Gadget පිටුව | දිනමිණ

Gadget පිටුව

ස්මාට් ප්‍රින්ටරයේ ක්ෂණික මුද්‍රණ සෙල්ලම

තාක්ෂණයේ දියුණුවත් සමඟ විවිධ වර්ගයේ ප්‍රින්ටර් වෙළෙඳපොළේ දක්නට ලැබේ. පසුගිය 'ද්වාර' කලාප මඟින් කුඩා ප්‍රමාණයේ ප්‍රින්ටර් පිළිබඳ විස්තර ගෙන එනු ලැබුව ද අද කියන්නට යන Poooliprint එක ගැන නම් ඔබ අසා නැතිවාට සැක නැත.

Poooliprint යනු ඉතා කුඩා, ස්මාට් දුරකතනයකටත් වඩා කුඩා ප්‍රින්ටරයකි. මෙහි විශේෂත්වය යනු ඔබගේ ස්මාට් දුරකතනයේ ස්ක්‍රීන්ෂොට් එකක් තප්පර ගණනකදී මුද්‍රණය කර දීමයි.

මෙය පාසල් ළමයින්ට වඩාත් ප්‍රයෝජනවත් වන අතර, රැකියාවල නිරත පුද්ගලයන්ට නැතිවම බැරි උපකරණයක් බව කිව හැකිය. ඒ ස්මාට් දුරකතනය මඟින් අපට අවශ්‍ය ඡායාරූපයක්, වචන කිහිපයක් පහසුවෙන් මුද්‍රණය කර දීමට Poooliprint සමත් වන නිසාය. කෙසේ වෙතත් මින් ඔබට මුද්‍රණය කරගත හැක්කේ කළු-සුදු මුද්‍රණ පමණකි.

මේ පුංචි Poooliprint එක ඔබට යම් තැනක ඇලවීමට අවශ්‍ය දෙයක් පවා මුද්‍රණය කරන අතර, ඊට ඔබ කළ යුත්තේ මුද්‍රණයට යොදන කොළය වෙනස් කිරීම පමණකි. ඇත්තෙන්ම කාර්යබහුල පුද්ගලයන්ට තමාට ඇති රැස්වීම, විශේෂ මතක් කිරීම් ආදිය පවා මෙමඟින් මුද්‍රණය කර තබාගත හැකිය. මේ පුංචි Poooliprint එකක් ඔබට ඩොලර් 99ක් වැනි මිලකට පහසුවෙන් මිල දී ගත හැකි අතර, ඔබට මෙන්ම ඔබේ පුංචි දුවට පුතාට ද පාසල් වැඩකටයුතුවලදී පහසුවක් වනු නිසැකය.

 

 

ඕනෑම තැනක ඇලවෙන ලැප්ටොප් ආධාරකය

ඔබ ලැප්ටොප් එකක් භාවිත කරන කෙනෙක් ද? එසේ නම් ඔබට ඇති එක් ගැටලුවක් වනුයේ ඔබ යන එන තැන්වලදී එය තබාගෙන වැඩ කිරීමට අවශ්‍ය කුඩා ඉඩක් වෙන් කර ගැනීම. නැති නම් කකුල් දෙක මත හෝ එක් අතකින් ලැප්ටොප් එක අල්ලා අනෙක් අතින් වැඩ කිරීම අපහසු බවට ඔබට හොඳින්ම වැටහී ඇත.

එසේ නම් මින් පසු ඒ කරදරයෙන් ඔබව නිදහස් කිරීමට Motis stand පහසුවක් වනු ඇත. මෙය ඔබගේ ලැප්ටොප් එකට ඕනෑම සිරස් තලයක ස්ටෑන්ඩ් එකක් (ආධාරකයක්) සකසා දෙනු ලබයි.

Motis stand ඔබට සිරස් වීදුරුවක වුව ද සවි කර ගැනීමට හැකි අතර, එහි පවතින රවුම චලනය කර ගැනීමෙන් සිරස් බිත්තියට සවි වීමක් සිදු වන අතර එහි ලැප්ටොප් පරිගණකය තබා ගත හැකිය. මේ Motis stand එක කුඩා වන අයුරින් හකුළාගත හැකි අතර ලැප්ටොප් එක ද සමඟ බෑගයේ දමාගෙන යෑමේ හැකියාව ද ඇත.

 

අතේ දාගෙන යන පවර් බෑන්ක් වළලු

පවර් බෑන්ක් යනු අද ස්මාට් දුරකතනයට නැතිවම බැරි දෙයක් බවට පත්ව ඇත්තේ මිනිසුන් විශාල වශයෙන් කාර්යබහුල ජීවිතවලට හැඩගැසී ඇති බැවිනි. එසේ නම් මින් කියැවෙන්නේ අවම පැය දෙකක කාලයක් පවා මිනිසාට ස්මාට් දුරකතනයෙන් වෙන් වී එය ආරෝපණය කිරීමට පවා නොහැකි බවයි. පවර් බෑන්ක් ආධාරයෙන් ඔබට ස්මාට් දුරකතනය ආරෝපණය කරන මොහොතේ පවා අවශ්‍ය කටයුත්තක නියැළිය හැකි අතර, මේ කියන්නට යන්නේ ආභරණයක් වුණු පවර් බෑන්ක් එකක් ගැනයි.

KNECT Band යනු බැලූ බැල්මට වළල්ලක් වන අතර, එය විවිධ වර්ණවලින් (රත්තරන්, රිදී, කළු හා සුදු) නිර්මාණය කර තිබේ. මේ වළල්ල එක් ස්ථානයකින් කොටස් දෙකකට වෙන් කර ගත හැකිය.

විශේෂයෙන්ම කාන්තාවන් සඳහා මේ KNECT Band එක නිර්මාණය කර ඇත්තේ ඔවුන් ආභරණයවලට ප්‍රිය කරන නිසාවෙනි. එමෙන්ම ඔවුන් නිතර ආභරණ පැලඳීම හේතුවෙන් ඒ සමඟ බෑගයේ අමතර පවර් බෑන්ක් එකක් රැගෙන යෑමට ද අවශ්‍ය නැත. කාන්තාවන්ට මෙන්ම පිරිමි අයට ද මේ KNECT Band නිර්මාණය කර ඇති අතර, බැලූ බැල්මට කිසිවකුට එය Power Bank එකක් බවට හඳුනා ගැනීමේ හැකියාවක් ද නැත.

 

 

නිවෙසේ බිත්තියේ මැවෙන ත්‍රිමාණ ක්‍රීඩාගාරය ‘Limbic active’

කොවිඩ්-19 ගෝලීය වසංගතයක් බවට පත් වීමත් සමඟ මිනිසුන් නිවෙස් තුළට සිර විය. දුව පැන පාසල්වල අධ්‍යාපනය හැදෑරිය යුතු වයස්වල පසු වන ළමයින් නිවෙස් තුළ පරිගණක, ටැබ් හෝ ස්මාට් දුරකතන තිර ඉදිරිපස ඉටි රූප බවට පත් විය. මේ වන විට විශේෂයෙන්ම කුඩා ළමයින් මානසික රෝග රැසකින් පෙළෙන බවට සෞඛ්‍ය අංශ සාක්ෂි සහිතව පෙන්වා අවසන්ය. මේ සියල්ලක්ම ජීවිතය රැක ගැනීමට මිනිසාට නිවෙස් තුළ සිරගත වීමට සිදුවීම හේතුවෙන්ය.

වෙනදා ක්‍රීඩා කරමින්, ව්‍යායාම කරමින්, ශරීර සුවතා මධ්‍යස්ථානවලට යමින් මිනිසුන් බෝ නොවන රෝගවලින් බේරී සිටිය ද වර්තමානයේ බෝ නොවන රෝගවල ශීඝ්‍ර ව්‍යාප්තියක් ද දක්නට ඇත. මේ සියල්ලකටම විසඳුමක් ලෙස Limbic active ඔබට හඳුන්වා දිය හැකි අතර, ඔබ එළියට ගොස් කළ ව්‍යායාම කිරීම්, ක්‍රීඩා කිරීම් ආදි ක්‍රියාකාරකම් නිවෙසේ සිටම කළ හැකිය.

මෙය බිත්තියෙ සවි කර ඇති කුඩා උපකරණයක් පමණි. එසේ නම් මින් මේ තරම් සේවයක් සිදු වන්නේ කෙසේද? Limbic activeහි ඇති 3D කැමරා මඟින් නිවෙසේ බිත්තිය ඔබට සෙල්ලම් පිට්ටනියක්, ශරීර සුවතා මධ්‍යස්ථානයක් මෙන්ම සංජානන හැකියා වර්ධනය කරන ස්ථානයක් බවට පත් කර දෙනු ලබයි.

ඔබගේ ස්මාට් දුරකතනයේ පවතින ක්‍රීඩාවලට සජීවීව සම්බන්ධ වීමට Limbic active මඟින් හැකි අතර, ඔබගේ මිතුරන් සමඟ වුව ද නිවෙස්වල සිට ක්‍රීඩා කළ හැකිය. විශේෂයෙන්ම කුඩා දරුවන්ට නිවෙස තුළම සෙල්ලම් පිට්ටනියක් නිර්මාණය කර දීමට Limbic activeට හැකිය. ඉන් ඔවුන්ගේ මානසික ආතතිය ද නැති වී යනු ඇත. මෙහි පවතින් තවත් විශේෂත්වයක් වනුයේ බිත්තියේ පවතින රූප ස්පර්ශ කිරීමෙන් ඒවා ක්‍රියා කරවීමේ හැකියාව Limbic active සලසා දීමයි. උදාහරණයක් ලෙස ඔබ බෝල සෙල්ලමක නිරත වන්නේ නම් බිත්තියෙහි ඇති රූපයේ ඉලක්කවලට බෝලය දැමීමෙන් ඔබට ජය පැරදුම Limbic active මඟින් තහවුරු කර දීමයි. තව ද මෙහි ශබ්ද පද්ධතිය ද ලොකු කුඩා ඕනෑම කෙනකුගේ සිත් ඇදගන්නා අයුරින් නිර්මාණය කර ඇති අතර, විශේෂයෙන්ම කුඩා ළමයින් අතර වර්තමානයේ මෙය ජනප්‍රිය භාණ්ඩයක් බවට පත්ව තිබේ.

 

පාර එළිය කරන සපත්තු අඩි ලයිට්

විවිධ අයුරින් ආලෝකය විහිදුවන පුංචි ළමයින්ගේ සපත්තු බොහෝ අය දැක තිබේ. ඒ සපත්තුවල ආලෝකය බොහෝ විට දැකිය හැක්කේ සපත්තු දෙපසිනි. මේ කියන්නට යන ZOOOII නම් සපත්තුවල විශේෂත්වය වනුයේ ආලෝකය සහිත බල්බ අඩියට සවි කර තැබීමයි.

ZOOOIIහි මව් සමාගම මේ පිළිබඳ විවිධ වූ හේතු පෙන්වා දී ඇති අතර විශේෂයෙන්ම රාත්‍රී කාලයේදී අඳුරු ප්‍රදේශවල ඇවිද යන පුද්ගලයන් වාහන රියැදුරන්ට හොඳින් දර්ශනය වේ. තවද විවිධ නර්තනවලදී මේ ZOOOII පැලඳීමෙන් නරඹන්නන්ට අලංකාරව දර්ශනය වීමක් ද සිදු වේ. මේ ZOOOII ආරෝපණය කළ හැකි අයුරින් නිපදවා ඇති අතර තරුණ තරුණියන් අතර මේ වන විට උමතුවක් බවට පත්ව ඇතැයි මව් සමාගම පවසා සිටී.

 

 

ඔළුවෙ දාන ගේම්කාර ගැජට්ටුව

පරිගණක ක්‍රීඩා කරන්නන් මේ වන විට Aryzon පිළිබඳ දැනුවත්ව ඇතිවාට සැක නැත. ඒ Aryzon යනු ත්‍රිමාන රූප අත්දැකීම මනා ලෙසම සපයන හා ශබ්දය ද ඉතා හොඳින් සපයන තනි උපකරණයකි. ඔබගේ ස්මාට් දුරකතනය මෙයට සම්බන්ධ කර ගත හැකි අතර, මෘදුකාංගයක් මඟින් Aryzon උපකරණය හා ක්‍රියා කරනු ලබයි. ත්‍රිමාණ රූප වෙනස්ම අත්දැකීමක් මේ Aryzon මඟින් ලබා ගත හැකි අතර, මෙය පහසුවෙන් හිසෙහි රඳවාගෙන නැරඹීමට හැකිය.

 

 

ගෙදර පාලනය බුහුටි ලී පතුරට

පුංචි ලී පතුරකට ඔබගේ නිවෙසේ වැඩ පාලනය කළ හැකියි කිව හොත් බොහෝ දෙනකු එය නොතේරුණු දෙයක් බවට පත් කර ගන්නවාට සැක නැත. එහෙත් Mui යනු පෙනුමින් කුඩා ලී පතුරකට සමාන වන එහෙත් නිවෙසේ මෙන්ම නිවෙසේ පුද්ගලයන් අතර සම්බන්ධතා ගොඩනඟන උපකරණයකි.

මේ පුංචි ලී පතුර බිත්තියේ සවි කර තබා ගත හැකි අතර ස්පර්ශ කිරීමෙන් එහි තිරය මතු කරගත හැකිය. එහි කාලගුණය, පවුලේ දින දර්ශනය ආදි බොහෝ දත්ත පෙන්නුම් කරන අතර කතා කිරීමට, පණිවිඩ යැවීමට, කුඩා දරුවන් පාලනය කිරීමට මනා හැකියාවකින් යුක්තය. එසේම නිවෙසේ විදුලි උපාංග නිවෙසින් පිට සිටිනා නිවැසියන්ට පහසුවෙන් පාලනය කිරීමේ හැකියාව ද ඇති අතර, මව නිවෙසේ නැති විට දරුවන්ට උපදෙස් දීමට ද මෙමඟින් හැකිය. මව හෝ පියා නිවෙසේ නැති විට නිවෙස පාලනය කරනා උපකරණයක් ලෙස මේ Mui හඳුන්වා දිය හැකිය.

 

 ගයාන් සංජය

නව අදහස දක්වන්න