සීමාවට පයින් ගැසීම! | දිනමිණ

සීමාවට පයින් ගැසීම!

කොවිඩ් සම්බන්ධයෙන් යම් සහනදායී තත්ත්වයක් ගොඩනැගී ඇත. දෛනික කොවිඩ් මරණ සංඛ්‍යාව දොළහ තෙක් පහළ බැස තිබේ. දෛනික ආසාදිතයන්ගේ ගණන හාරසිය ගණනකි. කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථාන තිහක් හිස් වී ඇත. දැඩි සත්කාර ඒකකවල තදබදය ලිහිල් වී ඇත. සුභදායක තත්ත්වයක් වාර්තා වෙයි. මෙය විශාල පරිශ්‍රමයක ප්‍රතිඵලය ලෙස පවතී. කැපවීම හා පරිස්සම තව දුරටත් පවත්වාගත යුතු අතර, එහි ප්‍රතිඵලය මීටත් වඩා සුභදායක වනු ඇත. දෛනිකව එකම එක කොව්ඩ් රෝගියකු හෝ වාර්තා නොවන ඉලක්කයක් කරා අප හඹා යා යුතුය. අපට එය කළ හැකි බව සනාථ වී තිබේ. එහෙත් සුභදායක තත්ත්වයෙන් උද්දාම වී සෞඛ්‍ය නීති අත්හළොත් යළිත් අප කැරකී වැටෙන්නේ පළමුව සිටි තැනටමය.

චීනය දෛනිකව එකම එක කොවිඩ් රෝගියකු හෝ වාර්තා නොවන තත්ත්වයකට ළඟා විය. එහෙත් නැවත එය වෙනස් වී යළි රෝගය පැතිර යන්නට විය. එම රැල්ලටද මුහුණ දුන් චීනය නැවත කොවිඩ් පාලනය කරගෙන තිබේ. දකුණු කොරියාවේ තත්ත්වය ද ඊට සමානය. කොරියාව පළමුව කොවිඩ් පාලනය කර ගත් අතර, නැවත ශීඝ්‍රයෙන් රෝගයට ගොදුරු විය. එහෙත් මේ වන විට රෝගය පාලනය කරගෙන තිබේ. ශ්‍රී ලංකාවේ කොවිඩ් තෙවන රැල්ල ඉතා බරපතළ ලෙස ව්‍යාප්ත විය. බටහිර ඇතැම් වාර්තාවලින් හෙළිදරවු කර තිබුණේ දිනකට දහස් ගණන් මිය යන තත්ත්වයක් රට තුළ ඇති වන බවය. එයින් මිඳීමට ශ්‍රී ලංකාවට හැකි වුව ද මිය ගිය ගණන වැඩිය. දස දහස ඉක්මවා මරණ සංඛ්‍යාව ඉහළ නැගීම අප අපේක්ෂා කළ දෙයක් නොවේ.

කොවිඩ් මර්දනයේ සම්පූර්ණ වගකීම රජය මත පටවා නිදහස් වීමේ හැකියාවක් ජනතාවට නැත. තමන්ගේ ආරක්ෂාව සලසා ගැනීමට ද, තමන්ගේ වගකීම් ඉටු කිරීමට ද සියලු පුරවැසියන් එකඟ වුවහොත් කොවිඩ් අපට බරපතළ ප්‍රශ්නයක් වන්නේ නැත. එන්නත්කරණ වැඩසටහන ඉතා සාර්ථකව ඉදිරියට ගෙන යෑමට ආණ්ඩුව සමත් වී ඇත. මේ වන විට එක්කෝටි විසි ලක්ෂයකට වැඩි පිරිසකට එන්නත් මාත්‍රා දෙකම දී ඇත. කොවිඩ් සම්බන්ධයෙන් අප ලබා ඇති ඉහළම ජයග්‍රහණය එය යැයි සැලැකිය හැකිය. මේ දිනවල පාසල් සිසුන්ට එන්නත් දීම සිදු වෙයි. එය සාර්ථකව ඉදිරියට යන බව පෙනෙයි. පාසල් දරු-දැරියෝ මහත් උන්දුවකින් වැඩසටහනට එකතු වෙමින් සිටිති. තව වැඩි කාලයක් යන්නට පෙර සියලු පුරවැසියන්ට එන්නත ලැබෙනු ඇත.

මෙහිදී කාරණා දෙකක් ගැන සඳහන් කළ යුතුය. එනම්; ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වා දෙන අන්දමට කොවිඩ් වැළැක්වීමේ විද්‍යාත්මක ක්‍රමවේදය වන්නේ එන්නත ලබා ගැනීම එය පළමු කාරණය වෙයි. දෙවැනි කාරණය වන්නේ නව සාමාන්‍යකරණය යටතේ වැඩ කිරීමය. එලෙස වැඩ කිරීමට අවශ්‍ය ප්‍රධාන සාධකයක් වන්නේ ද එන්නත් මාත්‍රා දෙකම ගැනීමය. තෙවැනි එන්නත් මාත්‍රාවක් ලබා දීමට අවශ්‍ය නම්; එය ඉටු කිරීමට ද රජය සූදානමින් සිටී. මෙය හොඳ පසුබිමකි. කොවිඩ් වසංගතය තුළ සෑම ක්ෂේත්‍රයකම බිඳ වැටීමක් දක්නට ලැබෙන අතර, අලුත් ජවයකින් යුතුව ඒ සෑම ක්ෂේත්‍රයක්ම දෙගුණයකින් වර්ධනය කළ යුතුය. මන්දගාමී වන තරමට රට පසුපසට තල්ලු වනු ඇත.

වැදගත්ම කාරණයක් වන්නේ කොවිඩ් සම්බන්ධයෙන් දැනට පවතින යහපත් තත්ත්වය ආරක්ෂා කර ගැනීමය. එලෙසම එහි පවත්නා පීඩනය කෙමෙන් මුදා හැරීමය. මේ තත්ත්වට අදාළ පළමු කොන්දේසිය වන්නේ සෞඛ්‍ය පිළිවෙත් හා සංචරණ සීමා හොඳින් ආරක්ෂා කර ගැනීමය. අපේ ජනතාව ඉතා ඉක්මනින් බොහෝ දේවල් අමතක කරන බවට චෝදනාවක් තිබේ. එය අසත්‍යයක් නොවේ. දැන් සමහරුන්ගේ මුව ආවරණය ඇත්තේ නිකටේය; නැත හොත් බෙල්ලේය. අත් සේදීම දැන් කරන්නේ ම නැති තරම්ය. දුස්ථභාවය රැක ගැනීම ඉතා දුර්වලය. මේ අතර එළඹෙන නිවාඩුවේ සංචරණ සීමා උල්ලංඝනය කරමින් සංචාරයේ යෙදීමට විශාල පිරිසක් සූදානමින් සිටින බව පෙනී ගොස් තිබේ. මහ පාරවල වාහන තදබදයෙන් ද එය සනාථ වෙයි. කොවිඩ් දෙවැනි රැල්ල මත වූයේ ගියවර අලුත් අවුරුදු සමයත් සමඟය.

යළිත් අප අවදානම් සහගත තත්ත්වයකට පත් වී ඇතැ'යි කීම නිවැරැදිය. එහෙත් මේ අවදානම අප දරාගත යුතු දෙයකි. උපකාරක පන්ති ආරම්භ කිරීමට අවසර දී ඇත. රට පුරා උද්ඝෝෂණ දැකිය හැකි අතර, ඒවාට තහනමක් පනවා නැත. විවිධාකාර උත්සවලට ද සීමාවන් යටතේ අවසරය දී ඇත. එම උත්සව උපදේශනවලට අනුවම සිදු වන බවක් නම්; පෙනෙන්න නැත. උත්සවවලට අදාළ සහභාගිත්වය සීමා කර ඇතත් ජනතාව එය පිළිගන්නා බවක් පෙනෙන්නට නැත. වෛද්‍ය මතයට අනුව මංගල උත්සව යනු කොවිඩ් ව්‍යාප්තියට අවකාශය සලසන ප්‍රධාන අවස්ථාවකි. මේ අවදානම බරපතළ වන අතර, ගැටලුව නිරාකරණය කර ගත හැක්කේ ද පොදු ජනතාවට පමණි. සෑම උත්සවයක් ම සෝදිසි කිරීමට තරම් පොලිස් හමුදාවක් අපට නැත. එබැවින් ස්වයං විනය පවත්වාගත යුතුය.

ඇතැමුන් එන්නත් මාත්‍රා දෙකම ගත් පසු නිදහසේ හැසිරෙන්න උත්සාහ දරන බවක් ද පෙනෙයි. එය මේ කතාවෙ තවත් භයානක පැත්තකි. එන්නත් ගත්ත ද සෞඛ්‍ය පිළිවෙත් අඛණ්ඩව පවත්වා ගත යුතු යැයි සෞඛ්‍ය අංශ පුන-පුනා කියා සිටියද ඇතැමුන් එය ගණන් ගන්නේ නැත. එළැඹ සිටි සිහියෙන් කටයුතු කරන්නැ'යි බුද්ධ දේශනාවේ සඳහන්ය. එහි සරල අර්ථය වන්නේ සිහි නුවණින් යුතුව සියලු කටයුතුවල නිරත වීමය.

නව අදහස දක්වන්න