ගුටිනොකා හැදුණු මිනිස්සු | දිනමිණ

ගුටිනොකා හැදුණු මිනිස්සු

 

එතකොට මම හතරෙ පන්තියේ විතර ඇති. අම්මයි තාත්තයි දෙන්නම කන්තෝරු යන හන්දා පුංචි මාව බලාගන්න ආයා කෙනෙක් ගෙදර නැවතිලා හිටියා. අවුරුදු නවයක් වෙච්ච මගේ හිතට සන්තෝසෙ පිරෙන්න පටන් ගන්නෙ හවසට අම්මයි තාත්තයි ගේට්ටුව ඇරගෙන මිදුලට ඇතුළු වෙනවා දකින කොටයි. තාත්තා හැමදාම හවසට මොනවා හරි රසකැවිල්ලක් කඩෙන් අරගෙන එන්න පුරුදු වෙලා හිටියා. ජුජුබ්ස්, ග්ලූකෝරස, මිදි, දෙළුම් වාගේ ඕනෑම පුංචි හිතක් කැමති කෑම ජාති ඒ අතර තිබුණා.

අම්මා හිතුවෙ වෙනස් විදිහට. අම්මා හවස ගෙදර එනකොට පැණි රහ ගෙනාවෙ නෑ. වැඩිපුර බුරුලක් නොපෙන්වා මාව උස් මහත් කරන්න ඕනෑය කියලා අම්මා තීරණය කරලා තිබුණා. අම්මගෙ සියුම් තරවටුවලට පස්සෙ තාත්තගෙ ආදරේ පිරුණු වචන හවසට ගෙදර ගේන රස කැවිලි වගේ මගේ හිතේ රිදුනු තැන් පිරියම් කරන්න උදව් වුණා. අම්මගෙයි තාත්තගෙයි සංයෝගෙ හින්දා මට වැඩිය බුරුලක් පෙන්නන්න තාත්තට පුළුවන් වුණේ නෑ වාගෙම, වැඩිය සැරවැර කරන්න අම්මට පුළුවන් වුණෙත් නෑ. ඒ මැදුම් පිළිවෙත මගේ ජීවිතේට අරගෙන ආවෙ සහනයක්.

අවාසනාවට හැම දරුවෙකුටම ඒ මැදුම් පිළිවෙතේ සහනය ලැබෙන්නෙ නෑ.

"ගහලා හැදුවෙ නැත්නම් අපි මෙතන නෑ....".හරිම පුරුදු කියමනක් මිනිස්සු කියන්නන් වාලේ කියනවා. එහෙම කියන උදවිය දැන් ඉන්නවා ඇත්තේ කොතනද? මට නිකමට හිතෙනවා, ඒ කියමන කියන උදවිය දැන් එයාලා ඉන්නේ කොහෙද කියන්න නිකමටවත් උත්සාහ කරන්නේ නෑ. ඒ උදවිය ඉන්නවා ඇත්තේ අයිස්ලන්තෙ හිමකන්දක් උඩ වාගෙ කාටත් කිට්ටු වෙන්න බැරි ඉසව්වක වෙන්න ඇතිය කියලා මං හිතෙන් හිතා ගන්නවා.

ලෝකෙ දක්ෂම මිනිස්සු බිහිවෙලා තියෙන්නෙ සැරවැරවල බලේට එහෙම නැත්නම් පාර හිටින්න වැදුණු කෝටු පාර වල බලේට නෙමෙයි. එයාලට එයාලා කැමති පාර දිගේ නිදහසේ ඇවිදන් යන්න පුළුවන් වෙච්චි හන්දයි. කවුරුවත් එයාලගේ පාර හරස් කරගෙන උසට උසේ හිටගෙන හිටියෙ නැති හන්දයි. ඒ වගේම එයාලා උපතින්ම අරගෙන එන අති විශේෂ දක්ෂතා හින්දයි. ඒ වගේ දක්ෂතා ගහලා බැනලා උපදවන්න පුළුවන් දක්ෂතා නෙමෙයි.

ළඟදි දවසක මූණ පුරා පැතිරිච්ච හිනාවක් එක්කලා ලස්සනට තාලෙට කියපු සින්දුවකින් ලංකාවෙ හරිම තරුණ ගෑනු ළමයෙක් ජාත්‍යයන්තරේ දිනනවා. අපි පුංචි සන්දියේ ඉදලම ලංකාවෙ ගෑනු ළමයි හින්දි සින්දුවල තාලෙට නැටුවට, පළවැනි පාරට ඉන්දියාවේ ගෑනු ළමයි සිංහල සින්දුවක තාලෙට නටනවා පිටරට ඉන්න මං ඇස් දෙකෙන්ම දකිනවා. පිටරටවල මිනිස්සු ලංකාවෙ සින්දුවක තාලෙට නටවපු ඒ ගෑනු ළමයා "මම මෙතන ඉන්නේ තාත්තයි අම්මයි මට ගහලා හදපු හන්දාය" කියලා කියන්නෙ නෑ.

ඒ වෙනුවට එයා ඊට වැඩිය වෙනස් කතාවක් කියනවා. "මට ගිණුම්කරණය පිළිබද පශ්චාත් උපාධියක් තිබුණට, ගිණුම්කරණ කන්තෝරුවක රස්සාව කරන්න යන්න කියලා දෙමව්පියෝ බලකළේ නෑ. එයාලට මුලින් මගේ ගමන තේරුම් ගන්න බැරි වුණා. ඒත් දැන් මට ගේ ඇතුළෙම සංගීත කාමරේකුත් හදාගන්න දීලයි තියෙන්නෙ." දෙමව්පියෝ බල කරලා එයා ගිණුම්කරණ කන්තෝරුවක වැඩට ගියා නම්, අට පහ රස්සාවක් කළා නම්, ලංකාවෙ නම හිටි හැටියේ ජාත්‍යන්තරය දිනන්නේ නෑ. ඉන්දියාවේ ගෑනු ළමයි ලංකාවෙ සින්දුවල තාලෙට නටන්නෙත් නෑ. නමින් යොහානි දිලෝකා ද සිල්වා වෙච්ච අවුරුදු විසි අටේ අති දක්ෂ ගැහැනු ළමයා ජාත්‍යන්තරය දින්නෙ එයාට "ගහලා හදපු" හන්දාය කියලා එයා කොහේදිවත් කියුවෙ නෑ.

ඒ කතන්දර කොයි හැටි වෙතත්, ගහලා හැදීමේ වටිනාකම කවදාවත් ලංකාව ඇතුළෙ අවතක්සේරු වෙන්නෙ නෑ.

මෑත අතීතෙ දවසක පොත් පාඩම් කරන්නෙ නෑය කියලා තාත්තෙක් කරදඬු උස්මහත්වෙච්ච දරුවකුට කොසු මිටකින් ගහපු පුංචි පාරක් හන්දා ඒ දරුවා මේ ලෝකෙන් යන්නම යනවා. ඒ ඉතාමත් දුක්බර ප්‍රවෘත්තිය මාධ්‍ය ලෝකය ඇතුළේ වාර්තා වෙන්නෙ බොහොම සැර බාල කරලයි. "තරවටුවකින් දරුවෙක් මියයයි" වගේ නිවුණු වචන ඒ ප්‍රවෘත්තිය ඉදිරිපත් කරන්න පාවිච්චි වෙනවා..

අවුරුදු දාසයක ජීවිත කාලයක් එහෙම පිටින්ම ඇස් ඉස්සරහා තියෙන තරුණ දරුවෙක්ගෙ ජීවිතේ අසුරු සැණකින් හොරු අරගෙන ගියාට පස්සෙත් අපේ රටේ හුගක් උදවිය ඒ දිහාව බලන්නෙ එයාලට අනන්‍ය වෙච්ච කෝණෙකින් විතරයි."ඒක ළමයගෙ වෙලාව. තාත්තෙක් වැරදි හිතකින් ගහන්නෙ නෑ. ගහන්නෙ ළමයෙක් හදාගන්න." හුඟක් අය තමන්ගෙ හෘද සාක්ෂියෙ නඩු තීන්දුව දෙන්නෙ ඒ විදිහට.

තරුණ දරුවෙක්ගෙ මරණෙකින් පස්සෙ මරණෙට හේතු වෙච්ච පුද්ගලයාට මුළු සමාජයක අනුකම්පාව හිමි වෙනවා දැකපු මට මගේ හදවත මොහොතකට නතර වෙනවා දැනුණා. මරණයක් "අත්වැරැද්දක්" විදිහටත්, මරණය සිද්ධ කරපු මනුස්සයා " අසරණ මනුස්සයෙක්" විදිහටත් සමාජයේ බහුතරයක් අර්ථ දක්වනවා මං දැක්කෙ මගේ ජීවිත කාලෙ පළමුවැනි වතාවට. මේ සිදුවීම ගැන කතා කරන සන්නස්ගල සිංහල ගුරුතුමා මෝහිනී ගැන මතක් කරනවා. මෝහිනී කවදාවත් දරුවාව අත අරින්නේ නෑය කියලත්, සාරිය ඇදගන්න දරුවා වෙන කෙනෙක් අතට දුන්නත් දරුවාව ආපහු ඉල්ල ගන්න විත්තියත් සන්නස්ගල ඇදුරුතුමා කියනවා.

මෝහිනීට දරුවා දුන්නා නම් දරුවට අනතුරක් වෙන්නේ නෑය කියලා එතුමා කතාව අහවර කරනවා.

මං හිතන්නෙ ඒ කතාවෙ මෝහිනී කියලා අදහස් වෙන්නෙ දරුවාගෙ "අම්මා" ම නෙමෙයි. සැබෑ දරු පෙම තියෙන ඕනෑම කෙනෙක් මෝහිනීගෙ ස්වරූපය ගන්නවා.

සැබෑ දරු පෙම තියෙන කිසිම කෙනෙකුට දරුවා අත ඇරෙන්නේ නෑ. එයාලා ගිලිහෙන්න නොදී දරුවන්ව හයියෙන් අල්ලලා තියාගන්නවා.

විභාග පාස් නොවුණත්, දරුවන්ගෙ ජීවිතේ ඉතුරුවෙන හන්දා ඒ දරුවො වෙන කොයි හරි විදිහට ජීව්තේ දිනනවා. මාතර ඉඳලා කොළඹ යන්න අධිවේගී මාර්ගයෙම නොගියට වෙන ඕනෑ තරම් පාරවල් තියනවාය කියලා ඒ වාසනාවන්ත දරුවන්ගෙ දෙමව්පියන් දන්නවා.

 

දසුනි හෙට්ට්ආරච්චි

 

නව අදහස දක්වන්න