‘අපි උඹලට බය නෑ’ | දිනමිණ

‘අපි උඹලට බය නෑ’

එක් පාර්ශ්වයක ගුරුවරු, විදුහල්පතිවරු හා වෘත්තීය සමිති නායකයෝ සිටිති. තව පාර්ශ්වයක අධ්‍යාපන අමාත්‍යාංශය, ආණ්ඩුව හා එහි හවුල්කරුවෝ සිටිති. තවත් පාර්ශ්වයක හතළිස් තුන් ලක්ෂයක් ශිෂ්‍ය ප්‍රජාව හා ඔවුන්ගේ මවුපියෝ සිටිති. කිසිදු පාර්ශ්වයක් තවත් පාර්ශ්වයක් සමඟ පූර්ණ එකඟතාවකට පැමිණ නැත. සෑම පාර්ශ්වයක්ම කරන්නේ ‘අපි උඹලට බය නෑ’ වැනි ස්ථාවරයක සිටගෙනය. “අපි යතුරු දෙන්නේ නෑ! පුළුවන්නම් ඉස්කෝල ඇරපල්ලා” යැයි ගුරු විදුහල්පති වෘත්තීය සමිති සන්ධානයේ සභාපතිවරයා කියයි. එහි ලේකම්වරයා ද ඊට සමාන ප්‍රකාශයක් කරමින් ආණ්ඩුවට තර්ජනය කරයි. ආණ්ඩුවට අවශ්‍ය දිනයට නොව අපට අවශ්‍ය දිනයට පාසල් විවෘත කළ යුතු යැයි වෘත්තීය සමිති කල්පනා කරති.

ඉන්දියාව කොවිඩ් මර්දන එන්නත් නිෂ්පාදනය කරන රාජ්‍යයක් වුව එන්නත්කරණය අතින් ශ්‍රී ලංකාව තරම් ප්‍රගතියක් ලබා නැත. එහෙත් ඉන්දියාව පාසල් විවෘත කොට අධ්‍යාපනය යථාවත් කිරීමට පියවර ගෙන ඇත. ඔස්ට්‍රේලියාව පසුගිය දහඅට වන දා රටේ සියලු පාසල් විවෘත කළේය. ලෝකයේ බොහෝ රටවල් අධ්‍යාපනයේ අවශ්‍යතාවය වටහාගෙන පාසල් විවෘත කිරීමට පියවර ගෙන තිබේ. අපේ රටේ වසර එකහමාරකට වැඩි කාලයක් පාසල් වසා දමා ඇත. අනාගතය භාර ගත යුතු පරම්පරාවක් බරපතළ පසුබෑමකට ලක් වී ඇත. කොවිඩ් වසංගතය හැරුණු කොට ඊට බලපා ඇති අනෙක් ප්‍රධාන සාධකය වන්නේ ගුරු විදුහල්පතිවරුන්ගේ වර්ජනයයි. එම වර්ජනයට හා විරෝධතාවට දින සියයකට වැඩි කාලයක් ගෙවී ඇත.

ගුරු විදුහල්පතිවරුන්ගෙන් කොටසක් පාසල් විවෘත කිරීමට එකඟය. අද සිට පාසල්වල ඉගැන්වීම් ක්‍රියාවලිය යථාවත් කිරීමට ඔවුහු ක්‍රියා කරති. තව පිරිසක් වෘත්තීය සමිති සන්ධානයේ මතයට යටත්ව තවදුරටත් වර්ජනයේ නිරතව සිටිති. තවත් පිරිසක් අද සිදුවන්නේ කුමක්දැ’යි විමසමින් වැට උඩ සිටිති. ගුරුවරයා හා විදුහල්පතිවරයා රාජ්‍ය සේවයට අයත් බැවින් රජයේ තීරණ ක්‍රියාත්මක කිරීමට බැඳී සිටිති. පාසලේ යතුරු සඟවා තබාගැනීමේ අයිතියක් ඔවුනට නැත. රාජ්‍ය දේපොළ අවභාවිත කිරීමට එරෙහිව නෛතික පියවර ගත හැකිය. මේ අතර මාපියන් හා ශිෂ්‍ය ප්‍රජාව තුළ පාසල් විවෘත කිරීමට බලවත් උනන්දුවක් පවතී. ඔවුන් අධ්‍යාපන ක්‍රියාවලිය යථාවත් කළ හැකි බවට බලාපොරොත්තු දල්වාගෙන සිටින බව පෙනෙයි.

අද විවෘත කිරීමට නියමිතව ඇත්තේ ශිෂ්‍ය සංඛ්‍යාව දෙසීයකට අඩු කුඩා ප්‍රමාණයේ ප්‍රාථමික පාසල් තුන් සියයක් පමණි. රජයට අයත් මුළු පාසල් ප්‍රමාණය දස දහසකට වැඩිය. මේ සියල්ල ඉතා කෙටි කලක් තුළ විවෘත කොට අධ්‍යාපන ක්‍රියාවලිය කාර්යක්ෂම නොකළොත් විභාග ක්‍රමය අවුල් වී ජාතික අධ්‍යාපනය බරපතළ අවුලකට යනු ඇත. එම අවුල ඇති නොවීමට රජය වගබලා ගත යුතුය. රටේ සියලු පිරිවෙන් මේ වන විට ක්‍රියාත්මකය. ඒවායෙහි අධ්‍යාපන කටයුතු නිසි පරිදි සිදු වෙයි. පාසල් පද්ධතිය ද ඒ අයුරින්ම යථාවත් කිරීම කළ යුතුය. පාසල් වසා දැමීමේ පාඩුව ඇත්තේ ශිෂ්‍ය ප්‍රජාවට හා ඔවුන්ගේ මවුපියන්ටය. මවුපියෝ පාසල් විවෘත කිරීම සඳහා ඕනෑම කැපවීමක් කිරීමට සූදානම්ව සිටිති.

ගුරු-විදුහල්පති ඉල්ලීම් අසාධාරණ යැයි අප කියන්නේ නැත. එම ඉල්ලීම් යුක්තිසහගත බව ආණ්ඩුව ද පිළිගෙන තිබේ. ඉල්ලීම වන්නේ හිඟ වැටුප් දෙනු යන්නය. හිඟ වැටුප් දීම සඳහා ක්‍රමවේදයක් ද ආණ්ඩුව හඳුන්වා දී තිබේ. එහෙත් එය පිළිගැනීමට වෘත්තීය සමිති සූදානම් නැත. වෘත්තීය සමිති කියන ආකාරයට ආණ්ඩුව වැඩ කළ යුතු යැයි වෘත්තීය සමිති නායකයෝ සිතති. මෙය සීමාව ඉක්මවා යෑමකි. වෘත්තීය සමිති නායකයන්ගේ තර්ජනවලින් පෙනීයන්නේ රටේ අධ්‍යාපනය කඩාකප්පල් කොට ඒ ඔස්සේ රාජ්‍ය තන්ත්‍රය අවුල් කිරීමේ වුවමනාවක් ඔවුනට ඇති බවය. සාධාරණ සමාජයකට එය අනුමත කළ නොහැකිය. මේ අනුව ගුරු විදුහල්පති සටනට එරෙහි මහජන විරෝධයක් ගොඩනැ‍ෙඟමින් පවතී. එය මහජනයාගේ අයිතියකි.

කොවිඩ් වසංගතයත් සමඟ ලෝකයේ සෑම රාජ්‍යයකම ආර්ථිකය දුර්වල විය. ඇතැම් සමාගම් වසා දමා ඇත. රාජ්‍ය සේවාවන් ඉතා අපහසුවෙන් පවත්වාගෙන යෑමට සමහර රටවලට සිදු වී ඇත. ඇතැම් ආයතනවල සේවකයන් දොට්ට දමා ඇත. ඇතැම් ආයතනවල සේවකයන්ට ලැබෙන්නේ මූලික වැටුපෙන් භාගයක් පමණි. ප්‍රසාද දීමනා නවතා ඇත. වැටුප් වර්ධක නවතා ඇත. ප්‍රවාහන දීමනා කපා හැර ඇත. ශ්‍රී ලංකාව දුප්පත් රටක් වුව රාජ්‍ය සේවයේ වැටුප් කපා හැර නැත. විශ්‍රාම වැටුප් කපා හැර නැත. මේ මූල්‍ය කළමනාකරණය ගැන ශ්‍රී ලංකා රජයට කෘතඥතාව පළ කළ යුතුය. එහෙත් සිදු වන්නේ වෙනත් දෙයකි. ගුරු-විදුහල්පති ගැටලුව කවුරුන් විසින් හෝ අවුල් කර දමා තිබේ.

මේ ගැටලුව විසැඳීමකට පත් විය යුත්තේ කිසිදු පාර්ශ්වයකට අයුක්තියක් සිදු නොවන අයුරින්ය. ගුරුවරුන්ගේ හා විදුහල්පතිවරුන්ගේ ගෞරවය ආරක්ෂා විය යුතුය. රජයකට ඇති අභිමානය ද ආරක්ෂා විය යුතුය. ඒ අතර ශිෂ්‍ය ප්‍රජාවගේ හා මවුපියන්ගේ අපේක්ෂා බිඳ වැටෙන්නට ඉඩ නොතැබිය යුතුය. ඒ සඳහා සෑම පාර්ශ්වයක්ම නම්‍යශීලි විය යුතුය. ආණ්ඩුව ගුරුවරයාගේ ගෞරවය ආරක්ෂා කළ යුතු සේම වෘත්තීය සමිති රජයට තර්ජනය කිරීම නැවැත්විය යුතුය. රටේ අනාගතය යැයි සලකන ශිෂ්‍ය ප්‍රජාව ප්‍රාණ ඇපයට ගෙන වෘත්තීය සටන් ජය ගැනීමට වෑයම් කිරීම අනුමත කළ හැකි දෙයක් නොවේ. රටේ අනාගතය සමඟ සෙල්ලම් කිරීම නැවැත්විය යුතුය. අප මුහුණ දී ඇත්තේ අභියෝගාත්මක කාල පරිච්ඡේදයකටය. මේ අභියෝග ජයගැනීම සඳහා සාමූහිකව සටන් වැදීමට සිදු වී ඇත. එහිදී බොහෝ කැප කිරීම්වලට යොමු වන්නට සිදු වන බව ද අමතක නොකළ යුතුය.

නව අදහස දක්වන්න