අනාගත සිහින දකින ක්ලාක් පරපුර | දිනමිණ

අනාගත සිහින දකින ක්ලාක් පරපුර

 

ශ්‍රී ලංකාවේ බොහෝ ‘‘ක්ලාක්‘‘ මහත්වරු සිටිති. ඔවුන් අතුරින් වඩාත් ම ප්‍රසිද්ධ ක්ලාක් මහත්තයා වන්නේ ආතර් සී. ක්ලාක් ය.‘‘

මෙය, මා කලකට ඉහත සති අන්ත පුවත්පතකට ලියූ ‘ක්ලාක් මහත්තයාගේ දවස් හත‘ නමැති උපහාස තීරු ලිපි පෙළේ එක් තැනකින් උපුටා ගත් වැකියකි.

කිසි කලෙකත් ‘ක්ලාක්‘ කෙනකු නොවූ අතර් සී. ක්ලාක්, ලෝක ප්‍රකට වූයේ විද්‍යා ප්‍රබන්ධ ලේඛකයකු වශයෙනි.

ශ්‍රී ලංකාවට මහත් සේ ඇලුම් කළ ඔහු එය තම දෙවැනි මව්බිම ලෙස සැලකුවේ ය. ශ්‍රී ලංකාවේ ආණ්ඩුව ද එය අගයමින් ක්ලාක්ට ගරු පුරවැසිභාවයක් පිරිනැමුවේ ය. එතැනින් නොනැවතී, මොරටු සරසවියේ කුලපතිධුරයට ද ඔහු පත් කළේ ය. ඔහු මිය යනතුරුම වාසය කළේ ලංකාවේ ම ය.

ජගත් කීර්තිධර ගත්කරුවකු (උපතින් ඉංග්‍රීසි ජාතිකයෙකි) ශ්‍රී ලංකාවේ ‘ලිපිනයක්‘ යොදා ගැනීම මෙරටට කිසියම් සංචාරක ආකර්ෂණයක් ලබාදීමට ද හේතු විය. ක්ලාක්ගේ විද්‍යා ප්‍රබන්ධ කීපයක් ම, සිංහලට පරිවර්තනය වී තිබීම භාග්‍යයකි. මෙරට දී ඔහුගේ කෘති පරිවර්තනය කළේ එස්. එම් බන්දුසීලයන් විසිනි.

සිංහල පාඨකයා, විද්‍යා ප්‍රබන්ධ හඳුනා ගත්තේ, එබඳු පරිවර්තන මඟිනි. සිංහල සාහිත්‍ය තුළ විද්‍යා ප්‍රබන්ධ ශානරය, වර්ධනය වූයේ නැත. පළමු සිංහල විද්‍යා ප්‍රබන්ධ නවකතාව ලෙස සැලකෙන්නේ කේ. ලයනල් පෙරේරා විසින් ලියන ලද ‘අඟහරු ලොවින් ආ මිනිසා‘ ය.

සිංහල පාඨකයා විද්‍යා දැනුමෙන් දුප්පත්වීම මෙන්ම, විද්‍යාත්මක කරුණු නිරවුල්ව ලිවීම සඳහා ප්‍රමාණවත් සිංහල වදන් නොතිබීම වැනි ගැටලු විද්‍යා ප්‍රබන්ධකරණය මුළුගැන්වීමට හේතු වූවා විය හැකිය. ආචාර්ය ඊ. ඩබ්ලිව්. අදිකාරම් ‘නවීන විද්‍යාව‘ වැනි සිංහල සඟරා පළ කරමින් ඉංග්‍රීසි විද්‍යා වචන සඳහා සිංහල වචන නිර්මාණය කිරීමෙන් කළ සේවාව ද මෙහි දී සිහිපත් වේ.

ලසන්ත ද අල්විස් නැමැති නවක ලේඛකයකු විසින් ලියන ලද 1991දී ප්‍රකාශයට පත් මායා ලොව වෙතට සහ ආපසු සිංහල විද්‍යා ප්‍රබන්ධයෙහි ඉදිරි පිම්මක් ලෙස සැලකිය හැකිය. ඔහු තම කෘතියෙන් කියන්නට තැත් කරන්නේ අද දවස දක්වා ම පෘථිවිය ගැන සිය අවධානය යොමු කරන ජීවීන් විශේෂයක් සහ ඔවුන් සමඟ සම්බන්ධයක් ඇති කර ගත් පෘථිවි වාසියෙක් පිළිබඳ පුවතකි.

ලසන්ත ද අල්විස් ඔහුගේ හැඳින්වීමේ සටහන නිමා කරන්නේ මෙලෙසිනි.

‘.. ස්ථිරව විශ්වාවස කළ හැකි එකම දෙය නම් අපගේ ශිෂ්ටාචාරයේ ඉදිරි ගමන පසුකර ආ මඟටත් වඩා විශ්මයජනක වන බවය.‘

ලසන්ත අල්විස් තේමා කර ගන්නේ ලෝකයේ විද්‍යා ප්‍රබන්ධකරුවන් අතර ජනප්‍රිය විෂයයක් වූ පිටසක්වල ජීවන් ය.

පිටසක්වල ජීවීන් පෘථිවිය ආක්‍රමණය, ක්ලෝනකරණය, ලෝක විනාශය හෝ ඊට පසු ලෝකය, මිය යන පෘථිවිය, අභ්‍යවකාශ චාරිකා, කාල සංචාරය, සමාන්තර ලෝක වැනි තේමාවන් ලොව විද්‍යා ප්‍රබන්ධකරුවන්ගේ කෘතීන් බොහෝමයකට යොදා ගැනුණි. 1930 - 1960 අතර කාලය විද්‍යා ප්‍රබන්ධ සාහිත්‍යයේ ස්වර්ණමය යුගය ලෙස සැලකේ.

ලෝකයේ ප්‍රථම විද්‍යා ප්‍රබන්ධය ලෙස හැඳින්වෙන්නේ, 1818දී පළ වූ මේරි ෂෙලීගේ ‘ෆ්‍රැන්කස්ටීන් (Frankenstein) ය. තරුණ විද්‍යාඥයකු විසින් මිනිසකු නිර්මාණය කිරීම පිළිබඳ කියැවෙන මෙම නවකතාව වරක් තහනමට ද ලක් වූයේ එය දෙවියන් විසින් මිනිසා නිර්මාණය කරන ලදී යන ආගමික මතය හා ගැටෙන බැවිනි. මේ නවකතාවේ තවත් විශේෂයක් වන්නේ එය ලේඛිකාවක විසින් රචනා කරන ලද්දක් වීම ය. පසුව විද්‍යා ප්‍රබන්ධ ශානරයට ඇතුළ් කරනු ලැබූව ද මුල් කාලයේ එය හැඳින්වුණේ සංක්‍රාසමය ප්‍රබන්ධයක් (Horror Fiction)ලෙසිනි.

‘විද්‍යා ප්‍රබන්ධයෙහි පියා‘ ලෙස ගෞරවයට පාත්‍ර වූයේ එච්. ජී. වේල්ස් ය. ඔහු විසින් රචිත 'The Time Mechine' හා 'The War of The Worlds (ලෝක අතර යුද්ධය) මහත් සේ ජනප්‍රිය වූවාක් මෙන්ම සෙසු විද්‍යා ප්‍රබන්ධකරුවනට බලපෑවේ ය. The Time Mechine ඩේවිඩ් අල්පොන්සෝ විසින් ‘කාල යානය‘ නමින් සිංහලට පරිවර්තනය කෙරිණි.

වේල්ස් හැරුණු විට, අයිසැක් ඇසිමෝව්රේ බ්‍රැඩ්බරි, ජේම්ස් බ්ලිප්, රිචඩ් මැතිසන් සහ තවත් ගත්කරුවන් විසින් විද්‍යා ප්‍රබන්ධ සුවිශේෂී සාහිත්‍ය ශානරයක් බවට පත් කිරීමට අගනා දායකත්වයක් ලබාදුන් අතර, ඔවුන්ගේ ඇතැම් නිර්මාණ සිනමාවට ද නැඟුණි.

ජංගම දුරකතනය හා පරිගණකය ලොව පුරා පැතිරයෑම සාහිත්‍යයේ රහස් පරීක්ෂක නවකතාවට මෙන්ම විද්‍යා ප්‍රබන්ධයට ද බෙහෙවින් බලපෑවේ ය. පරිගණක ආධිපත්‍යයට නතුවන ලෝකයක් පිළිබඳ විෂය කරගත් විද්‍යා ප්‍රබන්ධ ශානරය 'Cyber punk' (සයිබර් පන්ක්) ලෙසින් හැඳින්වේ.

ශ්‍රී ලංකාවෙහි ද, සයිබර් අවකාශය තුළ ගොඩනැඟුණු සාහිත්‍යය තුළ නව පරපුරේ සිංහල ලේඛකයන්ට ද අසීමිත ඉඩක් ලැබුණි. ඒ තුළින් විද්‍යා ප්‍රබන්ධ ද ප්‍රකාශයට පත්වන්නට විය. එසේම, විදේශීය විද්‍යා ප්‍රබන්ධ කියැවීමෙන් ද එම චිත්‍රපට නැරැඹීමෙන් ද ආස්වාදයක් ලැබූ තරුණ ලේඛකයෝ, විද්‍යා පුවත්පත් තුළින් සිය නිර්මාණ (විශේෂයෙන් ම, කෙටිකතා) ඉදිරිපත් කරන්නට වූහ. ඒ අතුරින් ග්‍රන්ථකරණයට ද පිවිසි තුසිත රුවන්, මිහිරාන් කරුණාරත්න, දමිත නිපුණජිත් වැනි තරුණ ලේඛකයෝ, විචාරක පාඨක ප්‍රසාදය දිනා ගැනීමට සමත් වූහ.

විද්‍යා ප්‍රබන්ධයට පිවිසෙන නව පරපුර පිළිබඳ විශ්වාසය තවදුරටත් ශක්තිමත් කරවන, කෘතියක් මෑතකදී කියැවීමට ලැබිණි. එනම් සඳරුවන් පානකඩුවගේ ‘රක්ත ද්වාරය‘ නැමැති විද්‍යා ප්‍රබන්ධ (කෙටිකතා) සංග්‍රහයයි.

විද්‍යා ප්‍රබන්ධකරුවන්ගේ සුලභ හා ජනප්‍රිය තේමාවන් වෙනුවට එදිනෙදා ජන ජීවිතය හා දේශපාලන ආර්ථික කාරණා පවා දක්ෂ ලෙස භාවිතයට ගැනීමට පනාකඩුව සමත්ව සිටී. නිදසුනක් ලෙස ‘මුහුණු පොතේ මිතුරා‘ නමැති කතාව ලියැවී ඇත්තේ ‘ෆේස්බුක්‘ කතා බහක් ඔස්සේ ය.

පාසල් වියේදී දැන හැඳින සිටි මිතුරෙක්, මුහුණු පොතේ සිටිනු දුටු කථකයා (හර්ෂ) ඔහු හා සම්බන්ධ වෙයි. එතැන් සිට කතාව දිගටම ගමන් කරන්නේ එම පණිවිඩ මඟිනි.

හර්ෂ දැන් විවාහකය. එතෙර ගොස් සිටි මිතුරා සේනාධීර නැවත ලංකාවට පැමිණ සිටී. ඔහු කිසියම් රෝගයකින් පෙළෙන බව ද කියැවේ. මිතුරා බලන්නට තීරණය කරන හර්ෂ, ඔහු මුහුණු පොතින් දෙන පණිවිඩ අනුව දුර බැහැර ප්‍රදේශයකට යයි. එහෙත් එහි දී ඔහුට දක්නට ලැබෙන්නේ මිතුරාගේ සොහොනයි. දෙවසරකට පමණ පෙර මිය ගිය පුද්ගලයෙක් මුහුණු පොත තුළ ජීවත් වන්නේ කෙසේ ද යන පැනය ඉතිරි කරමින් කතාව නිමා වේ.

පනාකඩුව, විවිධ කතා සංකල්ප මෙන් ම භාෂා ශෛලීන් ද අනුගමනය කරයි. කාලතරණ සංකල්පයට නව මානයක් එක් කරන ‘චක්කවාල දේව කතා වස්තුව’ ලිවීමේදී ඔහු පැරණි සම්භාව්‍ය සිංහලය යොදා ගනී.

‘රක්තද්වාරය’ ද මගේ සිත් ගත් කතාවකි. රාජකාරි කටයුත්තක් සඳහා ඈත පළාතකට යන තරුණයකු එහි බැංකුවක සේවය කරන තම මිතුරකු හමු වෙයි. සවස නගරයේ සැරිසරණ ඔවුන්ට අවුකණ්ණාඩි විකුණන වෙළෙන්දෙක් මුණ ගැසෙයි. ඔහුගේ පෙරැත්තය නිසාම, කණ්ණාඩි යුවළ දෙකක් මිලදී ගන්නා දෙමිතුරෝ රක්ත වර්ණ වීදුරු දොරකින් ඇතුළුව අවන්හලකට පිවිසෙති.

ඉන් පසු කියැවෙන්නේ අවන්හල තුළදී ඔවුන්ට මුහුණ පෑමට සිදුවන අද්භූත සිද්ධීන් ය. එහි කෙරෙන කතා බහ ද අමුතුය.

කතාව අවසානයේ මෙසේ කියැවේ. ‘අප පෙරදිග සන්ධ්‍යාවේ ගිය සමාජ ශාලාව තිබූ තැනට මම පසු දිනක ගියෙමි. එතැන සමාජ ශාලාවක් තබා ගොඩනැඟිල්ලක් තිබූ බවට සලකුණක් හෝ නොවීය. එය දර්ශනය වන්නේ අර විශේෂිත අව් කණ්ණ්ඩි යුවළට පමණක් යැයි මට කල්පනා විය.‘

මෙම කතාවේ දී පාඨකයා තුළ ඇතිවන කුහුල සංසිඳවීමට රචකයා උත්සාහ නොකරයි. ඒ විශේෂ අව්කණ්ණාඩියේ විද්‍යාත්මක පදනම කුමක් ද, අවහන්ල තුළ සිටින සාමාන්‍ය සමාජයෙන් වෙන් වූ දීර්ඝායුෂ මිනිසුන් කවුරුන් ද? එහි විද්‍යාත්මක සත්‍යයක් තිබේ ද? මෙබඳු ගැටලු පාඨකයා තුළ ඉතිරි වෙයි.

‘රක්තද්වාරය‘ ට මොහාන් අලගියාවඩු ලියා ඇති පෙරවදනෙහි තැනක මෙසේ සඳහන් වෙයි. ‘විද්‍යා ප්‍රබන්ධය තම පරිකල්පනය මත ගොඩනැඟුණ ද එයින් විද්‍යාවේ සීමා මායිම් බිඳවැටුණහොත් ප්‍රබන්ධය මිථ්‍යාවක් බවට පත්වීම නොහොත් අද්භූත ජනකවීම වළකනු නොහැක. එමඟින් කෘතියේ හා අන්තර්ගතයේ විශ්වාසනීයත්වය පිළිබඳ පාඨකයා තුළ සාංකාවක් පහළවීමට ඉඩ ඇත.

පරිකල්පනය හා චරිත තාර්කික ව බද්ධ කිරීම එයට ඇති විසඳුම වේ.‘

පනාකඩුවගේ කතා එකතුවෙහි එන ‘පශ්චාත්තාපය‘ විද්‍යා ප්‍රබන්ධ ලෝලී පාඨකයා තෘප්තියට පත් කරවන වර්ගයේ නිර්මාණයකි.

විදුලි සැර වැදීමකට පසු ද්වි පුද්ගල චරිත ලක්ෂණ පිළිබිමු කරන කුඩා දරුවකු පිළිබඳ පර්යේෂණ කරන වෛද්‍යවරයකු හා ඔහු සමඟ සේවය කරන විද්‍යා හා තාක්ෂණවේදියකු වටා මේ කතාව ගෙතෙයි. විදුලි සැර වැදීම නිසා හෝ කිසියම් ඇසිඩ් වර්ගයක් අහඹු ලෙස ඔහුගේ මොළයට ඇතුළුවීම නිසා, දරුවාගේ මතකය ඔහුගේ පැරණි ආත්මයන්ට ගමන් කර ඇත්තේ ද යන සැකය වෛද්‍යවරයාගේ පර්යේෂණයට හේතු වෙයි.

ඒ සඳහා චිම්පන්සියෙක් ද යොදා ගැනෙයි. ක්‍රමයෙන් චිම්පන්සියා, ගණිතයෙහි දක්ෂකම් පෙන්වයි. පර්යේෂණය සාර්ථක වීමට ආසන්නව තිබියදී වෛද්‍යවරයා ද මානසික වෙනසකට පත්ව චිම්පන්සියකු සේ හැසිරීමට පටන් ගනී. වෛද්‍යවරයා ඒ තත්ත්වයට පත් වන්නේ තාක්ෂණවේදියා සිතා මතාම කළ වරදකිනි. ඉන් පසු ඔහු කළ පර්යේෂණයක් සාර්ථක වී වෛද්‍යවරයාට අත් විය යුතුව තිබූ කීර්තිය හිමි කර ගනී. අතීතාවර්ජනයකින් ඇරැඹෙන කතාව මරණ මංචකයේ පසුවන තාක්ෂණවේදියාගේ පසු තැවීමෙන් නිම වෙයි. සඳරුවන් පනාකඩුව නමැති තරුණ ලේඛකයා තුළ දක්ෂ විද්‍යා ප්‍රබන්ධකරුවකු ද සිටිනා බවට මේ කතාව කදිම සාක්ෂියකි. ඔහු කැපවීමෙන් හා හැදෑරීමෙන් යුතුව තව දුරටත් නිර්මාණකරණයේ යෙදුණහොත් ආතර් සී. ක්ලාක් ‘ජාන පරපුර‘ තවත් බුද්ධිමය දායකත්වයක් හිමි වනවාට සැක නැත.

විද්‍යා ප්‍රබන්ධකරුවා යනු, හුදු අපූර්ව කතා කියන්නකු පමණක් ම නොවේ. සත්‍යගරුක වූ ද සැබෑ වන්නා වූද අනාගත සිහින දකින්නෙකි. පනාකඩුවගෙන් ද අවශ්‍ය වන්නේ එබඳු සැබෑ වන සිහිනයයි.

 

කපිල කුමාර කාලිංග

 

නව අදහස දක්වන්න