතෙකින් පවතී. රජය බෙදාහරින පොහොර පිළිබඳ විවේචන තවත් අතෙකින් පවතී. ඇතැම් ජනමාධ්‍ය මේ සම්බන්ධයෙන් නිර්මාණය කරන ප්‍රබන්ධ කථා අවුලේ ප්‍රමාණය විශාල කර පෙන්වන බවක් ද දැක ගත හැකිය. දේශපාලන වශයෙන් බලන කල ජනාධිපතිවරයාගේ හරිත කෘෂිකර්මය පිළිබඳ වැඩසටහන පරාජය කිරීමට ඉදිරිපත් වී ඇති බලවේග ගණනාවක් තිබේ. ඇතැම් පොහොර සමාගම් පවා විරුද්ධ පැත්තේ හිටගෙන ගජරාමෙට ක්‍රියාත්මක වෙයි. මේවා පරාජය කළ යුතුය යන්න අපගේ පිළිගැනීමය.

රටක සංවර්ධනය සඳහා නව මාවත් තෝරාගත් සෑම අවස්ථාවකම ඒවා එකවර සාර්ථක වූයේ නැත. විවිධ පරාජයන්වලට මුහුණ දෙන්නට සිදු වේ. පියවර කිහිපයක් පසු බසින්නට සිදු වේ. බොහෝ කැපවීම් කිරීමටත් සිදු වේ. ලෝකයේ සෑම වෙනසක්ම ඇතිවන්නේ පරාජයන් හා පසුබැසීම් නොසලකා එක දිගට වැඩ කිරීමෙන්ය. අපට ඉලක්ක තිබිය යුතුය. එම ඉලක්ක හඹා යා යුතුය. රසායනික පොහොර ඉල්ලමින් පිරිසක් උද්ඝෝෂණය කරන අතර තව ගොවි පිරිසක් කාබනික පොහොර තමන්ම නිෂ්පාදනය කරගෙන වගා කටයුතු කරගෙන යති. සෑම දිස්ත්‍රික්කයකම එබඳු ගොවියෝ සිටිති. ඔවුන් පාරට එන්නේ නැත. මාධ්‍යයට කරුණු දක්වන්නේ ද නැත. කාබනික ගොවිතැන අපේ උරුමයකි. ශ්‍රී ලංකාව පෙරදිග ධාන්‍යාගාරය වූයේ ද කාබනික ගොවිතැන කරන කාලයේය.

හරිත කෘෂිකර්මය ජය ගැනීම සඳහා බළකායක් පත් කිරීමෙන් එක් වැදගත් අදහසක් සනාථ වෙයි. එනම්, කාබනික ගොවිතැන කෙරෙහි ජනාධිපතිවරයා තබා ඇති විශ්වාසය බිඳ වැටී නැති බවය. රටේ සැලකිය යුතු පිරිසක් මේ වැඩසටහන කෙරෙහි බලාපොරොත්තු දල්වාගෙන සිටිති. යුරෝපීය රටවල් ගණනාවක් එම වැඩසටහනට සහයෝගය දැක්වීමට ඉදිරිපත් වී සිටිති. මෙය ශ්‍රී ලංකාවේ කෘෂිකර්මය සම්බන්ධයෙන් අතිශය සුබදායී තත්ත්වයකි. රටේ ඇතැම් නායකයන් කාබනික කෘෂිකර්මය ගැන කතා කර තිබුණ ද එය ක්‍රියාවට නංවා තිබුණේ නැත. එය එක්තරා අභියෝගයකි. එම අභියෝගය භාරගෙන ක්‍රියා කිරීම සම්බන්ධයෙන් රටේ නායකයා පැසසිය යුතුය.

කාර්යසාධක බළකාය යන්න බොහෝ කාරණා සම්බන්ධයෙන් සාර්ථක සාධකයක් ලෙස පවතී. රටේ විවිධ ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම සඳහා ද ඒවා කාර්යක්ෂම ලෙස ඉලක්ක වෙත ගමන් කරවීම සඳහා ද කාර්ය සාධක බළකායන් යොදාගත් නායකයා වන්නේ වත්මන් ජනාධිපතිවරයාය. කොවිඩ් මර්දනය සඳහා යොදාගත් බළකාය ඉතා සාර්ථක ප්‍රතිඵල පෙන්නුම් කර තිබේ. දේශපාලන වශයෙන් ඒ ගැන විවේචන පැවැතිය ද ශ්‍රී ලංකාව කොවිඩ් පාලනය හා එන්නත්කරණය අතින් සාර්ථකත්වයට පත්වී ඇත්තේ එම බළකාය නිසාය. එබඳු බළකායක් සඳහා අවශ්‍ය විශේෂඥයන් ජනාධිපතිවරයා විසින් නිවැරැදිව තෝරා ගනු ලැබේ. හරිත කෘෂිකර්මය සඳහා වූ කාර්යසාධන බළකාය ද විශේෂඥයන් කිහිප දෙනකුගෙන් සමන්විතය. බළකාය සඳහා ඉලක්ක ලබාදී ඇති අතර මාස්පතා ඒවා සමාලෝචනය කළ යුතුය.

හරිත කෘෂිකර්මය සඳහා මහජනයා දැනුම්වත් කිරීමත් ඉහත බළකායට අයත් කාර්යයක් ලෙස සලකනු ලැබේ. හරිත කෘෂිකර්මය පිළිබඳ අදහස රටේ පුරවැසියන් තුළ නියමාකාරයෙන් ස්ථාපනය වී නැත. ඒ පිළිබඳ හැඟීමක් ගොවි සමාජවලට පවා නැත. ගොවි සමාජවල නායකයන් රසායනික පොහොර, කෘමිනාශක හා වල්නාශක ඉල්ලමින් උද්ඝෝෂණය කරන ආකාරය මේ දිනවල දැකගත හැකිය. වකුගඩු රෝගීන් ඇති පවුල්වල සාමාජිකයෝ ද ඉහත උද්ඝෝෂණවලට සහභාගී වෙති. රසායනික පොහොරවලින් වකුගඩු රෝග හැදෙන්නේ කෙලෙසදැ’යි ප්‍රශ්න කරන විට ඊට උත්තර සැපයීමට තරම් දැනුමක් බොහෝ දෙනකුට නැත. දැනුම ලබාදීම හා සන්නිවේදනය පිළිබඳ ප්‍රශ්නයක් මෙහි ඇති බව ඉතා පැහැදිලිය.

ආර්ථික වශයෙන් දියුණු මහා පරිමාණ වශයෙන් කෘෂිකර්මයේ නියුතු රාජ්‍යයන් ද කෙමෙන් කාබනික වගාවට හුරුවෙමින් සිටී. එය ලෝකයේ අනාගත අපේක්ෂාවකි. මේ වන විට කාබනික ආහාර-භෝග නිෂ්පාදන ඉතා ඉහළ මිලකට අලෙවි වෙයි. මේ තත්ත්වය අප වටහාගත යුතු අතර, කාබනික වගාව ප්‍රචලිත කිරීමට පියවර ගත යුතුය. එය එකවර විප්ලවයක් ලෙස ක්‍රියාවට නැංවිය නොහැකි නම් ක්‍රමානුකූල ලෙස එය ක්‍රියාවට නැංවිය යුතුව තිබේ. වඩාත් වැදගත් වන්නේ මේ අදහස අත් නොහැර ඉදිරියට ගෙන යෑමය. කාබනික වගාවේ පළමු පියවර හිතන තරම් සාර්ථක නොවන්නට පුළුවන. එහෙත් කන්නයක්, දෙකක් යන විට සාර්ථක ප්‍රතිඵල අනිවාර්යයෙන්ම ලැබෙනු ඇත. කුමන කටයුත්තක් වුව සාර්ථක කරගැනීමට ඉවසීම, කැපවීම හා අධිෂ්ඨානය අවශ්‍ය වෙයි.

 

නව අදහස දක්වන්න