මනරංජන වැඩ වර්ජන | දිනමිණ

මනරංජන වැඩ වර්ජන

ගෝඨාභය රාජපක්‍ෂ ජනාධිපතිවරයා ජනාධිපති පදවියට පත්ව මේ ගෙවී යන්නේ 23 වැනි මාසයයි. ලබන නොවැම්බර් 19 වැනිදාට ඔහු ජනාධිපති පදවියට පත් ව මාස 24ක් හෙවත් වසර 02ක් සපිරීමට නියමිත ය. ගෙවී ගිය වසර 02කට ආසන්න කාලයේ දී ගෝඨාභය රාජපක්‍ෂ ජනාධිපතිවරයාට මුහුණ දීමට සිදු වූ ප්‍රධාන අභියෝග දෙකක් තිබේ. ඉන් පළමුවැන්න, ගෝලීය කොවිඩ් අභියෝගයයි. දෙවැන්න, ගෝඨාභය රාජපක්‍ෂ මහතා ජනාධිපති පදවියට ඔසවනු ලැබූ බලවේග හා ඔහුට එරෙහි දේශපාලන බලවේග දියත් කර ඇති වර්ජන රැල්ලයි.

ගෝලීය කොවිඩ් උවදුර මනාව කළමනාකරණය කර ගැනීමට ගෝඨාභය රාජපක්‍ෂ ජනාධිපතිවරයා සමත් වී තිබේ. ආණ්ඩුවේම කණ්ඩායම්වල නිද්‍රාශීලි හැසිරීම් රටාවන් ද කළමනාකරණය කර ගනිමින් විපක්‍ෂ දේශපාලන කණ්ඩායම්වල දැඩි විවේචනයන්ට මුහුණ දෙමින් ජනාධිපතිවරයා කොවිඩ් ව්‍යාප්තිය නිවැරැදි ව කළමනාකරණය කර ගෙන ඇත. ලෝකයේ කොවිඩ් ව්‍යාප්තිය පාලනයට ඇති නිවැරැදිම හා විද්‍යාත්මක ක්‍රමවේදය වන එන්නත්කරණය ජනාධිපතිවරයා බලාත්මක කළේ, ශ්‍රී ලංකා යුද හමුදාවේ සහාය ද උපයෝගි කර ගනිමිනි. යුද හමුදාවේ සහභාගිත්වයෙන් කොවිඩ් ව්‍යාප්තිය පාලනය කිරීමට ජනාධිපතිවරයා කටයුතු කරන විට ඇතැමුන් එය පෙන්වා දුන්නේ මිලිටරිකරණය කිරීමක් වශයෙනි. මුළු රටම කොවිඩ් උවදුර වෙළාගෙන තිබිය දී නන්විධ ඉල්ලීම් ඉදිරිපත් කරමින් සෞඛ්‍ය සේවාවේ වෛද්‍යවරු, හෙද කාර්ය මණ්ඩල, උපස්ථායක සේවකයෝ, රසායනාගාර සේවාවල නිරත වූවෝ හා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු ද උද්ඝෝෂණ හා වැඩ වර්ජනවල නිරත වූහ. එහෙත්, රණවිරුවන් විසින් සෞඛ්‍ය සේවාව බිඳ නොවැටී පවත්වාගෙන ගියේ ජනාධිපතිවරයා යුද හමුදාව කෙරෙහි තැබූ විශ්වාසය මනාව සුරක්‍ෂිත කරමිනි. කොවිඩ් ව්‍යාප්තිය පාලනය කෙරෙහි යුද්ධ හමුදාවේ දායකත්වය මිලිටරිකරණය ලෙස අර්ථදැක්වූවන්ගේ චෝදනා පුස් වෙඩි බවට පත් කරමින් ශ්‍රී ලංකා යුද්ධ හමුදාව කොවිඩ් අවදානම අවම කිරීමේ ක්‍රියාන්විතය බලාත්මක කළේය.

යුද හමුදාවේ කැප කිරීම

වැඩ වර්ජන නොකළ යුතු අවස්ථාවක සුව සේවාවේ ඇතැම් වෘත්තීය කණ්ඩායම් වෘත්තීය ක්‍රියාමාර්ගවලට අවතීර්ණ වූයේ රෝගීන් ප්‍රාණ ඇපයට ගනිමිනි. එහෙත්, සුව සේවාව බිඳ නොවැටී අඛණ්ඩව පවත්වා ගෙන යෑමට යුද හමුදාව මනා ශක්තියක් සලසා දුන්හ. විපක්‍ෂයේ ඇතැම් කණ්ඩායම් සහ විපක්‍ෂයේ ඉදිරි පෙළ නායකයන්ගේ පුරෝකථනය වූයේ කොවිඩ් උවදුර හේතුවෙන් අවම වශයෙන් ලක්‍ෂයක පමණ පිරිසක් ජීවිතක්‍ෂයට පත් වෙනු ඇත යන්නය. එහෙත්, එම තත්ත්වය මනාව කළමනාකරණය වූයේ ජනාධිපතිවරයා නිවැරදිව සහ අධිෂ්ඨානශීලීව කොවිඩ් උවදුර කළමනාකරණය කිරීමට කරන ලද ඝෘජු මැදිහත්වීමේ ප්‍රතිඵලයක් වශයෙනි.

කොවිඩ් උවදුර සමස්ත ජන ජීවිතයටම දැඩි බලපෑමක් එල්ල කරන අවස්ථාවේ වෘත්තීය සමිති කිහිපයක් ඒකාබද්ධව ගුරු වැඩ වර්ජනයක් ආරම්භ කළහ. ඒ 1994 ගුරු සේවය පිහිටුවීමෙන් අනතුරුව 1997 දී ඇති වූ වැටුප් විසමතාවය ගුරු වර්ජනය සඳහා නිමිත්ත කර ගනිමිනි. වසර 24 ක් පුරා දිග්ගැසුණු ප්‍රශ්නයකට ගුරුවරු එක රාත්‍රියකදී ගෝඨාභය රාජපක්‍ෂ ජනාධිපතිවරයාගෙන් විසඳුම් ඉල්ලා සිටිම කොතරම් යුක්ති සහගත ද? අධ්‍යාපන අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරියක වූ සුබෝධනී මහත්මියගේ ප්‍රධානත්වයෙන් පත් කළ කමිටුවේ නිර්දේශ වහාම ක්‍රියාත්මක කරන ලෙස බලකරමින් ගුරුවරු මාර්ගගත ඉගැන්වීම් (online) ක්‍රමවේදයෙන් ඉවත් වීමට තීරණය කළහ. කොවිඩ් උවදුර නිසා පාසල් වසා දැමුව ද, දරුවන්ගේ අධ්‍යාපනය බිඳ වැටුණේ කොවිඩ් නිසා නොව ගුරු සංගම් දියත් කළ වැඩ වර්ජනය නිසා බව සිහි තබා ගැනීම වැදගත් ය.

ෂයිලොක්ගේ න්‍යාය

සුව සේවාවේ වෘත්තීය කණ්ඩායම් රෝගීන් ප්‍රාණ ඇපයට ගත්තේ යම් සේ ද, ගුරු සංගම් ප්‍රාණ ඇපයට ගත්තේ සිසු දරුවෝ ය. ගෝලීය කොවිඩ් වසංගතය අන්තර්ජාතික ආර්ථික අර්බුදයක් නිර්මාණය කර ඇත. එම අර්බුදයේ දැඩි බලපෑම ශ්‍රී ලංකාව වැනි චූල ආර්ථිකයක් සහිත රටකට දැඩි බලපෑම් එල්ල කර තිබේ. එවැනි තත්ත්වයක දී ෂයිලොක්ගේ මස් රාත්තලම ඉල්ලීමේ න්‍යායට පණ පොවමින් එක වර සියලු හිඟ වැටුප් ඉල්ලා ජනාධිපතිවරයා ප්‍රමුඛ ආණ්ඩුව දැඩි අසීරුවට පත් කිරීම දේශපාලන පසුබිම් හා දේශපාලන අරමුණු සහිත වෘත්තීය සංගම්වල පරමාර්ථය වී තිබුණි. සියලු අසීරුතා මඟ හැර ගනිමින් වැටුප් විසමතාවයට තාවකාලික විසඳුමක් ලෙස රුපියල් 5,000/ක දීමනාවක් ගුරුවරුන්ට දීමට රජය තීරණය කළේය. එහෙත්, ගුරු සංගම් එම දීමනාව ප්‍රතික්ෂේප කළහ. හිඟ වැටුප් වසර තුනකින් ගෙවීමට ඇමැති අනුකාරක සභාව කරන ලද යෝජනාව ද ප්‍රතික්ෂේප කළ ගුරු සංගම් නායකයෝ වසර දෙකකදී හිඟ වැටුප් ගෙවීමට අගමැතිවරයාගේ යෝජනාව ද ප්‍රතික්ෂේප කළහ .

ඉල්ලීම් දිනා ගත්තා ද?

ළමයින් 200ට අඩු පාසල් අද (21 වැනිදා) විවෘත කිරීමට කටයුතු සූදානම් කර තිබිය දී, ඇතැම් ගුරු සංගම් නායකයන් ප්‍රකාශ කරන්නේ ඔවුන් ඉගැන්වීම් කටයුතු සඳහා පාසල්වලට නොඑන බවය. ජාතික ආර්ථිකය දැඩි අර්බුදයකට ගමන් කර තිබියදී සුබසාධන කටයුතු ඇතුළු මහජන සේවාවන් බිඳ වැටීමකින් තොරව අඛණ්ඩව පවත්වා ගෙන යමින් ගුරු වැටුප් ඉල්ලීම්වලට ද ජනාධිපතිවරයා ප්‍රමුඛ රජයේ අවධානය යොමු වී තිබේ. එහෙත්, එම නම්‍යශීලී පිළිවෙත නොසලකා ඇතැම් ගුරු සංගම් ෂයිලොක් න්‍යාය ක්‍රියාත්මක කරන්නේ ගුරු ඉල්ලීම්වලට වඩා ඔබ්බට ගිය දේශපාලන අරමුණු නිසා බව පැහැදිලිය. කෙසේ නමුත් ගුරුවරයා දඩමීමා කර ගෙන මාස ගණනක් පුරාවට දිගෑදුණු ගුරු සටන අවසානයේ නිමාවන්නේ කවර ඉල්ලීමක් දිනාගෙන ද? වෘත්තීය සංගම් වැටුප් විසමතාවය පිළිබඳ ප්‍රශ්නයට කිසිදු විසඳුමක් දිනා දුන් බවක් නිරීක්ෂණය නොවේ. නිරීක්ෂණය වන එකම කාරණය දේශපාලන අරමුණු වෙනුවෙන් ගුරුවරු මෙවලමක් කර ගැනීම පමණි.

ගෙවී ගිය වසර 02ක කාලය තුළ ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධනය කැපීපෙනෙන සුළු අන්දමින් බිඳ වැටීමකට ලක් වී තිබේ. නිදහසින් පසු ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධන වේගය වැඩිම ඝෘණ අගයක් පෙන්නුම් කරන්නේ මේ වසරේදී ය. ශ්‍රී ලංකා ආර්ථිකය මේ සා විශාල අර්බුදයකට මුහුණදී තිබිය දී, ඇතැම් අත්‍යාවශ්‍ය නොවන ආනයන අධෛර්ය කිරීම සඳහා ප්‍රතිපත්ති, තීරණ ගනිමින් දේශීය නිෂ්පාදන ප්‍රවර්ධනය කිරීමට ද ජනාධිපතිවරයා ප්‍රමුඛ රජය ප්‍රතිපත්තිමය තීරණ ගෙන ඇත. වාර්ෂිකව කෘෂිකාර්මික කටයුතු සඳහා විශාල විනිමය ප්‍රමාණයක් විදේශ වෙත ඇදී යන්නේ ආනයනික පොහොර හා කෘෂිකාර්මික කටයුතු සඳහා යොදාගන්නා වූ වෙනත් රසායන ද්‍රව්‍ය වෙනුවෙනි. රසායනික පොහොර භාවිතයෙන් ඉවත්ව කාබනික ගොවිතැන ප්‍රවර්ධනය කිරීමට රජය මේ වන විට ප්‍රතිපත්තිමය තීරණයක් ගෙන ඇත. ඒ ප්‍රතිපත්තිමය තීරණය කඩාකප්පල් කිරීම සඳහා ද මේ වන විට දේශපාලන බල ව්‍යාපෘති ක්‍රියාත්මකව තිබේ. රසායනික පොහොර ඉල්ලා ගොවීන් යැයි කියාගන්නා සුළු පිරිසක් උද්ඝෝෂණයේ යෙදෙන්නේ සැබෑ අවශ්‍යතාවයට ද නොඑසේ නම් ‍ඇතැම් දේශපාලන පක්ෂ හා කණ්ඩායම්වල වුවමනාවට ද කියා පැහැදිලි නැත.

වාරි හා කෘෂිකාර්මික ඉතිහාසය

ශ්‍රී ලංකාවේ කෘෂිකාර්මික කටයුතු සඳහා රසායනික පොහොර භාවිතය සම්බන්ධයෙන් ඇත්තේ දශක 05 කට හෙවත් වසර 50කට නොඅඩු කෙටි ඉතිහාසයකි. ශ්‍රී ලංකාවේ කෘෂිකාර්මික හා වාරි ඉතිහාසය වසර 2500කට වැඩිය. ඉපැරැණි ශ්‍රී ලංකාව විශිෂ්ට වාරි හා කෘෂිකාර්මික ඉතිහාසයකට උරුමකම් කියන්නේය. මුළු රට ම එදා වගා බිමක් වූයේ හා ශ්‍රී ලංකාව පෙරදිග ධාන්‍යාගාරය යන විරුදාවලිය ලැබුවේ අපේ වාරි ශිෂ්ටාචාරය මත ගොඩනැඟුණු දියුණු ගොවිතැන හා සබැඳි වගා පිළිවෙත නිසාය. අද වන විට ගොවියා රසායනික පොහොර භාවිතයේ වහලකු වී තිබේ.

යළි ක්‍රමිකව කාබනික ගොවිතැන ප්‍රවර්ධනය කිරීමට රජය කටයුතු කරන විට ඊට එරෙහිව ගොවීන් වෙතින් විරෝධතා මතු කිරීමට ඇතැම් කණ්ඩායම් කටයුතු කරමින් සිටිති. කොවිඩ් උවදුර කළමනාකරණය කර ගැනීමට ජනාධිපතිවරයා සමත් වුවද, ඔහුගේ වැඩපිළිවෙළ වෙනත් උපාය මාර්ගික ක්‍රමවේද භාවිත කරමින් අර්බුදයක් නිර්මාණය කිරීම සඳහා රට පුරා විවිධ ක්ෂේත්‍රවල වර්ජන රැල්ලක් නිර්මාණය කර තිබෙන බවක් නිරීක්‍ෂණය වේ. ජාතියට බත සපයන ගොවියා දඩමීමා කර ගෙන ගොවි සටනක් නිර්මාණය කර ඇත්තේ වී මිලදී ගැනීම සහ රසායනික පොහොර වෙනුවට කාබනික පොහොර භාවිත කිරීමේ වැඩපිළිවෙළ කඩාකප්පල් කිරීම හරහාය. මේ රටේ අනාදිමත් කාලයක් මුළුල්ලේ පැවති කාබනික ගොවිතැන යටපත් කොට රසායනික පොහොර භාවිත කරන කෘෂිකර්මාන්තය වෙනුවෙන් ඇතැම් වාමාංශික යැයි කියන දේශපාලන කණ්ඩායම් පෙනී සිටීම සැබවින්ම කනගාටුදායකය. ජාතික සම්පත් රටට අහිමි කළ දේශපාලන පක්‍ෂ හා ඒවායේ නායකයෝ ගොවි ජනතාව වෙනුවෙන් කිඹුල් කඳුළු හෙළීම ද උත්ප්‍රාසය දනවන සුළුය.

ලංකා පොහොර සංස්ථාව

1970 - 77 සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියගේ ආණ්ඩුවට සෝවියට් සමාජවාදී සමූහාණ්ඩුව ත්‍යාගයක් ලෙස පොහොර නිෂ්පාදනය සඳහා ලංකා පොහොර සංස්ථාව ස්ථාපිතකර දුන්නේය. ශ්‍රී ලාංකීය ගොවි ජනතාවගේ පොහොර අවශ්‍යතාවය සපුරා ලූ එකම ආයතනය ලංකා පොහොර සංස්ථාවයි. එම ආයතනය 1977 දී බලයට පත් එක්සත් ජාතික පක්‍ෂ ආණ්ඩුව විජාතික සමාගම්වලට විකුණා දමන ලදී. පොහොර සංස්ථාව මිල දී ගත් විජාතික සමාගම් අවසානයේ එම සංස්ථාව සතු මහා පරිමාණ යන්ත්‍ර සූත්‍ර ද ගලවාගෙන ගියහ. පසු කලෙක කුප්‍රකට බටලන්ද වධකාගාරය පිහිටුවූයේ ලංකා පොහොර සංස්ථාව පිහිටි බිමේ බව ජනතා විමුක්ති පෙරමුණේ සහෝදරවරුන් අද අමතක කර තිබීම සැබවින්ම කනගාටුදායකය.

වසර 02කට නොඅඩු ගෝඨාභය රාජපක්‍ෂ ජනාධිපතිවරයාගේ ආණ්ඩුවේ ගමන් මඟ සියයට සියයක් නිවැරදි යැයි නොකියමු. මේ ආණ්ඩුවේ ගමන් මඟ පිළිබඳව ජනාධිපතිවරයා ද ස්වයං විවේචනයක නිරත විය. හැටනව ලක්ෂයක් ජනතාව ජනාධිපතිවරයා ප්‍රමුඛ ආණ්ඩුවට ශක්තිමත් ජනවරමක් දී ඇත්තේ ජනතාව සමඟ සූදු ක්‍රීඩාවේ යෙදීමට නොවන බව සිහි තබා ගැනීම වැදගත් ය. පෙර පැවති ආණ්ඩුවලට සේම මේ ආණ්ඩුවට ද ජාතික සම්පත් විකිණීමට අයිතියක් නැත, ජාතික දේපළ සොරා කෑමට අයිතියක් නැත. වංචනිකයන්, දූෂිතයන් රාජ්‍ය ආයතනවලට පත් කිරීමට අයිතියක් නැත. පැවති ආණ්ඩු කළා සේ හොරකම් කිරීමට, වංචා කිරීමට, දූෂණ ක්‍රියාවල නිරත වීමට මේ ආණ්ඩුවට සම්බන්ධ කිසිවකුට අයිතියක් නැත. හැටනව ලක්ෂයක ජනවරම මේ ආණ්ඩුවට ලැබී ඇත්තේ වසර 05ක කාලයකදී රට නිවැරදි දිශාවට යොමු කිරීමට ය. ඒ වෙනුවෙන් ශක්තිමත්ව ආණ්ඩුවට බලපෑම් කිරීමට ආණ්ඩුව පත් කිරීමට ඡන්දය දුන් හැටනව ලක්ෂයට ශුද්ධ වූ අයිතියක් ඇත. එලෙසම, පටු දේශපාලන අරමුණු වෙනුවෙන් වැඩ වර්ජන, උද්ඝෝෂණ හා මහජන පීඩාවන් ඇති කරන සතුරු බලවේග වෙනුවෙන් ක්‍රියාත්මක වීමට මේ රටේ සකලවිධ ජාතිමාමක හා ප්‍රගතිශීලි බලවේගයන්ට ඇත්තේ පාරිශුද්ධ වූ වගකීමකි.

ඉන්දික ජයරත්න

නව අදහස දක්වන්න